“අනුන්ගේ වදන්වලින් සිත රිදවා නොගන්න” – BAFTA සම්මාන රාත්‍රියේදී කේට් වින්ස්ලට් කළ කතාව

කේට් එළිසබෙත් වින්ස්ලට් නම් වූ මේ ප්‍රතිභාපූර්ණ නිළියගේ නම අපට සිහි කැඳවන්නේ ‘ටයිටැනික්’ චිත්‍රපටයයි. ඒ ඇය ශ්‍රී ලාංකිකයන් අතර ජනප්‍රිය වූවේ එම චිත්‍රපටයේ සුරූපී පෙම්වතිය වූ ‘රෝස් ඩේවිඩ් බුකාතර්’ එසේත් නැත්නම් ‘රෝස් ඩෝසන්’ගේ චරිතයට පණ පෙවීම හේතුවෙනි.

fb-like-beg


ටයිටැනික් චිත්‍රපටයේ රඟපෑම ඇයගේ  කලා දිවියට වාසනාව රැගෙන ආවද රෝස්ගේ චරිතයටත් වඩා අවධානයට පාත්‍ර වූ, සම්මාන හිමි වූ හා විචාරක මෙන්ම ප්‍රේක්ෂක ප්‍රශංසා හිමි කරගත් චරිත ගණනාවක් ඇයගේ දායකත්වයෙන් පණ පෙවී ඇත. ඒ අතරින් The Reader, Revolutionary Road, Sense and Sensibility, The Little Children ආදී සිනමාපට කැපී පෙනෙයි. ඇය ඇකඩමි සම්මාන උළෙලේදී හොඳම නිළිය සඳහා පිරිනැමෙන සම්මානය දිනා ගත්තේ The Reader චිත්‍රපටයේ රඟපෑම වෙනුවෙනි.

මෙම වසරේ පෙබරවාරි මස උත්කර්ෂවත් අයුරෙන් පැවැත්වුණ සිනමාව හා රූපවාහිනී කලාව වෙනුවෙන් වූ බ්‍රිතාන්‍ය ඇකඩමිය (The British Academy of Film and Television Arts – BAFTA)විසින් පවත්වන ලද වාර්ෂික සම්මාන උළෙලේදී ‘Steve Jobs’ සිනමාපටයේ රඟපෑම වෙනුවෙන් ඇයට හොඳම සහය නිලියට හිමි සම්මානය හිමි විය.

එම සම්මානය දිනා ගැනීමෙන් පසු ඇය විසින් පැවැත්වූ කතාවේ සිංහල පරිවර්තනය පහත දැක්වේ. අනුන්ගේ වදන් නිසා සිත් රිදවාගෙන තම අරමුණු කරා යාමට පසුබටවන ඕනෑම  අයෙකුට, විශේෂයෙන්ම සිය පෙනුම ගැන, ශරීර ප්‍රමාණය ගැන වද වන ගැහැණු ළමුන්ට මෙම කතාව මහඟු උත්තේජනයක් වනවා නිසැකය.


“මං පොඩි කාලෙදි, හරියටම කිව්වොත් මට වයස 14දි එක ගුරුවරියක් කිව්වා ‘මහත ගෑණු ළමයෙකුගේ චරිතයක් රඟපෑවොත් තමයි ඔයාට සාමාන්‍යයෙන් හරි සාර්ථක වෙන්න පුළුවන් වෙන්නේ’ කියල. 
ඒත් දැන් මං දිහා බලන්න..මං දිහා හොඳට බලන්න.
ඉතින් මට මේ වෙලාවෙදි කියන්න ඕන කියල හිතෙන්නෙ මේකයි. ගුරුවරයෙක් හරි, යාළුවෙක් හරි එහෙමත් නැත්නම් තමන්ගේම දෙමාපියන්ගෙන් හරි අහන්න වුණ දෙයක් නිසා හිත රිදුණ ගෑණු ළමයෙක් ඉන්නවනම් මට කියන්න තියෙන්නේ ඒ කිසිම දෙයක් අහන්න යන්න එපා කියලයි.
මොකද මමත් කළේ ඒකම තමයි. මම ඒ කිසි දෙයක් කණකට ගත්තෙ නැහැ. ඒ වෙනුවට මම මගෙ වැඩ ටික හොඳට කළා. මගෙ හිතේ හැංගිලා තිබුණ බය වගේම වෙන වර්ගවල පීඩාකාරී සිතිවිලිත් මම පැරැද්දුවා. ඉතින් ඒ නිසා කිසිම දවසක තමන් ගැන තමන්ට තියෙන විශ්වාසය නැති කරගන්න එපා. මම හැමවෙලේමකළේ ඒකයි. දැනුත් කරන්නේ ඒකම තමයි.
ඉතින් මම මේ කතාව වෙන් කරන්නේ තමන්ගේ හැකියාවන් ගැන අවිශ්වාස කරන හැම ගෑණු ළමයෙක්ටමයි. මොකද ඔබ කිසිම දවසක ඔබ ගැන අවිශ්වාස කරන්න හොඳ නෑ. ඔබට ඉන්නේ ඉදිරියටම යන්නයි”

එම අවස්ථාවේ වීඩියෝ පටය පහතින් නැරඹිය හැකියි.

SHARE

NO COMMENTS

LEAVE A REPLY