දරුවෙකු ලද මවකට ඇති විය හැකි මානසික සංකූලතා ස්වභාවයන් 03ක්

රුවකු ලැබීම යනු කාන්තාවකට ලබන්න පුළුවන් උතුම් ම මිහිරිතම අත්දැකීම ලෙස හැඳින්වීම නිවැරැදියි. එසේ වුවත් දරුවා ලද පසු ඇතැම් කාන්තාවන්ගේ මනස සුළු කාලයක් ගත වන තුරු පවතින්නේ කැලඹිලිකාරී ස්වභාවයක. මේ මානසික කැලඹිලි ස්වභාවයට හේතු වන මානසික සංකූලතා සහ ගැටලු ගණනාවක් ම දැන් හඳුනාගෙන තිබෙනවා. මේ ලිපියෙන් අපි කතා බහ කරන්නේ එසේ ඇතිවිය හැකි මානසික සංකූලතාවන් පිලිබඳවයි.

fb-like-beg


Baby Blues තත්වය

මෙහිදී, දරුවා ලැබීම මවකට ඉතා ප්‍රීතිමත් අවස්ථාවක් වුවත් මෙහිදී මෙම මවට දුක්බර හැඟීමක් සහ බලාපොරොත්තු රහිත තත්ත්වයක් ඇති වනවා. ඒ වගේ ම තමන් පිළිබඳව ඍණාත්මක හැඟීම් මෙන් ම අධික මහන්සිය, නින්ද නොයාම, තමන් කරන වැඩ පිළිබඳව උනන්දුවක් නැතිවීම වැනි මානසික තත්ත්වයන් මෙම මවට ඇති වෙනවා. මෙවැනි තත්ත්වයන් මවට තේරුම් ගැනීම අපහසු වෙන්න පුළුවනි.

මෙම මානසික තත්ත්වය මවුවරුන්ගෙන් විශාල සංඛ්‍යාවකට 50% – 60%කට පමණ ඇතිවීමේ හැකියාව තිබෙනවා. නමුත් දරුවා ලැබී පළමු දින දෙක තුන තුළදී පියාගෙන් සහ පවුලේ අනෙක් උදවියගෙන් මවට ලැබෙන ආදරය සහයෝගය මත මෙම මානසික තත්ත්වය නැතිවී යනවා.

එමනිසා මෙය තත්ත්වය මානසික රෝගයක් හෝ මානසික අවපීඩන තත්ත්වයක් ලෙස සලකන්නේ නෑ. නමුත් මෙම තත්ත්වය පිළිබඳව මවත් පවුලේ උදවියත් දැනුවත්වීම අවශ්‍යයයි.


පසු ප්‍රසව විශාදය (Postpartum depression)

කාන්තාවකට දරුවකු ලැබුනායින් පසුව ඇති විය හැකි තවත් මානසික වියවුල් තත්ත්වයක් තමයි මේ. දරුවන් ලැබෙන කාන්තාවන් 10%ක් පමණ මෙම මානසික තත්ත්වයට මුහුණ දෙන බව දැන් හෙළිවී තිබෙනවා. ඉහතින් සඳහන් කළ Baby blues තත්ත්වයෙන් මෙම තත්ත්වය වෙනස් කර හඳුනා ගැනීම ඇතැම් විට අපහසු වෙන්න පුළුවනි.

නමුත් දරුවා ලැබුණු පසු දිගින් දිගට ම ඍණාත්මක හැඟීම් ඇතිවෙයි නම්, තමන්ගේ එදිනෙදා ක්‍රියාකාරකම් තමන්ගේ පාලනයෙන් තොරව සිදුවේ යැයි හැ‍ඟේ නම්, තම තමන්ගේ අලුත උපන් දරුවාට හොඳ මවක් නොවේ යැයි යන සිතිවිල්ලෙන් පෙළෙන්නේ නම්, දරුවා සාමාන්‍ය තත්ත්වයෙන් සිටින විට එම දරුවා අසාමාන්‍ය යැයි කියමින් අනවශ්‍ය ලෙස කරදර වන්නේ නම්, අධික වෙහෙස, අධික මහන්සිය, නිදාගැනීමේ අපහසුතා ආදිය ඇති වන්නේ නම් එම මවට මෙම රෝගී තත්ත්වය ඇතැයි සිතිය හැකියි.

එසේම මොවුන් තුළින් දැකිය හැකි තවත් ලක්ෂණ කීපයක් වන්නේ, තමන්ගේ කෑම බීම පිළිබඳව, තමන්ගේ ඇඳුම් පැළඳුම් පිළිබඳව මෙන් ම තම දරුවා පිළිබඳව ද සැලකිල්ලක් නොදැක්වීමයි. මෙම රෝගී තත්ත්වයට ගොදුරු වූ මවුවරු ඉතා ඉක්මනින් හඳුනාගෙන ප්‍රතිකාර කිරීම කළ යුතුයි.


පසු ප්‍රසව සයිකෝසියාව (Postpartum psychosis)

මෙය ඉතා බරපතළ මානසික රෝගී තත්ත්වයක්; ඒ වගේ ම ඉතා දුර්ලභ දහසකින් එක් අයකුට පමණ ඇති විය හැකි මානසික රෝගී තත්ත්වයක්. කිසියම් මවකට ගර්භණී තත්ත්වයට පත්වීමට කලින් මානසික රෝගී තත්ත්වයන් පැවතුනේ නම්, එම මව පසු ප්‍රසව සයිකෝසියාවට ගොදුරුවීමේ හැකියාව වැඩියි. නමුත් මීට කලින් කිසිදු මානසික ආබාධයක් නොපෙන්වූ මවකට වුවද පසු ප්‍රසව සයිකෝසියාව වැලඳීමේ හැකියාව තිබෙනවා.

අනෙකුත් මානසික රෝගී තත්ත්වයන්ගෙන් මෙම රෝගය වෙන්කොට හඳුනාගත හැකි වන්නේ, “ඇත්ත වශයෙන් ම නැති කිසියම් දෙයක් ඇසීම හෝ දැකීම”, “නිවැරදි නොවන දේ විශ්වාස කිරීම” යන තත්ත්වයන් දෙක රෝගියා වෙතින් පෙන්නුම් කෙරේ ද යන්න සොයා බැලීමෙනුයි. මෙම තත්ත්වයට පත්වූ රෝගි‍යකුට තමන්ට කිසියම් රෝගයක් ඇති බව හැඟී යන්නේ නෑ. නමුත් මෙහි මුලින් දැක්වූ අවස්ථා දෙකේදී එම රෝග තත්ත්ව තමන්ට ඇතැයි රෝගී මවට හැඟී යනවා. මෙම රෝගී තත්ත්වය පිළිබඳව එම මවගේ සැමියා සහ‍ දෙමවුපියන් ද හොඳින් අවබෝධ කර‍ගත යුතු වෙනවා.

පවුලේ උදවිය විසින් මෙවැනි මවක් හඳුනාගෙන ප්‍රතිකාර කරන විට එම මව සිතන්නේ සියලුම දෙනා තමන්ට විරුද්ධව ක්‍රියාකරන බවයි; හැසිරෙන බවයි; තමන්ට කරදර කරන බවයි. එසේම මෙවැනි මවක් තමන්ගේ දරුවා පිළිබඳවත් තමන්ගේ සැමියා පිළිබඳවත් ඉතා වැරදි සහගත සිතිවිලි ඇති කර ගැනීමට ඉඩ තිබෙනවා. තමන්ගේ දරුවා, තමන්ගේ සැමියා තමන්ගේ ජීවිතයට හානිකර යැයි මෙම මවුවරු සිතනවා. එහි ප්‍රතිඵලය ඉතා භයානක එකක් විය හැකියි. මෙම රෝගී තත්ත්වය සඳහා අනිවාර්යෙන්ම හැකි විගස මනෝ වෛද්‍ය ප්‍රතිකාර ලබාගත යුතුයි.

SHARE

NO COMMENTS

LEAVE A REPLY