හොඳ ගුරුවරයෙක් ළඟ තිබිය යුතු ගුණාංග 7ක්

ගුරුවරුන් යනු අප සමාජයේ ඉතාම ගෞරවනීය චරිතයක් ලෙස සැලකෙන පුද්ගලයන්. ඔවුන් ලබා දෙන්නේ පොත පතේ දැනුම පමණක් නොවෙයි. දරුවෙකුගේ ජීවිතයේ ගමන් මග තීරණය කිරීමට ගුරුවරුන්ගෙන් ලැබෙන්නේ ඉතා ප්‍රබල පිටුවහලක්. ගුරුවරයෙකුට දරුවෙකුගේ ජීවිතය යහපත් කරන්නත් නරකාදියකට ඇද දමන්නත් ලෙහෙසියෙන්ම පුළුවන්.

fb-like-beg


මේ ලිපිය ලියැවෙන්නේ විශේෂයෙන්ම ගුරුවරුන් උදෙසායි. ඔබේ වෘත්තීය නිකන්ම නිකන් මාසය අවසානයේ වැටුපක් ගැනීමට පමණක් කරන රැකියාවන් නොවෙයි. එය සෘජුවම වෙනත් ජීවිත සිය දහස් ගණනක ඉරණම මෙන්ම රටේ අනාගතයද තීරණය කරන වගකීම් සපිරි වෘත්තියක්. මෙයින් කියැවෙන්නේ හොඳ ගුරුවරයෙකු වීමට නම් ඔබ සතුව අනිවාර්යයෙන්ම තිබිය යුතු ගුණාංග කිහිපයක් පිළිබඳවයි.


ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ගෞරව කිරීම

හොඳ ගුරුවරයෙක් සෑම විටම තම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ අදහස්වලට ගරු කරනවා. ඔවුන් සතු පුද්ගල අයිතින්ට හා පෞද්ගලිකත්වයට ගරු කරනවා. එවිටයි සිසුන් බිය සැකයකින් තොරව තමන්ගේ අදහස්, කුසලතා අන් අය ඉදිරියේ ප්‍රදර්ශනය කිරීමට පෙළඹෙන්නේ.


පන්ති කාමරය තුල සුහදශීලී පරිසරයක් ගොඩ නැංවීම

හොඳ ගුරුවරයෙකුගේ පන්ති කාමරයක් තුල කිසිම සිසුවෙකුට තනිකමක් හෝ තමන් කොන් වී ඇති බවක දැනෙන්නට බැහැ. ගුරුවරයා විසින් එක් එක් සිසුවාට වගකීම් බෙදා දීම මගින් ඔවුන්ට තමන් පන්ති කාමරය තුල වැදගත් අයෙකු බව දැනීමට සලස්වනවා.


මිත්‍රශීලීබව, ඇහුම්කන් දීම සහ පහසුවෙන් සම්බන්ධ කරගත හැකි වීම.

සිසුන්ට පමණක් නොවෙයි ඔවුන්ගේ දෙමව්පියන්ට හා වෙනත් ගුරුවරුන්ටත් තමන් හා ඕනෑම දෙයක් පිළිබඳව අදහස් හුවමාරු කරගැනීමට අවස්ථාව ලබා දීම හොඳ ගුරුවරයෙකු අතින් නිතැතින්ම සිදු වන්නක්.


සිසුන්ගේ අරමුණු හා ඉලක්ක කරා යාමට ඔවුන්ව දිරි ගැන්වීම.

හොඳ ගුරුවරයෙකු අතින් කිසිදාක සිසුවෙකුගේ අනාගත බලාපොරොත්තුව උපහාසයට ලක්වන්නේ නැහැ. ඔහු සෑම විටම සිසුන්ගේ දක්ෂතා මොනවාද යන්න හඳුනාගනිමින් ඔවුන්ගේ අනාගතය පිලිබඳ බලාපොරොත්තු දල්වනවා. යා යුතු මග කියා දෙනවා.


ඉගැන්වීමේ නව ශිල්ප ක්‍රම අත්හදා බැලීමට ඇති කැමැත්ත.

ගුරුවරයා සාම්ප්‍රදායික ක්‍රමයේ වහලෙක් විය යුතු නැහැ. ගුරුවරයෙකු වුවත් නව දේවල් ඉගෙන ගැනීමට, තම දැනුම යාවත්කාලීන කරගැනීමට මෙන්ම තමන් එසේ ඉගෙන ගන්නා දේවල් නව ඉගැන්වීම් ක්‍රමවලට අනුව සිසුන්ට කියා දීමට ගුරුවරයාට උනන්දුවක් තිබිය යුතුයි.


අනෙක් ගුරු භවතුන් සමඟ නිතර අදහස් හුවමාරු කර ගැනීම.

ඔබ පන්තිභාර ගුරු භවතෙකු නම් මෙය අනිවාර්යයෙන්ම කළ යුත්තක්. ඔබේ සිසුන් පිළිබඳව, ඔවුන්ගේ දක්ෂතා දුර්වලතා පිළිබඳව හොඳි හඳුනාගෙන සිසුන්ට අවශ්‍ය වෙලාවේදී සහය දීමට ඔබට හැකිවන්නේ එවිටයි.


සිසුන් අතින් සිදුවන වැරදි කෙරෙහි දයාවෙන් සහ සානුකම්පිතව බැලීම

අධ්‍යාපනය සම්බන්ධව මෙන්ම පෞද්ගලික මට්ටමෙන්ද සිසුන් අතින් සිදුවන වැරදි ලෙස දයාවෙන් යුතුව බලා එම තත්වයන් බුද්ධිමත්ව කළමනාකරණය කරගැනීමේ හැකියාව ගුරුවරයෙකුට අනිවාර්යයෙන්ම තිබිය යුතුයි. විශේෂයෙන්ම සිසුන්ගේ විනය සම්බන්ධව ක්‍රියා කිරීමේදී අනවශ්‍ය ලෙස කලබල නොවී ඔවුන්ගේ පෞද්ගලිකත්වයට හානියක් නොවන ලෙස කටයුතු කළ යුතුමයි.

පසුගිය කාලයේදී ශිෂ්‍ය සිය දිවි නසා ගැනීම් ගණනාවක් වාර්තා වූවේ අදාළ ප්‍රශ්නවලදී ගුරුවරුන් අනවශ්‍ය ලෙස කලබල වීම නිසායි. එවන් තත්ත්ව ඇති නොවීමට වග බලාගැනීම සෑම ගුරුවරයෙකුගේම වගකීමක් වනවා.

SHARE

NO COMMENTS

LEAVE A REPLY