ලොවටම ගැටළුවක් වී ඇති ළමා තරබාරුකම

රුවන් තරබාරු වීම බොහෝ රටවල විශාල ගැටලුවක් වී තිබෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාවකට අනුව ලෝ පුරා අවුරුදු පහට අඩු දරුවන් මිලියන 22ක් පමණ තරබාරුයි.

මේ ගැටළුව සංවර්ධිත රටවල්වලට පමණක් නෙවෙයි ශ්‍රී ලංකාව වගේ සංවර්ධනය වෙමින් පවතින රටවලටත් දැන් දැන් දරුණු විදිහට බලපාන ගැටළුවක්. මොකද රටක ළමා පරම්පරාව කියන්නේ ඒ රටේ අනාගත ශ්‍රම බලකාය. අනාගත ශ්‍රම බලකාය සෞඛ්‍ය ගැටළුවලින් පීඩා විඳිනකොට රටක් වශයෙන් දියුණු වීමට හැකියාවක් ලැබෙන්නේ නෑ.

ස්පාඤ්ඤය පුරා කළ සමීක්ෂණයකින් සොයාගැනුණේ එම රටේ දරුවන් තුන්දෙනෙකුගෙන් එක් අයෙක් තරබාරුයි කියායි. ඕස්ට්‍රේලියාවේ 1985 සිට 1995 දක්වා කාලය තුළ පමණක් දරුවන් තරබාරු වීම තුන්ගුණයකින් ඉහළ ගොස් තිබෙනවා. පසු ගිය දශක තුන ඇතුළත එක්සත් ජනපදයේත් අවුරුදු හයත් එකොළහත් අතර වයස් මට්ටමේ සිටින දරුවන් තරබාරු වීම තුන්ගුණයකටත් වඩා ඉහළ ගොස් තිබෙනවා.
fb-like-beg


දරුවන් තරබාරු වීමට බලපාන හේතු

තරබාරු වීමට ජානවලින් සහ හෝමෝනවලිනුත් යම් බලපෑමකුත් සිදුවුණත් වැඩිපුර ආහාර ගැනීමත් අඩුවෙන් ව්‍යායාම කිරීමත් දරුවන්ගේ තරබාරුකමට විශාල වශයෙන් දායක වන බවයි වෛද්‍යවරුන් පවසන්නේ.

මෙම තත්වයන්ට මූලිකම හේතුවක් නම් දෙමාපියන් රැකියාවල නිරත වීම නිසා නිසි ලෙස පෝෂණ ගුණයක් ලැබෙන පරිදි ආහාර පිළියෙල කිරීමට ඔවුන්ට කාල වේලාවක් නැති වීමයි. ඒ නිසා ක්ෂණික ආහාර මිල දී ගැනීම සාමාන්‍ය දෙයක් වී තිබෙනවා. ක්ෂණික ආහාර ලබාගත හැකි අවහන්හල් මේ දිනවල බිහිවෙන්නේ හතු පිපෙනවා වගෙයි.  මෙම ක්ෂණික ආහාරවල අධික සීනි හා මේද ප්‍රමාණයක් තිබෙන අතර මෙමගින් කෑම රුචිය ඇති කරන නිසා අනුභව කරන ආහාර ප්‍රමාණයද වැඩියි.

තරබාරු වීමට බලපාන තවත් හේතුවන් නම් කිරි සහ ජලයට වඩා කෘත්‍රිම සිසිල් බීම වැඩි වශයෙන් පානය කිරීමයි. ඉහත දැක්වූ ලෙස අහාර රටාවකට හුරුව සිටින දරුවෙකු ප්‍රමාණවත් ව්‍යායාම් නොකර සිටීමද  තරබාරුකමට හේතු වෙනවා.


තමන් තරබාරු දැයි කියා හරියටම මැන ගන්නේ කොහොමද?

තරබාරු බව මැනීම සඳහා දැනට ලෝකයේ විවිධ මිනුම් දඬු භාවිතා කරනු ලබනවා. ඉන් ප්‍රධාන තැනක් හිමි වන්නේ ශරීර ස්කන්ධ දර්ශකයටයි (Body Mass Index – BMI). එය මනින්නේ පහත පරිදියි.

⌊බර කි.ග්‍රෑ/උස මීටර x උස මීටර⌋ 

උදාහරණයක් ලෙස කිලෝ ග්‍රෑම් 25 ක බරක් ඇති උස සෙන්ටිමීටර 100ක් පමණ වන පිරිමි දරුවෙකුගේ ශරීර ස්කන්ධ දර්ශකය 25ක් වනවා. ( BMI = 25)

සාමන්‍ය පුද්ගලයෙකුගේ මෙය 18.5ත් 25ත් අතර අගයක පවතිනවා. එහෙත් අධි බර පුද්ගලයන්ගේ 25ත් 30ත් අතර අගයක් ගන්නා අතර තරබාරු පුද්ගලයන්ගේ 30 ට වඩා වැඩි අගයක් ගන්නවා.


තරබාරු වීමේ විපාක

අධි තරබාරු සහිත ළමුන් වැඩිහිටි වියට පත්වෙත්ම විවිධ ශාරීරික හා මානසික වශයෙන් විවිධ ගැටලු වලට මුහුණ පෑමට සිදු වෙනවා.  ළමා කාලයේදී විවිධ රෝගවලටත් මුහුණ දෙන්න මෙවන් දරුවන්ට සිදුවනවා. අධි රුධිර පීඩනය, දියවැඩියාව, ඇදුම, හෘද රෝග වැනි රෝග තරබාරු බවින් පෙලෙන දරුවන්ට වැළඳිය හැකි ඉතාම සුලබ රෝයි.

එසේම සම වයසේ දරුවන් විසින් තරබාරු ළමුන් වෙත කරන විහිලු තහලු නිසා තමන්ගේ රූප ස්වභාවය පිළිබදව අසහනයට පත් වී විවිධ මානසික ගැටලු වලට මුහුණ දීමත් ඇතැම් විටෙක එවන් දරුවන්ට සිදුවෙනවා. ගැහැණු ළමයින් තමයි මෙයින් වදිපුරාම් පීඩාවට පත් වන්නේ.


ළමා තරබාරු ප්‍රශ්නයට ඇති විසඳුම්

දරුවන්ගේ ආහාර පාලනය කිරීම පෝෂණවේදීන් අනුමත කරන්නේ නැහැ. මොකද එය දරුවන්ගේ වර්ධනයට මෙන්ම සෞඛ්‍යයටද බලපෑ හැකි නිසයි. තරබාරුකම මට්ටු කිරීමට කළ හැකි හොඳම දේ සමබර ආහාර වේලක් ගැනීම හා ප්‍රමාණවත් ව්‍යායාම්වල යෙදීමයි. මෙය දරුවන්ට පමණක් නොව මුළු පවුලටම කළ හැකි දෙයක්.


දෙමව්පියන්ගේ වගකීම

  1. ක්ෂණික ආහාර ගන්නවා වෙනුවට වැඩිපුර පළතුරු හා එළවළු ආහාරයට එක් කරගන්න.
  2. සිසිල් බීම මෙන්ම මේදය හා සීනි අධික කෙටි ආහාර අවම කරන්න. ඒ වෙනුවට වතුර හෝ මේදය අඩු කිරි බොන්න. කෙටි ආහාර ගන්නා විට ගුණදායක ඒවා ගන්න.
  3. තෙලින් බැද ගන්නවාට වඩා පුලුස්සාගැනීම, තම්බාගැනීම හෝ වාෂ්පයෙන් පිසගැනීම වැනි පිසීමේ ක්‍රම භාවිත කරන්න.
  4. උදේ ආහාරය අතපසු නොකිරීමට වගබලා ගන්න. එක් වේලක් අතපසු කිරීම ඊළඟ වේල වැඩියෙන් ගැනීමට හේතු විය හැකියි.
  5. කෑම මේසයේ ඉඳගෙන ආහාර ගන්න. රූපවාහිනිය හෝ පරිගණකය ඉදිරියෙහි ඉඳගෙන ආහාර ගැනීමෙන් නොදැනුවත්වම වැඩිපුර ආහාර ගැනීමට එය හේතුවක් වෙයි.
  6. බයිසිකල් පැදීම, ක්‍රීඩාවල යෙදීම වැනි ශාරීරික ක්‍රියාකාරකම්වල නියැලීමට උනන්දු කරන්න.
  7. රූපවාහිනිය නැරඹීම, පරිගණකය භාවිත කිරීම සහ වීඩියෝ ක්‍රීඩාවල නියැලීම අවම කරන්න.
  8. පවුලක් හැටියට සත්තු වත්තට හෝ පිහිනීමට හෝ ක්‍රීඩා පිටියකට හෝ යන්න.
  9. ගෙදර දොරේ වැඩකටයුතුවලට දරුවන්ව හවුල් කරගන්න.
  10. හොඳ ආහාර රටා හා ව්‍යායාම් කිරීමෙන් දරුවන්ට ආදර්ශයක් වන්න.
SHARE

NO COMMENTS

LEAVE A REPLY