මානසික අවපීඩනයෙන් පෙලෙන අයෙකුට නොකිව යුතු දේවල් 6ක්

මානසික අවපීඩනය එහෙමත් නැත්නම් විශාදය කියන්නේ සුලබව දකින්න පුළුවන් මානසික අසමතුලිතතා තත්වයක්. ලොව පුරා පිරිමින්ගෙන් 10ක%ක් සහ ගැහැණුන්ගෙන් 25%ක් වගේ ප්‍රතිශතයක් ජීවිතයේ කුමන හෝ කාලයකදී විශාදය කියන මානසික තත්වයට ගොදුරුවන බව පර්යේෂණ මගින් සොයාගෙන තිබෙනවා. ඕනෑම කෙනෙකුට ඕනෑම කාලයකදී මෙයට මුහුණ දෙන්නට සිදු විය හැකියි.

විශාදය වැළඳුන අයෙකු සමඟ කටයුතු කිරීමේදී ද සැලකිලිමත් විය යුතුයි. මන්ද සුළු සිදුවීම්වලින් පවා දුකට හා කලකිරීමට පත්වීම ඔවුන්ගේ ස්වභාවයක් වන නිසා. විශේෂයෙන්ම වචන පාවිච්චියේදී තමයි වඩාත්ම සැලකිලිමත් වෙන්න ඕන. ඉතින් විශාදයෙන් පෙලෙන අයෙකුට ඔබ විසින් නොකිව යුතුම දේවල් කිහිපයක් ගැන දැනුවත් කිරීමයි මේ ලිපියේ අරමුණ වන්නේ.

fb-like-beg


“ඔය තත්වෙන් මිදෙන්න බලන්න”

විශාදයෙන් මිදෙන්න ඕන තමයි. ඒත් ඒක දීර්ඝ ක්‍රියාවලියක්. වෛද්‍ය ප්‍රතිකාර, මානසික ප්‍රතිකාර ආදී මේ දේවල් එක්ක යන තරමක කාලයක් ගතවන ක්‍රියාවලියක්. අනික ඒ කෙනත් බලන්නේ ඒ තත්වෙන් මිදෙන්න තමයි. ඒ නිසා ඔබ ආයෙමත් ඒකම කිව්වා කියල ලැබෙන ප්‍රයෝජනයක් නැහැ.


“ඕක එච්චරම නරක දෙයක් නෙවෙයිනේ”

ඔබ හරියටම දන්නේ නෑ එයා ඉන්න තත්වේ. එයාගේ හිතේ තියෙන දේවල් මේ කිසි දෙයක් නොදැන එයා මුහුණ දෙන දේවල් ගැන නිගමනය කරන්න යන එක කොහෙත්ම සුදුසු දෙයක් නෙවෙයි.


“ඔයා හරි දුර්වලයි”

විශාදය කියන්නේ දුර්වලතාවක් නෙවෙයි. එයාට දුර්වලයි කියන ඔබටත් කවදා හරි එහෙම තත්වෙකට මුහුණ පාන්න වෙන්න පුළුවන්.  ඒ නිසා කෙනෙක් දුර්වලයි කියල එක පාරටම පූර්ව නිගමයකට එළඹෙන්න හොඳ නැහැ. එතනින් පැහැදිලි වෙන්නේ අනිත් කෙනෙක්ව අවබෝධ කරගන්න තම හැකියාවක් ඔයාට නැහැයි කියන එක.


“බොරුවට අඬන්න එපා”

මේක කෙනෙක්ට කියන්න පුළුවන් හරිම දරුණු ප්‍රකාශයක්. කෙනෙක් අඬන්නේ ඒ කෙනාගේ හිතේ තියෙන දුක, වේදනාව, කලකිරීම සමනය කරගන්නයි. ඒක සමච්චලයට ලක් කිරීම හරිම අමානුෂික ක්‍රියාවක්.


“මම නම් ඔහොම නැහැ”

හැම කෙනෙක්ම ඔබ වගේ නෙවෙයි. ඔබේ දරාගැනීමේ හැකියාවයි ඔවුන්ගේ දරාගැනීමේ හැකියාවයි වෙනස්.  හැමෝටම තමන්ට විශේෂිත ප්‍රශ්න තියෙනවා. ජීවිතය ගෙනියන්න සුවිශේෂ වුණ අරගල තිබෙනවා. ඒ නිසා ඔබේ තත්වය අනික් ඇයගේ තත්වයත් එක්ක සංසන්දනය කරන්නට යන එක නොකළ යුතු දෙයක්.


“ඔයාට ඉක්මනට මේකෙන් මිදෙන්න පුළුවන් වේවි”

මේක ඇත්තටම නොකිව යුතු දේකටත් වඩා බොහොම ප්‍රවේශමෙන් කියන්න ඕන දෙයක් කියල කිව්වොත් තමයි වඩාත් නිවැරදි වෙන්නේ. විශාදයෙන් පෙලෙන අයෙකුට මෙම වදන් පැවසීමේදී කාරුණිකව, සිනහමුසු මුවින් සහ විශ්වාසයෙන් යුතුව කියන්න තමයි ඕන.

SHARE

NO COMMENTS

LEAVE A REPLY