දියවැඩියා රෝගීන්ගේ පාදවල හටගන්නා තුවාල සඳහා කළ හැකි ප්‍රතිකාර

දියවැඩියා රෝගීන්ට තියෙන ප්‍රධානම ගැටළුවක් වෙන්නේ පාදවල හටගන්නා සුව නොවෙන තුවාල.දියවැඩියා රෝගීන්ගේ පාද හිරිවැටීම සිද්ධ වෙනවා. ඒ නිසා මේ අයගේ කකුල කොහේ හරි වැදිලා තුවාල උනත් ඒ අයට දැනෙන්නෙ නෑ.ඒ වගේම රුධිර සැපයුම අඩු වීම නිසා වගේම ස්නායු සැපයුම අඩු වීම නිසාත් තුවාල ඉබේ හට ගන්නත් පුළුවන්.

fb-like-beg


අනිත් කාරණය තමයි මේ අයගේ කකුල් හිරි වැටීම නිසා ඇවිදිද්දි නිසි විදිහට කකුල බිම තියන්නේ නෑ.ඒ නිසා ඇඟේ බර කකුලේ සමව බෙදිලා යනවා වෙනුවට යම් යම් ස්ථානවලට විතරක් මුළු බරම වැටෙනවා.එහෙම උනාම ඒ බර වැටෙන තැන්වල තුවාල හැදෙන්ඩ පුළුවන්.ඒ විතරක් නෙමෙයි කකුලේ ස්නායු සැපයුම අඩාල උනාම කකුලේ දහදිය දැමීම වගේ දේවලුත් සිද්ද වෙන්නේ නෑ.එතකොට කකුලේ හම වේලිලා පුපුරලා යෑම හරහාත් තුවාල ඇති වෙන්ඩ පුළුවන්.

මෙහෙම ඇතිවෙන තුවාල ගැන රෝගියාට දැනෙන්නේ නැති නිසා මේවා නිකම්ම පැසවලා යනකන් කවුරුවත් දන්නේ නෑ.රෝගියාගේ රුධිරයේ ප්‍රතිශක්තිය අඩු වීම නිසා ඉක්මනට මේ තුවාලවලට විශබීජ ආසාදනය වෙන එකත් සිද්ද වෙනවා.හැබැයි රුධිර සැපයුම මේ හරියට නිසි විදිහට නැති හින්දා සුදු රුධිරාණුවලට ගිහිල්ලා මේ විශබීජ විනාශ කරලා දාන්ඩත් ලේසි වෙන්නේ නෑ.අවසන් ප්‍රතිඵලය වෙන්නේ කකුල කපලා දාන්ඩ සිද්ද වෙන එක.


දියවැඩියා රෝගීන් තම දෙපා රැක බලාගැනීම සඳහා කළ යුතු දේවල කිහිපයක් පහත දැක්වෙනවා.
  1. හැමදාම නින්දට පෙර කවුරුන් හෝ ලවා හෝ තනිවම කණ්ණාඩියක් ආධාරයෙන් කකුලේ උඩ, යටි පතුලේ සහ ඇඟිලි කරු අතර තුවාල තියෙනවද, දිලීර ආසාදන තියෙනවද කියලා පරීක්ෂා කරන්න.
  2. නින්දට පෙර කකුල් හොඳින් සෝදා තෙත මාත්තු කරගෙන ඉන්න.ඒ සඳහා වෙනම තුවායක් පාවිච්චි  කරන්න.
  3. නින්දට පෙර කකුල්වල සම රැකදෙන ක්‍රීම් (moisturizing cream) වර්ගයක් ආලේප කරන්න. (ඇඟිලි කරු අතරට නොයන ලෙස)
  4. සෑම විටම (නිවස තුලදීත් ) පාදයට ගැලපෙන තද නොවූත්, සැහැල්ලු වූත්, ආසාත්මික නොවන පාවහන් පළඳින්න.
  5. පාවහන් පැළඳීමට පෙර පාවහන් තුල වැලි කැට ආදිය නොමැති බව තහවුරු කර ගන්න.
  6. නියපොතු නිතිපතා කෙටි කරගෙන තබාගන්න.තියුණු කෙළවරවල් තිබෙන පරිදි නිය කපන්න එපා.
  7. කුඩා තුවාල ඇති උවහොත් නිවසේදී ප්‍රථමාධාර දී ආවරණය කර තබන්න.
  8. විශාල තුවාලයක් නම්, කුඩා වූවත් තුවාලය සුව වෙන්නේ නැතිනම් හෝ පැසවා ඇත්නම් වහාම වෛද්‍යවරයෙකුට පෙන්වන්න.
SHARE

NO COMMENTS

LEAVE A REPLY