ඉස්හොරි ගැන බොහෝ දෙනෙකුට ඇති දැවෙන ප්‍රශ්න 8ක් සහ ඒවාට පිළිතුරු

සුදු පැහැති කුඩා පොතු කැබලි සේ හිසකෙස් අතරින් මතුවන ‘ඉස්හොරි’ සැබැවින් ම ‘හොරි’ විශේෂයක් ද? එසේත් නැතිනම් හිසෙහි සම මතුපිට සිදුවන ස්වභාවික ක්‍රියාවලියක ප්‍රතිඵලයක් ද? ඉස්හොරිවලින් තොර කෙස් කලඹක් ලබා ගන්නේ කෙසේ ද? මේ ආකාරයෙන් ඉස්හොරි ගැන ඔබට ඇති දැවෙන ගැටළු කිහිපයකටම පිළිතුරු මේ ලිපිය කියවීමෙන් ලබා ගත හැකි වනු ඇති.

fb-like-beg


ඉස්හොරි කියන්නේ?? 

සම මතුපිට ඇති සෛල ස්ථරය නිරතුරුවම ගැලවී යාම ස්වභාවිකව සිදුවන ක්‍රියාවලියක්. ස්නානය කිරීමේ දී තදින් ඇඟ අතුල්ලන විට සම මතුපිට ඇති සෛල ස්ථරය ඉවත් වෙනවා. මේ ක්‍රියාවලියම හිස මතුපිට සමෙහි ද සිදු වෙනවා. එසේ පොතු කැබලි ලෙස ගැලවී ඉවත්වන චර්ම සෛල හිසකෙස් අතර රැ‍ඳෙන්නට පුළුවන්. සාමාන්‍ය ව්‍යවහාරයේ දී ඉස්හොරි ලෙස හඳුන්වන්නේ ඒ තත්ත්වයයි.


ඉස්හොරි චර්ම රෝගයක්ද??

‘ඉස්හොරි’ යන නම ඇසු පමණින් බොහෝ දෙනෙක් එය චර්ම රෝගයක් ලෙස සැක කළත් එය චර්ම රෝගයක් නොවෙයි. ඒ වගේ ම අස්වාභාවික තත්ත්වයක් ද නොවෙයි. එය ගැටලුවක් වී තිබෙන්නේ විශේෂයෙන් අඳුරු පැහැති ඇඳුම් ඇඟලා සිටින අවස්ථාවක ඒ මත ගැලවී ගිය සම සුදු පැහැ පොතු කැබලි වශයෙන් දිස්වීම අප්‍රසන්න වීම නිසයි.


ඉස්හොරිවලින් පීඩා විඳින සමහර අයගේ හිසෙන් දුර්ගන්ධයක් වහනය වන්නේ ඇයි?

කෙනෙකුගේ හිසෙහි තෙල් (ස්වේදය) නිපදවීම වේගවත් නම් ඉස්හොරි පොතු තට්ටුවක් ලෙස සම මතුපිට රැඳී තිබෙන්නට පුළුවන්. එවැනි තත්ත්වයක් ඇති අයගේ නිතර නිතර හිස කැසීම මෙන් ම දුර්ගන්ධයක් ද වහනය විය හැකිය. දුහුවිලි කුණු සෝදා හිස පිරිසිදු බව රැක ගැනීමෙන් ඒ තත්ත්වය මඟ හරවා ගත හැකියි.


සමහර අය ඉස්හොරි ඉවත් කිරීමට දිනපතා ස්නානයේ දී ෂැම්පු වර්ග භාවිත කරනවා. එය සුදුසු ද?

නිතර නිතර ෂැම්පු වර්ග හෝ සබන් දමා තදින් හිස ඇතිල්ලීමෙන් ඉස්හොරි ඉවත්වනවා වෙනුවට වැඩිපුර ඇතිවිය හැකියි. මෘදු සබන් වර්ගයක් හෝ ෂැම්පු වර්ගයක් භාවිත කර දවසක් හැර දවසක් හිස සේදීම ප්‍රමාණවත්. ඉස්හොරි සියල්ල ඉවත් කිරීමේ අරමුණින් හිස තදින් ඇතිල්ලීමේ දී චර්මය තුවාල විය හැකියි. එවිට සම උත්තේජනය වන නිසා ඉස්හොරි සෑදීම තිබුණාටත් වඩා වේගවත් වී ප්‍රශ්නය තවත් බරපතළ විය හැකියි.


ඉස්හොරි සඳහා විශේෂිත ෂැම්පු වර්ග තිබෙනවා ද?

ඔව්. එම ෂැම්පු භාවිත කළ යුතු වන්නේ සතියකට හෝ දෙකකට වරක් පමණයි. නිතර භාවිතය ශරීරයට අහිතකර වෙන්නට පුළුවන්. ඉස්හොරිවලදී ‍තමන්ට ගැළපෙන ෂැම්පු වර්ගය තෝරා ගැනීම සඳහා වෛද්‍ය උපදෙස් ලබා ගැනීම වඩාත් සුදුසුයි.


හිස සේදීමට ෂැම්පු වර්ගයක් තෝරා ගැනීමේ දී වෛද්‍ය උපදෙස් ලැබිය යුතුද?

ඉස්හොරි හෝ පුස් වර්ග නිසා හටගත් රෝගයක් නිසා වෛද්‍ය ප්‍රතිකාර ලබනවා නම් වෛද්‍යවරයා විසින් ඔබට සුදුසු ෂැම්පු වර්ගයක් නිර්දේශ කරනු ඇති.

සාමාන්‍යයෙන් ෂැම්පු වර්ගයක් පරිහරණය කිරීමට පෙර එහි වට්ටෝරුව කියවා බැලිය යුතුයි. එහි සෙලේනියම් (Selenium) අඩංගු වන්නේ නම් එය එතරම් සුදුසු නොවෙයි. එය හිසෙහි සමට අහිතකර විය හැකියි.

අඩංගු ද්‍රව්‍ය, වට්ටෝරුව සඳහන් නැති ෂැම්පු වර්ග හිතුමතේ පාවිච්චි කිරීම වඩාත් නුසුදුසුයි.


ඉස්හොරි හා තට්ටය පෑදීම අතර සම්බන්ධයක් තිබෙනවා ද?

නැහැ. ඉස්හොරි ඇති අයගේ තට්ටය පෑදීම සිදුවන්නේ නෑ.


ප්‍රමාණවත් තරම් ජලය පානය නොකරන අයට ඉස්හොරි සෑදීමේ ප්‍රවණතාවක් තිබෙනවා ද?

ඔව්. විශේෂයෙන් උණුසුම් දිනවල ප්‍රමාණවත් තරම් ජලය නොලැබීම නිසා සම ඉරි තැළුණු ස්වභාවයක් ගන්නට පුළුවන්. මේ තත්ත්වය හිසෙහි සමටත් බලපානවා. එය ඉස්හොරි සෑදීම වේගවත් කරනවා.

SHARE

NO COMMENTS

LEAVE A REPLY