මානසික අවපීඩනයෙන් පෙළෙන අය හඳුනාගන්නේ කෙසේද?

පේ රට පුද්ගල සියදිවි නසා ගැනීම් වලින් ඉහලින්ම තිබෙන රටක්. දැනට ටිකක් පහලට ඇවිත් තියෙන්නේ සියදිවි නසා ගන්න උත්සහ කරන ගණන අඩු වෙන නිසා නෙවෙයි. සියදිවි හානි කර ගන්න හදන අයව ඉතාම මහන්සියෙන් බේරා ගන්න නිසා . ලෝකයේ විවාහක ගැහැණු වැඩියෙන්ම සියදිවි හානි කරගන්න රට හැටියට වාර්තාව තියල තියෙන්නෙත් ලංකාව. ඇත්තටම තිස් වසරක යුද්ධයෙදි මියගිය ගන්නට වඩා වැඩි ගණනක් සියදිවි නසාගැනීම නිසා මියගොස් තිබෙනවා. වකුගඩු රෝගයට වඩා වැඩි ගණනක් සියදිවි නසාගැනීම් වලින් ජීවිත කෙළවර වී තිබීම අභාග්‍යසම්පන්න තත්වයක්. නමුත් මේ පිළිබඳව රටේ කිසිම වගකිවයුතු කෙනෙකුගේ අවධානයක් නැහැ කියල කියන්න වෙන්නේ ඉතාම කණගාටුවෙන්. 

fb-like-beg


ඕනෑම සියදිවි හානි කර ගැනීමකටම හේතුව වන්නේ දීර්ඝ කාලීන උග්‍ර මානසික අවපීඩනය (chronic severe depression) කෙනෙක්ට මානසිකව පීඩනයට ලක් වෙන්න ඕනේ තරම් කරුණු කාරණා තියනවා. පවුල් ප්‍රශ්න, ලිංගික ගැටළු, අධික කාර්යබහුල බව, තිස් වසරක්  පැවති  යුද්ධය නිසා හටගත් විවිධ මානසික ස්වභාවයන්, මේවා හේතු කිහිපයක් පමණයි. ආදායම් බෙදීයාමේ විෂමතාවය සහ අධි පරිභෝජනය පදනම් කරගත් ආකල්ප නිසා හටගත් පීඩනයත් දිගු කාලීන මානසික අවපීඩනයට හේතු වනවා.

මානසික අවපීඩනය එහෙම නැත්නම් depression කියන්නේ මොලයේ හෝර්මෝන අසමතුලිත තාවයකින් හටගන්නා තත්වයක්. එහෙම වෙන්න හේතුවක් හරියටම මේකයි කියල කියන්න බැහැ. සායනික අත්දැකීම් වලින් කිවහැකියි කාණ්ඩ දෙකක රෝගීන් සිටින බව.

  • ජානමය බලපෑමෙන් හටගැනීම.
  • ජීවිතේ කිසියම් අභාග්‍යමත් සිද්ධිවලට , කෘරත්වයට කාලයක් තිස්සේ නිරාවරණය වීම.

මීට අමතරව ගර්භනී සමය, ගබ්සා වීම් , මාසික ශුද්ධිය වැනි හෝර්මෝන තුලනය වෙනස් වෙන අවස්ථා වලදීත් තාවකාලික අවපීඩන තත්වයක් ඇති වෙන්න පුළුවන්.

මෙහි රෝග ලක්ෂණ තමයි නිරන්තරව දැනෙන අසතුට, කිසිම දෙයකට උද්යෝගයක් නැති වීම, හේතුවක් නැතිව දුක භය වගේ මනෝ භාවයන් ඇතිවීම, කල්පනා බරව කාලය ගෙවීම, නුරුස්සනා සුළු වීම, අස්ථානයේ කෝප වීම, ආහාර අරුචිය හෝ අධිකව ආහාර ගැනීම, නින්ද නොයාම , බියකරු හීන පෙනීම, අධිකව නින්ද යාම.මෙවැනි ලක්ෂණ එකක් හෝ කිහිපයක් පැවතීම මානසික අවපීඩනයෙන් පෙලෙන බවට සැක කළ හැකි සාධක වනවා. අදාළ  පුද්ගලයා පමණක් නොවෙයි ඔහුගේ සමීපතමයන්ද මෙයින් වේදනාවට පත් වන බව  අමුතුවෙන් කිව යුතු නැහැ.

දන්නා කෙනෙක් මෙවැනි හැසිරීම් පෙන්වන්නේ නම් ඔහු/ඇය පිළිබඳව කෝප වීම පසෙක තබා විධිමත් මනෝ චිකිත්සකයෙකු වෙත ගෙන යාම බුද්ධිමත් ක්‍රියාවක්. මානසික අවපීඩනය යනු කල් ගතවන විට ජීවිතය අඩාල කරන, සමගිය නැති වෙන, මිනිසාගේ විනාශයට , සියදිවි හානි කර ගැනීමට හේතුවක්.

ලෝක ජනගහනයෙන් විශාල පිරිසක් මානසික ආතතියෙන් පෙලෙන අතර ඇමෙරිකාවේ ජනගහනයෙන් 20% ක පමණ පිරිසක් ප්‍රතිකාර ලබා ගන්නවා. අපේ රටේ ප්‍රතිකාර වලට යාමට මැලි වීමට හේතු කීපයක් තිබෙනවා.

  • මානසික ලෙඩ ඇති බව රෝගියා හා පවුලේ සාමාජිකයන් නොදැනීම.
  • මානසික ලෙඩකට බෙහෙත් ගැනීම සමාජයෙන් පිස්සෙක් ලෙස හංවඩු ගැසීමට හේතුවක් වීම.(මොලය යනු තවත් එක අවයවයක් බව පිළිගැනීමේ නොහැකියාව.)

අපි දන්නා ආකාරයට රටේ ගොඩක් ක්ෂේත්‍ර වල ඉහලින් සිටින උගතුන් බුද්ධිමතුන් යයි පිළිගන්නා බොහෝ දෙනෙක් මානසික ආබාධ වලට ඖශධ ගෙන නිරෝගී දිවියක් ගෙවනවා. ඔවුන් ඉදිරියට පැමිණ තමාගේ රෝග තත්වය සහ ප්‍රතිකාර මගින් ජීවිතය ගෙවන ආකාරය හෙළි කරන්නේ නම් එය සාමාන්‍ය ජනයාගේ හුඹස් බිය දුරු කර ගැනීමට හේතුවක් වනවා නිසැකයි.

වරෙක ඇමරිකානු ජනාධිපති බැරක් ඔබාමා ප්‍රකාශ කළේ ඔහු මත් ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහිව සිටි බවයි. හැරී පොටර් කතා මාලාව ලිවූ JK රෝලින්ස් වරෙක උග්‍ර මානසික ආතතියෙන් පෙලුන බව පවසා තිබෙනවා .ජීවිතය ඒ වගේ තමයි. අද ඔබට වන දෙය හෙට මට වෙන්න පුළුවන්. මිනිසුන් දෙස සානුකම්පිත දෙනෙතින් බැලීම ගොඩක් වටින්නේ එම නිසා.

SHARE

NO COMMENTS

LEAVE A REPLY