සිය දිවි නසා ගැනීමට සැලසුම් කරන්නෙකු හඳුනාගන්නේ කෙසේද??

ජීවිතය යනු සතුට පමණක් සැමදා රඳා නොපවතින බලාපොරොත්තු කඩවීම, ශෝකය, අහිමි වීම් ආදී මේ සියල්ලම කැටිවුණ කාලයක්. මනුෂ්‍ය ස්වභාවයට අනුව සතුටට වඩා අපට ශෝකය දැඩිව දැනෙනවා. ඉතින් ඇතැම් විට බලාපොරොත්තු කඩවීම් නිසා ඔබේ ජීවිතය පිලිබඳ ඔබට තිබු සුන්දර සිහිනයක් සියල්ලම උඩු යටිකුරු වී යාමට පුළුවන්.

fb-like-beg


මිනිසුන්ට ඇති දරා ගැනීමේ හැකියාව එකිනෙකාට සාපේක්ෂයි. අපට සුළු දෙයක් ලෙස පෙනෙන ඇතැම් ගැටළු වෙනත් අයෙකුට ඔහුගේ හෝ ඇයගේ මුළු ජීවිතයම තීරණය කෙරෙන ආකාරයේ බරපතල ඒවා විය හැකියි. ඒ නිසා අන් අය පිලිබඳ පූර්ව නිගමනවලට එළඹෙන්නේ නැතිව ඔවුන්ගේ ගැටළු සහ මානසික තත්වයන්ට සංවේදී වීමයි අප විසින් කළ යුත්තේ.

ශෝකය දැඩිව දැනෙන විට,

  • කලකිරී තනිව සිටිමින්
  • තරහෙන් සහ නුරුස්නා බවින්
  • රහසිගත බවින්
  • අසුභවාදී සිතුවිලිවලින් යුතුව
  • පවුල් සබඳතා පළුදු කරගනිමින්
  • පාසලේ, කාර්යාලයේ කාර්ය සාධනය හීන වෙමින්
  • බියෙන්, සැකයෙන්, දුක්බරව, අවපීඩිත, ඉක්මන් තීරණ ගනිමින්
  • දිවි නසා ගැනීමේ හැඟීම්වලින් යුතුව

පරාජිතයෙකු ලෙස කල් ගෙවීමට ඇතැම් අය පෙළඹෙනවා.

නමුත් සැබවින්ම,

  • සුබවාදී සිතිවිලි ඇතිව
  • ජීවිතයේ යතාර්ථය තේරුම් ගනිමින්
  • අන් ඇයගේ සහයෝගය ලබමින්
  • ධෛර්යමත්ව
  • නව බලාපොරොත්තු ඇති කරගනිමින්

ජීවිතයේ වැරදුනා යැයි ඔවුන් සිතා සිටින තැන් ප්‍රකෘති තත්වයට පත් කරගැනීමට හැකියාව තිබෙනවා.

ඉතින් ඔබත් සිටින්නේ ඉහත ආකාරයේ කිවූ ලෙස දුකින් පරිපීඩිතව නම්,

  • ඉක්මන් තීරණ ගැනීමෙන්
  • තමාට හෝ අන් අයට හානි කරවීමෙන්
  • දුෂ්කර ගැටළු සමඟ තනිව පොර බැදීමෙන්

වැළකිය යුතුයි. ඒ වෙනුවට,

නොපමාව විශ්වාසවන්ත

  • පවුලේ අයෙකුගෙන්
  • ගුරුවරයෙකුගෙන් හෝ පූජ්‍ය පක්ෂයෙන්
  • වෛද්‍යවරයෙකුගෙන්
  • මිතුරෙකු හෝ මිතුරියකගෙන්
  • මනෝ උපදේශන සේවා සපයන ආයතනයකින්

සහය පැතිය යුතුයි.

බොහෝ අයට බාහිර සහය අවශ්‍ය වුවත් එය එසේයැයි කීමට පැකිළෙන්නේ පහත ආකාරයේ හේතූන් නිසා විය හැකියි.

  • අධික තරහව සහ කලකිරීම
  • මදිකමක් වීම
  • තත්වය තවත් නරක අතට හැරේවියැයි සිතීම
  • පිළිගනු ලැබීමක් හෝ සැලකිල්ලක් නොලැබීම
  • තමාගේ දුක, පීඩාව අන් අය විසින් ප්‍රථමයෙන් තේරුම් ගෙන සහය වේ යැයි සිතීම.
  • දැනටමත් සිය දිවි නසා ගැනීමට සිතා සිටීම
  • පලක් නොවේ යැයි සිතීම
  • රහස්‍ය භාවය සම්බන්ද ගැටළු.

කෙනෙකු සිය දිවි නසා ගැනීමට සැලසුම් කරනවානම් එය කල් ඇතුව නොයෙක් ආකාරයෙන් හඳුනා ගැනීමට පුළුවන්. පහත දැක්වෙන්නේ එවන් අවස්ථා කිහිපයක්.

  • ඔහු හෝ ඇය නිතරම “මාව හැමෝටම ප්‍රශ්නයක්, මම වැඩි කල් ඉන්න එකක් නැහැ.මට හැමදාම මෙහෙම දුක් විඳින්න බැහැ” ආදී දේ පවසනවා.
  • ඔහුගේ හෝ ඇයගේ පවුලේ අයෙකු හෝ සමීපතමයෙකු මීට පෙර සිය දිවි නසාගෙන තිබීම.
  • විශේෂ හේතුවක් නොමැතිව මිතුරන් හමුවීමට යාම, ණය තුරුස් පියවීම, ඉඩ කඩම් බෙදා දීම ආදී හැසිරීම් රටා.
  • මුළු ගැන්වී සිටීම, බලාගත් අත බලා සිටීම, උදාසීන බව, දුක්මුසු හා අසරණ බවක් පෙන්වීම ආදී හැසිරීම් රටාවන.
  • කලක පටන් කෑම අරුචිය, නින්ද නොයාම, වෙනත් ශාරීරික අපහසුතා (උදා ; දැඩි හිස රදය) ආදී තත්වයන් පිලිබඳ නිතර නිතර පැවසීම.
  • මානසික වශයෙන් රෝගී තත්වයන්ට පත්ව සිටීම.

දිවි නසා ගැනීමේ අවදානමක සිටින අයෙක් එම තත්වයෙන් මුදවා ගැනීමට කළ හැකි දේ.

  • ඔහුගේ හෝ ඇයගේ දුක, වේදනාව පිලිබඳ විමසන්න. ඔවුන්ව ඒ පිලිබඳ කතා කිරීමට පොළඹවන්න.
  • තනි නොකර සැලකිල්ලෙන් බලාගන්න.
  • වැරදි තිබුණත් ඔහුව/ඇයව ප්‍රතික්ෂේප කරන්න එපා. වරද ඉස්මතු කරමින් තවත් පීඩාවට පත් කරවන්න එපා.
  • දිවි නසා ගැනීම පිලිබඳ කතා කරනවානම් ඒ පිලිබඳ වැඩි විස්තර විමසීමට උනන්දු වන්න,
  • දිවි නසා ගැනීමට භාවිතා කළ හැකි දේවල් ඈත් කර තබන්න
  • නොපමාව වෛද්‍යවරයෙකු වෙත යොමු කරවන්න.

මතක තබා ගන්න සෑම විටම, අන් අය කෙරෙහි සංවේදී වීම ඔවුන් පිලිබඳ පූර්ව නිගමනවලට එළඹීමට වඩා සෑම අතින්ම දුෂ්කර බව. අන් අය කෙරෙහි සංවේදී වන පුද්ගලයා නියම මනුෂ්‍යයෙකු බව. අද දුර්ලයෙකු යැයි ඔබ දකින ඒ තැනැත්තාගේ තත්වයට යම් දිනක ඔබත් මුහුණ නොපාවි යන සහතිකය කිසිවෙකුටත් ලබා දීමට නොහැකි බව.

SHARE

NO COMMENTS

LEAVE A REPLY