සිසු දිවිය ඔපවත් කල උතුම් ගුරුවරියකගේ කතාව

ගුරුවරු කියන්නේ ඕනෑම කෙනෙකුගේ ජීවිතයේ තීරණාත්මක චරිත බවට පත්වන පුද්ගලයන්. අපේ සංස්කෘතියේ ගුරුවරුන් ‘ගුරු දෙවිවරුන්’ කියල හඳුන්වන්නේ අන්න ඒ නිසයි. ගුරුවරුන් නිසා ජීවිතය සාර්ථක කරගත් මිනිසුන් වගේම ඇතැම් ගුරුවරුන් නිසා ජීවිතය අසාර්ථක කරගත් මිනිසුන් ගැන ඕනෑ තරම් කතා අසන්නට දකින්නට ලැබෙනවා. විශේෂයෙන්ම කුඩා අවධියේදී කෙනෙක්ගේ ජීවිතයට විශාලම බලපෑම කරන්න පුළුවන් වන්නේ දෙමව්පියන්ට වඩා ගුරුවරුන්ටයි. මේ කාලෙ පොඩි ළමයිගේ ලෝකේ වීරයෝ වෙන්නේ තමන්ගේ පන්තිභාර ටීචර් තමයි. 

ඉතින් දරුවන්ගේ ජීවිතය සහ අනාගතය ගැන ගැඹුරින් සිතන, ඒ වෙනුවෙන් තමන්ගේ කොටස වෙනස්ම ආකාරයට කරන්නට උත්සාහ දරණ එවන් ගුරු උතුමියක් ගැන පවසන්නයි මේ ලිපිය වෙන්වන්නේ.
fb-like-beg


බ්‍රිටිනි ඩැරස් කියන්නේ ඇමරිකාවේ කොලරාඩෝ ප්‍රාන්තයේ පිහිටි උසස් විද්‍යාලයක සේවය කරන ගුරුවරියක්. මෑතකදී ඇගේ පාසලේ පැවැත්වුණ ගුරු දෙගුරු රැස්වීමකට සහභාගී වුණ සිසුවියකගේ මවක් ඇයට පැවසුවේ අනුවේදනීය කතාවක්. මේ සිසුවිය ඒ වන විට දින ගණනාවක් පාසලට පැමිණ තිබුණේ නැහැ. ඇගේ මව පැවසුවේ තමන්ගේ දියණිය සිය දිවි නසා ගැනීමට උත්සාහ ගත් බවත් එහි ප්‍රතිඵලයක් ලෙස ඒ වන විට ඇය රෝහල් ගතව ප්‍රතිකාර ලබන බවයි.

“ඇගේ දියණිය පන්තියේ සිටි වෙහෙස වී අධ්‍යාපන කටයුතුවල යෙදුණ දීප්තිමත් සිසුවියක්. ඇය සියදිවි නසා ගන්නට සැලසුම් කර තිබුණා පමණක් නොව ඒ ගැන ඇගේ සමාජ ජාල ගිණුම්වල සටහන් ද තබා තිබුණා.” ඒ සිද්ධිය ගැන සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් බ්‍රිටිනි පවසා තිබුණා.

කෙසේ හෝ මවගෙන් අසාගන්නා තොරතුරුවලට අනුව තම අත් අකුරින් ලිවූ ලිපියක් රෝහල්ගතව සිටින සිසුවියට යැවීමට ඇය තීරණය කරනවා. එම සිසුවිය කොතරම් වැදගත්, වටිනා පුද්ගලයෙක්ද, කොතරම් දක්ෂද යන්න ගැන ඇය එම ලිපියෙන් සඳහන් කරනවා. එම ලිපියේ ප්‍රතිඵලය විශ්මයජනකයි. ඇගේ මව පවසන පරිදි සිය ගුරුතුමියගේ ලිපිය කියවූ සිසුවිය හඬා වැටෙනවා. ඇය මවට පවසන්නේ තමා ගැන එතරම් සුන්දර දේවල් කියන හෝ  තමාව වැදගත් යැයි සිතන කෙනෙක් සිටීවි යැයි කිසිදිනෙක නොසිතුණ බවයි. ප්‍රතිකාර ලබා සුවපත් වූ ඇය අනතුරුව පෙරටත් වඩා උනන්දුවෙ අධ්‍යාපන කටයුතු සිදු කරනවා පමණක් නෙවෙයි සවිමත්ව ජීවිතයටත් මුහුණ දෙනවා.

මේ සිද්ධියෙන් පසු බ්‍රිටිනි වටහා ගන්නා වැදගත්ම දේ වන්නේ කෙනෙකුගේ එක් කුඩා ක්‍රියාවකින් තවත් කෙනෙකුගේ ජීවිතයට කෙතරම් නම් බලපෑමක් කළ හැකිද යන්න. විශේෂයෙන්ම ගුරුවරයෙකුගේ වදන් ශිෂ්‍යයන් කෙරෙහි කොතරම් බලපෑමක් ඇති කරනවාද යන්න ඇගේ අවධානයට බඳුන් වෙනවා.

ඉතින් ඇය කරන්නේ 10 වෙනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන ඇගේ සියලුම සිසු සිසුවියන් වෙත තමන්ගේම අත් අකුරින් ලිවූ කුඩා ලිපි යැවීමයි. ඒ එක් එක් සිසුවා හෝ සිසුවිය කොතරම් වැදගත් කෙනෙක්ද, තමන් ඔහුගෙන් හෝ ඇයගෙන් ඉගෙන ගත් අළුත් දේවල් මොනවාද යන්නත් බ්‍රිටිනි එහිදී සඳහන් කරනවා.  සිය ගුරුවරියගේ මේ අපූරු ක්‍රියාව සිසු සිසුවියන් විසින් වැළඳ ගන්නේ ඉතාම ආදරයෙන් සහ ප්‍රීති ප්‍රමෝදයෙන් යුතුවයි.

මේ කතාව තම ෆේස්බුක් හරහා පැවසූ බ්‍රිටිනිට ලැබෙන්නේ ඉතාම ඉහල ප්‍රතිචාරයි. ඇය විසින් සිද්ධිය අලලා පල කළ සටහන ඇගේ මිතුරු මිතුරියන් අතර පමණක් නොව ඉන් එහාට ගොස් ලෝකයේ විවිධ රටවල වෙසෙන පුද්ගලයන් අතරද හුවමාරු වීමට පටන් ගන්නවා.  ඇගේ පාසලේ අනෙකුත් ගුරුවරුන්ද මෙම ක්‍රියාව ආදර්ශයට ගන්නා බවයි වාර්තා වෙන්නේ.

කෙනෙකු තමන් ගැන සිතන බව දැනගැනීම තවත් අයෙකුට කොතරම් වැදගත් වන්නේද යන්න මෙම කතාවෙන් අපිට ගත හැකි ආදර්ශයයි. ඒ නිසා සෑම විටම තමන් අසල සිටින අයට සංවේදී වීම, ඔවුන් කොතරම් වැදගත්ද යන්න ආදරයෙන් ප්‍රකාශ කිරීම අප විසින් කළ යුතු අනිවාර්ය දෙයක්.

“ඔබ මේ ලොවට ආදරෙයි නම් – මුළු ලොවම ඔබටත් ආදරෙයි” කියල කරුණාරත්න දිවුල්ගනේ මහතාගේ ගීතයකින් කියැවෙනවා මතක ඇති නේද? මතක තියා ගන්න ඕන දේ තමයි අපිට අනුන්ගේ ආදරය හා කරුණාව ලැබෙන්නේ අප විසින් අන් අයට ආදරය හා කරුණාව දැක්වුවොත් පමණයි. මෙලොව ජීවත් වෙන කිසිවෙකුට තනිව ජීවත් වෙන්න බැහැ. ඒ නිසා අන් අයට කරුණාව හා සෙනෙහස දැක්වීම අපේ යුතුකමක්. කරුණාවන්ත වදන්වලට කරන්න පුළුවන් යහපත් දේ අපමණයි.


බ්‍රිටිනි විසින් ඇගේ සිසු සිසුවියන්ට යැවීමට පිළියෙළ කළ ලිපි,
Post-Pics-3_Brittni_Darras

SHARE

NO COMMENTS

LEAVE A REPLY