T20 ලෝක කුසලානය දිනූ පසු ඩැරන් සමී විසින් කළ සංවේදී කතාව (සිංහල පරිවර්තනය)

විස්සයි විස්ස ක්‍රිකට් තරඟ ඉතිහාසයේ ලෝක කුසලානයක් දෙවරක් දිනාගත් ප්‍රථම කණ්ඩායම ලෙස සිය නාමය සනිටුහන් කිරීමට බටහිර ඉන්දීය කොදෙව් පිල ඊයේ සමත් විය. ඒ එංගලන්තය සමඟ ඉන්දියාවේ කොල්කටා හි පැවති අවසන් මහා තරඟය අවසන් ඕවරයේදී පිට පිට එල්ල කළ වර්ණවත් හයේ පහරවල් 4ක් සමගින් ජය ගනිමිනි. තරඟයෙන් පසු බටහිර ඉන්දීය කොදෙව් පිලේ නායක ඩැරන් සමී විසින් කළ කතාව සෑම ක්‍රිකට් ලෝලියෙකුගේම නෙතඟට කඳුලක් උණවන තරම් සංවේදී එකක් විය. ලෝක කුසලානය දිනා ගැනීම සඳහා වූ ගමනේදී ඔවුන් මුහුණ දුන් අති මහත් ගැටළු හා ඒවාට කණ්ඩායමක් ලෙස තමන් මුහුණ දුන් අයුරු සමී එම කතාවෙන් පවසා සිටියේ ඉතාම හැඟුම්බර අයුරිනි. 

fb-like-beg


දුෂ්කරතා මධ්‍යයේ කණ්ඩායම් හැඟීමෙන් යුතුව තමන්ගේ අවසාන ඉලක්කය වෙත යා යුත්තේ කෙසේද යන්න පිලිබඳ කියැවෙන එය සෑම වෘත්තිකයෙකුටම ආදර්ශයට ගත හැකි අගනා කතාවකි. පහතින් දැක්වෙන්නේ එහි සම්පූර්ණ සිංහල පරිවර්තනයයි.


“ප්‍රථමයෙන්ම මට උවමනා වන්නේ දෙවියන් වහන්සේට ස්තුති කිරීමටයි. අන්ද්‍රේ ෆ්ලෙචර්, අපේ කණ්ඩායමේ සිටින දේවගැතිවරයා සෑම විටකදීම යාඥා කළා. මේ ජයග්‍රහණය පිලිබඳ ඉතාම සතුටුයි වගේම අප කිසිවෙකුටවත් මේ මොහොත තව බොහෝ කලක් යනතුරු අමතක වන එකක් නැහැ.

බ්‍රෙත්වේට් අගනා ඉණිමක් ක්‍රීඩා කළා. මීට පෙරත් මම කියලා තියෙනවා අපිට තරඟයක් දිනවන්න පුළුවන් ක්‍රීඩකයන් 15 දෙනෙකු සිටින බව. හැම තරඟයකදීම ඒ අතරින් කෙනෙක් තරඟය ජයග්‍රහණය කරවීමේ බර කරට ගන්නවා. ඔහු තමන්ගේ පළමුවන ලෝක කුසලානයේදී ඒ ආකාරයෙන් ක්‍රීඩා කරනු දැකීම විශ්මය ජනකයි.  නිසි වැඩ පිළිවෙලක් සහ සංවර්ධනයක් යටතේ එක් දින සහ ටෙස්ට් තරඟ වලදීත් මේ ආකාරයෙන්ම ක්‍රීඩා කරන්න අපිට හැකියාව ලැබේවි කියල බලාපොරොත්තු වෙනවා.

අපි මේ ගමන ආරම්භ කරන කොට අපිට තිබුණ දේවල් ගැන අපි දන්නවා. මිනිස්සු හිතුවේ අපි මේ තරඟාවලියේදී සෙල්ලම් කරන එකක් නැති වේවි කියල. අපිට සෑහෙන ප්‍රශ්න තිබුනා. අපේ ක්‍රිකට් පාලක මණ්ඩලය සෑම විටම කළේ අපට අවමන් කිරීම. මාක් නිකොලස් අපිව හැඳින්වූවේ මොළයක් නැති පිරිසක් ලෙස.  තරඟාවලියට පෙර සිදුවුණ මේ හැමදේම මේ කණ්ඩායම සතුව තිබුණ බැඳීම තවත් ශක්තිමත් කළා.

මට අවශ්‍යයි මේ 15 දෙනාට මගේ ස්තුතිය පිරිනමන්න. සිදු වූ සෑම සිත් රිදවීමක්ම පසෙකින් තබාගෙනමේ විදිහට මේ තරම් උද්‍යෝගී ප්‍රේක්ෂකයන් පිරිසක් ඉදිරියේ ක්‍රීඩා කරනවා දැකීමම අති විශාල ජයග්‍රහණයක්. පුහුණුකරුවන්ගේ කණ්ඩායමට සහ ප්‍රධාන පුහුණුකරු ෆිල්ට මම පෞද්ගලිකව ස්තුති කරන්න කැමතියි. ඔහුට විශාල අපහසුතාවන් රැසකට මුහුණ දෙන්නට සිදු වුණා. නමුත් මේ විදිහට ඇවිත් මේ කණ්ඩායම පුහුණු කරවීම.. ඇත්තෙන්ම ඔහු අති දක්ෂයෙක්. ඒ වගේම පුහුණුකරුවන් කණ්ඩායමේ අනෙක් සාමාජිකයනුත් තමන්ට පැවරී තිබුණ කොටස ඉතාම හොඳින් ඉෂ්ට කළ බව කියන්නට අවශ්‍යයි.

මේ තරඟාවලිය සඳහා අපිට ලැබුණේ මීට පෙර කිසිම කණ්ඩායමක් කළමනාකරණය කර නොතිබුණ පුහුණුකරුවෙකු වන රාවුල් ලුවිස්. ඩුබායිවල පුහුණු කඳවුරක් පැවැත්වූ කාලයේදී අපිට නිල ඇඳුමක් තිබුණේ නැහැ. අපිට අපේ කියා මුද්‍රිත කිසිම දෙයක් තිබුණේ නැහැ. පුහුණු කඳවුර පැවැත්වෙන අතරතුරදීම ඔහු ඩුබායි වලින් පිටත් වී කොල්කටාවට පැමිණියා. අන්න එහෙමයි අපි මේ ගමන ආරම්භ කළේ.  මේ ඇඳගෙන සිටින නිල ඇඳුම ලබා ගැනීම වෙනුවෙන් ඔහුට සෑහෙන වෙහෙසක් දරන්නට සිදු වුණා. ඒ පිළිබඳව මුළු කණ්ඩායමටම මම මගේ කෘතඥතාව පිරිනැමීම කළ යුතුමයි. ඒ සෑම මොහොතකදීම අපට සිටියේ අපි ටික දෙනා පමණයි.

අපි මේ ජයග්‍රහණයේ සම්පූර්ණ උරුමකරුවන් ලෙස නම් කරන්නේ කැරිබියන්හි වෙසෙන අපේ ප්‍රේක්ෂකයන්ව.  ඒ වගේම CARICOM* හි නායකයන්වත් සිහිපත් කළ යුතුයි. මේ සමස්ථ තරඟාවලිය පුරාවටම ඔවුන් සියලු දෙනා අපට නොමද සහයක් දැක්වූවා. අපට ඔවුන්ගෙන් email පණිවුඩ ලැබුණා, දුරකථන ඇමතුම් ලැබුණා. අගමැති මිෂෙල් අප වෙනුවෙන් කරමින් සිටි දෑ මොනවාද යන්න මම හොඳින්ම දන්නවා. මට හදවතින්ම ඔහුට ස්තුති කරන්න අවශ්‍යයි. ඔහු අද උදෑසනත් ඉතාම දිරිගන්වන සුළු සුබ පැතුමක් අපට ඒවා තිබුණා.

ඒ තත්වය එහෙම තියෙනකොට කියන කණගාටුයි අපේ ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් මේ මොහොත වන විටත් කිසිම ආකාරයේ පණිවිඩයක් අපට ලැබී නැහැ.  අද මම මේ මිනිසුන් 15 දෙනා සමඟයි මේ පුහුණුකරුවන් කණ්ඩායම සමඟයි මේ  ජයග්‍රහණය සමරනවා. මම දන්නේ නැහැ නැවතත් මට මොවුන් සමඟ ක්‍රීඩා කිරීමට අවස්තාවක් ලැබේවිද නැද්ද යන්න පිළිබඳව. මොකද එක් දින තරඟ සඳහා අපව තෝරාගෙන නැහැ. අපි දන්නේ නෑ නැවතත් විස්සයි විස්ස තරඟයක් ක්‍රීඩා කිරීමට අපට අවස්තාවක් ලැබෙන්නේ කවදාද යන්න පිළිබඳව. ඉතින් ඒ නිසා මේ ජයග්‍රහණයත් සමඟ..මගේ කණ්ඩායමට..ඒ වගේම මගේ පුහුණුකරුවන් පිරිසට..මට ඔබ සියළු දෙනාටම ස්තුතිය පිරිනමන්න අවශ්‍යයි.

දැන් මුළු ලෝකයම දන්නවා බටහිර ඉන්දීය කොදෙව්වන් යනු ලෝක ශූරයන් බව!!”

*CARICOM යනු Caribbean Community and Common Market හැඳින්වීමට යෙදෙන කෙටි නාමයයි.

SHARE

NO COMMENTS

LEAVE A REPLY