ඩෙංගු රකුසාගෙන් ප්‍රවේශම් වෙමු

මේ දිනවල කඩින් කඩ පවතින වැසි සහිත කාලගුණ තත්වයත් සමඟ දිවයිනේ ප්‍රදේශ රැසක ඩෙංගු රෝගය පැතිරීගෙන යාමේ අවදානමක් උද්ගත වෙමින් පවතිනවා. මේ වන තෙක් නිශ්චිත ඖෂධ ප්‍රතිකාරයක් සොයා නොගත් ඩෙංගු රෝගයෙන් ආරක්ෂා වී සිටින්නේ කෙසේ ද? ඩෙංගු රෝගීන් රැක බලාගන්නේ කෙසේ ද? ඩෙංගු රෝගය සැම විටම මාරාන්තික ද? අද ඔබ දැනුම්වත් කෙරෙන්නේ ඒ පිළිබඳවයි.

fb-like-beg


ඩෙංගු උණ හඳුනාගත හැකි රෝග ලක්ෂණ

ඩෙංගු උණ මතු වන්නේ සාමාන්‍යයෙන් වෛරසය ශරීරයට ඇතුළු වී දින පහකට පමණ පසුවයි. බොහෝ විට එය එකවර ඇඟ වෙවුලා මතුවෙන උණක්. සිරුරට පණ නැති ගතිය, තද හිසරදය, ඇස් යට වේදනාව, විශේෂයෙන් ඇස් එහා මෙහා කරන විට හටගන්නා තද වේදනාව, කොන්දෙ කැක්කුම ප්‍රධාන රෝග ලක්ෂණ ලෙස හැඳින්විය හැකියි.

ඊට අමතරව රෝගියා පරීක්ෂා කිරීමේ දී සිරුරෙහි වසා ගැටිති ඉදිමී ඇති බවත්, සමෙහි රතු වන් පලු මතු වී ඇති බවත් පෙනේ. පළමුවෙන් අත් පාවල හටගන්නා රතු වන් පලු කඳ ප්‍රදේශයට පැතිර යයි. මුඛය හැර බැලු විට උඩු තල්ලේ රතු පැහැති ලප (Petechiae) ද දැකගත හැකි වෙයි.

දින 3 – 4 කදී උණ බැස යන අතර නැවතත් දිනකින් හෝ දෙකකින් ඉහත සඳහන් රෝග ලක්ෂණ ඇතිවිය හැකියි. විශේෂයෙන් උණ, හිසරදය සහ රතු පැහැ ලප නැවත මතුවිය හැකියි. ඇඟපතේ දැඩි වේදනාව, ඈලි මෑලි දුබල ගතිය, සහ කිසිවක් කිරීමට එපා වූ ගතිය (Depression) ඇතිවිය හැකියි.


ඩෙංගු රක්තපාත උණ තත්වය යනු කුමක්ද?

ඩෙංගු රක්තපාතය ඩෙංගු උණේම තවත් ආකාරයක්. ඒ වගේ ම භයානක තත්ත්වයක්. විවිධ ඩෙංගු වෛරස් ප්‍රභේදයන් ගෙන් ඇති කරවන ඩෙංගු උණ පිට පිටම දෙතුන් වරක් ඇති වීමෙන් ඩෙංගු රක්තපාත උණ (Dengue Haemorrhagic Fever – DHF) වැලඳීමේ අවදානම වැඩි කුඩා දරුවන්ට සහ ළදරුවන්ට.


ඩෙංගු උණ සහ ඩෙංගු රක්තපාත උණ අතර ඇති වෙනස්කම් මොනවාද?

ඩෙංගු රක්තපාත තත්ත්වයේ දී පළමුවෙන්ම උණ සහ සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝග ලක්ෂණ මතුවිය හැකියි. පසුව එකවර උණ වැඩිවී හුස්ම ගැනීමේ අපහසුව, වමනය, ඔක්කාරය සහ උදරයේ වේදනාව වැනි තත්ත්ව ද ඇතිවීමට පුළුවන්. දින 6 ක් පමණ යන විට රෝගියා කම්පනයට පත් වී නහයෙන් සහ කනෙන් ලේ ගැලීමත්, සම තුළ ලේ ඉහිරී යාමත්, සිදු වෙනවා.

කෝපි පැහැයට හුරු ලේ වමනය ද ඇති වෙනවා. එම කම්පන තත්ත්වය හඳුන්වන්නේ ‘Dengue Shock Syndrome’ නමින්. රුධිරය කැටි ගැසීමේ ක්‍රියාවලිය දුර්වල වීමේ හේතුවෙන් ලේ ගැලීම සිදු වෙන අතර රුධිර ප්ලාස්මාව රුධිර නාළ තුළින් පිටත පටකවලට ගලා යාමෙන් රෝගියා කම්පනයට පත්වී නාඩි එහෙමත් දුර්වල වෙනවා. සිරුර සිදුමැලි හෝ නිල්වන් පැහැ ගැනීමට ද පුළුවන්. එවැනි රෝගීන්ගේ අත් පා ශීතල වුවද ක‍ඳෙහි රස්නය රැඳී තිබෙනවා.

සමහර ඩෙංගු රක්තපාත රෝගීන්ට නියුමෝනියාව හෝ හෘද පටකයේ ආසාදන (Myocarditis) ද ඇති වෙන්නට පුළුවන්. ඩෙංගු රක්තපාත උණ නිසා කම්පනයට පත් වූ රෝගීන් මිය යාමට ද පුළුවන්. විශේෂයෙන් අවුරුද්දට අඩු කුඩා දරුවන්ට ඒ අවදානම වැඩියි.


ඩෙංගු රක්තපාත රෝගියෙකුට ලබා දිය හැකි ප්‍රතිකාර

ඒ සඳහා නිසි ප්‍රතිකාරයක් නැති වීමයි ඇති ප්‍රධානතම ගැටලුව. මේ වයිරසයට විරුද්ධව ක්‍රියා කරන ප්‍රතිජීවක ඖෂධ තවමත් සොයා ගන්නට හැකිවෙලා නැහැ. ඒ වගේම ඩෙංගු උණ වැළැක්වීම සඳහා ප්‍රතිශක්තිකරණ වැක්සීනයක් ද සොයා ගෙන නැහැ. වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙන්නේ එසේත් නැතිනම් වෛද්‍යවරුන්ට කළ හැකි වන්නේ රෝගියා ගේ සිරුරෙන්ම රෝගය සුව වන තුරු ඇතිවන වෙනත් සංකූලතාවලින් ගැලවීමට ප්‍රතිකාර මඟින් උදවු කිරීම පමණයි. ඩෙංගු රෝගයට විශේෂිත ඖෂධ ප්‍රතිකාරයක් නැති නිසා වඩා වැදගත් වන්නේ රෝගය වළක්වා ගැනීමයි.


ඩෙංගු රෝගියෙකු රැක බලා ගන්නේ කෙසේද?

ඩෙංගු රෝගියෙක් සඳහා කෙරෙන ප්‍රතිකාරවලදී ප්‍රධාන වශයෙන් කරන්නේ රෝගයට වඩා රෝග ලක්ෂණවලට ප්‍රතිකාර කිරීමයි. එවැනි රෝගීන් කිසිඳු ආකාරයකින් හෝ සිරුර වෙහෙස නොකළ යුතුයි. ඇඳ විවේකය අත්‍යවශ්‍යයි. ඒ වගේම කිසිඳු හේතුවක් නිසා හෝ ඇස්ප්‍රීන් අඩංගු ඖෂධ රෝගියාට නොදිය යුතුයි. එමඟින් සිරුරේ රුධිර වහනය වැඩි වී රෝගී තත්ත්වය උත්සන්න විය හැකියි.


ඩෙංගු රෝගය සුවවීමෙන් පසු විවේක ගත යුත්තේ කෙසේද?

ඩෙංගු උණෙන් හැමෝම මිය යන්නේ නැති බව, එනම් එම රෝගය සැම විටම මාරාන්තික වන්නේ නැති බව ජනතාව දැන සිටීම වැදගත්. අනවශ්‍ය ලෙස රෝගයට බිය වීම සුදුසු නොවීම ඊට හේතුවයි. ඩෙංගු උණ රෝගය සුව වූ කෙනෙක් සිරුරට වෙහෙසකර බවක් නොදැනේ නම්, ආහාර අරුචියක් නොවේ නම්, සාමාන්‍ය වැඩපළවල නිරත වීම ප්‍රශ්නයක් නොවේ. ඇඟට පණ නැති ගතියක් දැනේ නම්, විවේක ගැනීම කළ යුතුයි.


ඩෙංගු මදුරුවන් දෂ්ට කරන හැම කෙනෙක් ම රෝගයට ගොදුරු වෙනවා ද?

නෑ. සෞඛ්‍ය සම්පන්න අයට රෝගය වැලඳීමේ අවදානම අඩුයි. ඇතැම් අයට තමන් නොදැනුවත්වම රෝගය වැලඳී සුව අතට හැරෙනවා. විශේෂයෙන් ලේ අඩු, රක්ත හීනතාවයෙන් පෙළෙන අය, මන්ද පෝෂණය ඇති අය වගේම බර අඩු හා නිසි පරිදි ආහාරපාන (පෝෂණ ගුණයෙන් යුතු) නොගන්නා අය රෝගයට ගොදුරු වීමේ අවදානම වැඩියි.


ඩෙංගු රෝගියකුට දිය යුතු ආහාරපාන මොනවා ද?

දිරවීමට පහසු ආහාර ලබාදීම ඉතා වැදගත්. විශේෂයෙන් ඩෙංගු වැනි රෝගවල දී ශරීර ශක්තිය අත්‍යවශ්‍යයි. ඒ නිසා ශක්තිජනක ආහාර ලබාදීම වැදගත්. රෝගියා ආහාර ප්‍රතික්ෂේප කරනවා නම් ඔවුන් ප්‍රිය කරන, ඉල්ලන ආහාර ලබාදීම වරදක් නොවේ.


ඩෙංගු රෝගීන්ට දියරමය ආහාර, එසේත් නැතිනම් පාන වර්ග වැඩිපුර ලබා දීම සුදුසු ද?

පාන වර්ග වුවද අවශ්‍ය ප්‍රමාණයට වඩා ලබා දීම අහතිකර විය හැකියි. අනවශ්‍ය ලෙස පාන වර්ග ලබා දීමෙන් රුධිර නාළවල වතුර එළියට යා හැකියි. එය සුදුසු නොවේ. වතුර බීම සහ මුත්‍රා යාම අධ්‍යයනය කරමින්, (බොන ජල ප්‍රමාණයට අනුව මුත්‍රා පිට වනවා නම්) රෝගියාට පිපාසය දැනෙනවා නම් පාන වර්ග ලබාදීමේ ගැටලුවක් නොවෙයි. එවැනි අවස්ථාවක දී ඔබගේ වෛද්‍යවරයාගේ උපදෙස් ලැබීම වැදගත්.


උණ රෝගියකු ඩෙංගු රෝගියකු බව තීරණය කරන්නේ කෙසේ ද?

රෝගියාගේ රුධිරයේ ඇති රුධිර පට්ටිකා ප්‍රමාණය (Platelet Count) ඝන මි. මි. 100,000 ට අඩු නම් හෝ PCV හෙවත් Pack Cell Volume 10% – 20% ට වඩා වැඩි වූ විට ඩෙංගු උණ වැලඳී ඇතැයි සැක කරනවා.

රුධිර සාම්පල පරීක්ෂා කිරීමෙන් වයිරසය හෝ වයිරසයට විරුද්ධව රුධිරයේ නිපදවෙන ප්‍රතිදේහ හඳුනාගත හැකියි.


ඩෙංගු උණ වරක් හැදුණොත් නැවත හැදෙන්නට පුළුවන් ද?

ඩෙංගු වයිරස් විශේෂ හතරක් තිබෙනවා. එක් විශේෂයක් නිසා ඇති වූ ආසාදනයෙන් අනෙක් විශේෂ සඳහා ප්‍රතිශක්තියක් ඇති වන්නේ නෑ. එම නිසා රෝගය වැලඳුණ කෙනෙකුට නැවත නැවත ඩෙංගු රෝගය වැලඳිය හැකියි.


ඩෙංගු රෝගය දුරලීමට ජනතාවගෙන් ඉටුවිය යුතු කාර්යභාරය

ඩෙංගු මදුරුවන් බෝවෙන ස්ථාන පරිසරයෙන් ඉවත් කිරීම සමාජයේ පොදු වගකීමයි. ඒ සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ලබා දෙන උපදෙස් පිළිපැදිය යුතුයි. තමන්ගේ නිවස අවට පමණක් පිරිසුදුව තබාගෙන ටින් බෙලෙක්ක, ප්ලාස්ටික් බෝතල් මහ පාරට හෝ අල්ලපු හිස් ඉඩමට ගිහින් දමනවා නම් ඒ තැනැත්තාට වුවද ඩෙංගු මදුරුවාගෙන් බේරී සිටිය නොහැකියි.

වි‍ශේෂයෙන් ඩෙංගු උණ පවතින ප්‍රදේශවල සිටින අය උණක් හටගත් විට ඇස්ප්‍රීන් අඩංගු ඖෂධ ගැනීමෙන් වැළකිය යුතුයි. ඒ වගේම ඕනෑම කෙනෙක් ඉහත කී රෝග ලක්ෂණ මතු වන්නේ නම් වහාම සුදුසුකම් ලත් වෛද්‍යවරයකු වෙත රෝගියා රැගෙන යා යුතුයි.

SHARE

NO COMMENTS

LEAVE A REPLY