සාරියක් තෝරාගැනීමේදී මේ කාරණා 5 ගැන සැලකිලිමත් වන්න

බොහෝ යුවතියන් සාරී ඇඳීම කරදරයක් ලෙසයි සලකන්නේ. එයට හේතුවී ඇත්තේ සාරී ඇඳීමට නොදැනුවත්කම සහ සාරිය ඇඟට අපහසු ඇඳුමක් ලෙස සැළකීමයි. නමුත් එය නිවැරදිව කරන ආකාරය පිළිබඳව දනුවත්විමෙන් පසු ඔබට ඉතාමත් පහසුවෙන් සාරියක් ඇඳගැනීමට හැකිවනු නොඅනුමානයි.

fb-like-beg


ගමනට ගැලපෙන සැහැල්ලු සාරියක් තෝරාගන්න

සැහැල්ලු ගමනට,එදිනෙදා ගමන් බිමන්වලට සාරියක් තෝරා ගනිද්දී හැම වෙලේම සැහැල්ලු සාරියක් තෝරාගන්න මතක තියාගන්න. වැඩ රාජකාරි අතරේ සාරිය ඔබට කරදරයක් නොවිය යුතු නිසා බරින් අඩු සිල්ක් වැනි සාරියක් තෝරාගන්න. ඔබ හැඩගැන්වෙන්නේ සාරියකින් නම් ඔබේ ඇඟට ඇලෙන, පිම්බෙන ගතිය අඩු සාරියක් තෝරාගන්න. ඔබ ඔසරියකින් හැඩ ගැන්වෙනවා නම් හෑන්ඩ්ලූම්, රෝ සිල්ක් ,වැනි සාරි වර්ගයක් තෝරාගන්න. එයින් ඔබේ ඇඟේ හැඩය හොඳින් ඉස්මතු කොට දැක්විය හැකියි.

ඔගෙන්සා, කල්කටා සිල්ක් වැනි සාරි වර්ගවලින් ඔසරිය අඳිනවා නම් එයින් ඔබේ ඇඟේ හැඩය ඉස්මතු කරලා දක්වන්න තරමක් අපහසුයි. සිල්ක් සාරියක් ඔසරියක් විදියට අඳින විට ඇඟට ඇලෙන නිසා කෙට්ටු බව හොඳින් කැපී පෙනෙනවා.

නෙට් රෙද්දකින් ඔසරිය අඳිනවා නම් එය made up ක්‍රමයට සකස් කරගත යුතුයි. සාරිය අඳිනවා නම් ගැටලුවක් නැහැ. ඔබ අඳින සාරිය සෝදන්නේ නැතිව dry clean කළ හැකි නම් වඩාත් සුදුසුයි.

සාරිය මිලදී ගන්නා විට ලැබුණු ආවරණයේම තවදුරටත් සාරිය තබන්න එපා. එය හැන්ගර් එකක එල්ලා තබන්න. එසේ නොවුණහොත් කාලයත් සමඟ ඔබේ සාරියේ ඇති වර්ණයන් වෙනස් වේවි.


සාරි පොට

ඔබ නිතර දෙවේලේ සාරිය අඳින කාන්තාවක් නම් සාරියේ පොට ගැන වඩාත් සැලකිලිමත් වෙන්න. සාරියේ පොට විලුඹ මට්ටම දක්වා දික් වූ විට එය ඔබට පහසු වේවි. නමුත් විලුඹ මට්ටමෙන් පහළට සාරි පොට දික්වන විට එය ඔබට මහත් අපහසුවක් ගෙනදේවි.

ඔබ සාරිය සඳහා අඩි උස පාවහන් පලඳිනවා නම් සාරිය අඳින විටම එය පලඳින්න. ඉන්පසුව ඔබේ උසට ගැළපෙන අයුරින් සාරියේ පොට සකස් කරගන්න.


සාරි හැට්ටය

සාරිය සඳහා හැට්ටය මැසීමේදී වුවද සාරියේ රෙදි වර්ගය අනුව එහි වෙනස්කම් ඇති බව මතක තබාගත යුතුයි. නෙට් සහ විනිවිද පෙනෙන රෙදි වර්ගවලින් සාරිය හෝ ඔසරිය ඇඳීමෙදී හැට්ටයේ විවරය ඉදිරිපසට නොදැමිය යුතුයි.එසේ හැට්ටයේ විවරය ඉදිරිපසින් ඇතිවිට එය සාරිය ඇන්දවිට කැපී පෙනේ. එයින් ඔබේ පෙනුමට අවලස්සනක් එක්කරයි. සාරි හැට්ටයේ කර කැපීමේදී වුවද ශරීරයේ කෙට්ටු බව හා මහත බව තවත් තීව්‍ර කර දැක්විය හැකි නිසා ඒ ගැන අවධානය යොමු කිරීම සුදුසුය. මහත ශරීරයක් තව තවත් නිරාවරණය වූ විට එහි මහත බව තවත් වැඩිකර දක්වයි. කෙට්ටු අයකු සාමාන්‍ය ප්‍රමාණයට හැට්ටයේ කර කැපීම සුදුසුයි.


සාරිය සමඟ පළඳින ආභරණ සහ යට සායවල්

සාරිය සඳහා ආභරණ තෝරා ගැනීමේදී වුවද සාරියේ වර්ගයට සහ වර්ණයට ගැළපෙන අයුරින් ඉතා කුඩා ආභරණ තෝරාගන්න. යට සාය ඇඳීමේදී දණහිසට රැලි තැබූ සායක් තෝරා ගැනීම තුළින් ඔබේ ශරීරයේ හැඩය තවත් ඉස්මතු කොට පෙන්වනවා. උකුලත් සමඟ යට සාය එකට තදවිය යුතුයි. එසේ නොවුණහොත් සාරිය කෙතරම් කටු ගසා රැඳවුවද එහි පොට උඩට තෙරපෙනවා. ඒ වගේම සාරියේ පාටට ගැළපෙන අයුරින් යට සායේ වර්ණය වෙනස් කරගත යුතුයි. යට සායේ දිග විළුඹට වඩා අඟල් දෙකක් පමණ අඩුවෙන් මසා ගැනීම තමයි සුදුසු.

යට සාය මැසීමට රෙදි තේරා ගැනීමේදීි ලාමා’ හෝ වෙනත් දිලිසෙන රෙදි වර්ග ඒ සඳහා තෝරා නොගත යුතුයි. ශරීරයට දහදිය දාන විට ඔබට අපහසුවක් එක් කරයි. එයින් ඔබට කෘත්‍රිම පෙනුමක් වුවද එක් කරයි. එනිසා යට සාය මැසීමට රෙදි තෝරා ගන්නා විට පොප්ලින් වැනි රෙද්දක් තෝරා ගැනීම ඔබට පහසුවක් එක්කරයි.


සාරියද, ඔසරියද?

ඔබ සාරිය මිලදී ගන්නේ එයින් ඔසරියක් ඇඳීමට නම් සාරියේ පල්ලුව තරමක් පළලට සිටින සේ තෝරා ගැනීම සුදුසුයි. එසේ නොමැති නම් සාරිය වටේ බෝඩරය අඟල් පහක් පමණ පළලකින් යුතු සාරියක් තෝරා ගත යුතුයි.

ඔබ සාරිය මිලදී ගන්නේ සාරියක් ඇඳීමට නම් මේ පිළිබඳ එතරම් සැලකිලිමත් විය යුතු නැහැ. නමුත් සාරිය මිලදී ගන්නා විට එය අඳිනා වේලාව පිළිබඳ අවධානය යොමු කළ යුතුයි. උදේ කාලයේදී නම් ළා වර්ණත්, සවස් කාලයේදී නම් තද වර්ණත් තෝරා ගැනීම සුදුසුයි. තද පැහැ සමක් ඇති අයකුට ළා වර්ණයෙන් යුතු සාරි වඩාත් ගැළපෙයි.

එදිනෙදා භාවිතයට සාරි මිලට ගැනීමේදී ග්ලිටර් පබළු, ස්වීකීන් වැනි විසිතුරු දෑවලින් හැඩ දැමූ සාරි තෝරා ගැනීම නොකළ යුතුයි.

 

SHARE

NO COMMENTS

LEAVE A REPLY