දරුවෙකුගේ මොළය නිසි ලෙස වර්ධනය නොවීමේ තත්වයන් හඳුනාගනිමු

කුඩා දරුවකුගේ මොළයේ වර්ධනය ආරම්භ වන්නේ කලල අවස්ථාවේදීයි. උපත වන විට සාමාන්‍ය දුරට වර්ධනය වන දරුවාගේ මොළය මුල් වසර පහ තුළ ශීඝ්‍රයෙන් වර්ධනය වෙනවා. ඉන්පසුව දරුවාට වයස 10-12 පමණ වනතුරුම මොළය වර්ධනය වීම සාමාන්‍ය ක්‍රමවේදයයි. සාමාන්‍ය තත්වය එසේ වුවත් ඇතැම් දරුවන්ගේ මොලයේ වර්ධනය පිලිබඳ ගැටළු පවතිනවා. මේවා මුල් අවස්තාවන්වලදීම හඳුනාගැනීම තුලින් දරුවාගේ අනාගතය ඛේදවාචකයක් නොවීමෙන් වළක්වා ගැනීමට පුළුවන්. ඒ නිසා නිසි ලෙස මොළය වර්ධනය නොවීම සහ ඒ ආශ්‍රිත ලක්ෂණ පිලිබඳ මූලික දැනුමක් ලබා තිබීම සෑම දෙමපියෙකුටම අතිශය වැදගත්.

fb-like-beg


මවගේ සෞඛ්‍ය තත්වය

මෙලෙස දරුවාගේ මොළයේ වර්ධන සිදුවන අවධියේදී කුඩා මොළයට හානි සිදුවුවහොත් වර්ධනය අඩාල විය හැකියි. ප්‍රධාන වශයෙන්ම කලල අවස්ථාවේදී මවට ඇතිවන අසනීප තත්ත්වයන් මවගේ මොළයේ වර්ධනය අඩාල වීමට හේතු වෙනවා. විශේෂයෙන් වයිරස් ආසාදන නිසා එන පැපොල, හර්පීස්, සමේ පළු දැමීම මෙන්ම උණ රෝගය, දියවැඩියාව හේතු කරගෙනත් මොළයේ වර්ධනය අඩාල විය හැකිය.

මව ලබාගන්නා ඔෟෂධ හේතුකරගෙනත් දරුවාගේ මොළයේ වර්ධනය අඩාලවන අවස්ථා දැකිය හැකියි. වලිප්පුව වැනි රෝග සඳහා ගන්නා ඔෟෂධ, දියවැඩියාව සඳහා ගන්නා ඔෟෂධ මෙලෙස දරුවාගේ වර්ධනය අඩාලවීමට බලපානවා.එසේම මවට යම් යම් අත්‍යවශ්‍ය විටමින් වර්ග හිඟවීම. එනම් උදාහරණ ලෙස පෝලික් අම්ලය හිඟවීම ද දරුවාගේ මොළයේ වර්ධනය අඩාලවීමට හේතුවක්.


දරුවා බිහිවන අවස්ථාව

ඒ හැරුණු විට දරුවා බිහිවන අවස්ථාවේදී ඔක්සිජන් සැපයුම මදිවීම, දරුවාගේ හිස එළියට එනවිට යෝනී මාර්ගයේ දරුවා සිරවීම, ගෙලවටා පෙකණිවැල එතීම නිසා රුධිර ගමනාගමනය මන්දගාමී වීමෙන් මොළයට අවශ්‍ය ප්‍රමාණවත් ඔක්සිජන් සැපයුම අඩාලවීම, මල හා මුත්‍රා පෙවීම ආදිය හේතු කරගෙන දරුවා ඉපදෙන අවස්ථාවේ දරුවාගේ මොළයට හානි සිදුවෙනවා.


දරුවා ඉපදීමෙන් පසුව ඇතිවන තත්වයන්

දරුවා ඉපදුණ පසුවත් ඕනෑම අවස්ථාවකදී මොළයේ වර්ධනය අඩාල විය හැකියි. දරුවාගේ රුධිරය හරහා විසබීජ ඇතුළුවීමෙන් මෙනින්ජයිටිස්, එන්කොපලයිටිස් ඇතිවීමෙන් දරුවාගේ මොළයේ වර්ධනය අඩාල වනවා.

වැදීමක් හෝ වැටීමක් හේතු කරගෙන මොළයේ අභ්‍යන්තර රුධිර වහනයක් සිදුවීම ජානමය ගැටලු හෙවත් විශේෂයෙන් ලේ නෑයන් අතර සිදුවන විවාහය, තයිරොයිඩ් උෟනතාව වැනි හේතු මතද දරුවාගේ මොළයේ වර්ධනය අඩාල වන බව වෛද්‍ය මතයයි.

දරුවා උපදින මොහොතේ රෝස පැහැයෙන් යුතුව හඬමින් සිටිනවා නම් උපතේදී දරුවාට ගැටලුවක් ඇතිවී නැතැයි සිතිය හැකියි. නමුත් දරුවා නිල් පැහැයෙන් වගේම හඬන්නේ නැතිව ඉපදේ නම් දරුවාගේ මොළයේ වර්ධනය පිළිබඳ ගැටලුවක් පවතිනවා.


දරුවාගේ වයස අවුරුද්දක් පමණ වන විට..

මව හඳුනාගෙන සිනාසීම, හිස එසවීම, අවුරුද්දක් පමණ වන විට ඇවිදීම, අවුරුද්දයි මාස 3ක් පමණ වන විට තනි වචන කීම හොඳින් මොළයේ වර්දනය සිදුවූ දරුවකුගේ ලක්ෂණයි. ඔළුව කෙළින් කරගත නොහැකි වීම, ඔළුව දෙපසට වැනීම, වචන කතාකළ නොහැකිවීම ඇවිදීම පමාවීම ආදී ලක්ෂණ තිබේ නම් දරුවාගේ මොළයේ වර්ධනය පිළිබඳව ගැටලුවක් පවතින බව සිතිය හැකියි.

කථන පුහුණුව සහ ව්‍යායාම ක්‍රම මඟින් දරුවාට නිසි ප්‍රතිඵල ළඟාකර දිය හැකි බැවින් මෙවැනි අසාමාන්‍ය ලක්ෂණ ඇත්නම් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවන්න.

එසේම සෑම ගර්භණී මවක්ම දරු ගැබේ ආරක්ෂාව ගැන සිතීම පිරිසුදු බව සහ ආරක්ෂිතව රෝහල් ගතවීම තුළින් නිරෝගී දරුවකු බිහිවීමට මඟ පාදනවා.

 

SHARE

NO COMMENTS

LEAVE A REPLY