බල්ලොයි පූසොයි විතරමද හුරතල්?

සුරතලුන් ගැන කතා කරනවා නම් ඉතිං කාටත් මතක් වෙන්නේ බල්ලොයි පූසොයි තමයි.අද කාලේ කොල්ලන්ටත් වැඩිය බල්ලො සෑහෙන්න ගණන්.ඒ වගේම තමයි ඉතින් පූසොත් ඊටම දෙවෙනි නෑ.අර ඊයෙ පෙරේදා ඉඳන් ජනප්‍රිය වෙච්චි සරණ නළු පූසා හින්දා ඉතිං පර්සියොන් පූසෝ , ගෙදර ඉන්න හොර පූසෝ විතරක් නෙවෙයි කැලෑ පූසොත් යන්නේ පොළොවට අඩි තුන හතරක් උඩින් බොහෝම උජාරුවෙන්.

සුපර් මාකට් එකකට ගියාම බල්ලන්ටයි පූසන්ටයි කන්න බොන්න හැඩ කරන්න බේත් කරන්න කිය කිය නා නා ප්‍රකාර ජාති පුරෝලා තියන හැටියට වෙලාවකට අපිටම හිතෙනවා මේ ලෝකේ සුරතලුන් කියලා ඉන්නේ බල්ලොයි පූසොයි විතරමද කියලා.ඉතිං අපි මේ කියන්න හදන්නේ බල්ලොයි පූසොයි බල්ලට දාල හුරතලේට හදන්න පුළුවන් වෙනස් විදිහේ සුරතලුන් කීප දෙනෙක් ගැනයි.

fb- like-beg


මාළු

ඔබට බල්ලොත් නැතුව පූසොත් නැතුව වෙන හුරතලෙක් ඕනි නම් ඉස්සෙල්ලාම රෙකමදාරු කරන්න පුළුවන් ඉතිං මාළු තමයි. මාළු කිවුවමත් ඉතිං ජාති ගොඩයි.පොඩි මාළු, ලොකු මාළු, පාට මාළු, පොකුණු වල ඉන්න මාළු, ටැන්කියේ කුනු කන මාළු .. ඔය ආදි වශයෙන් ඔබට කැමති මාළුවෙක් තෝරගෙන හුරතල් කරන්න පුළුවන් හැබැයි ටැංකි සුදද බුද්ද කරලා , ඔක්සිජන් දීලා , වෙලාවට කෑම සපයලා හරි සැලකිල්ලෙන් බලාගන්න ඕනි කට්ටියක් තමයි මාළු කියන්නේ.ඔබට එහෙම හරි පරිස්සමෙන් උන්ට සලකන්න බැරි නම් උන්ගේ පාඩුවෙ ඉන්න දිහාක ඉන්න දීලා ඔබ ඔබේ වැඩක් බලා ගන්න එකයි මාළුවාගේ ඇඟට ගුණ.හැබැයි ආදරෙන් සාදරෙන් මෙයාලව හදා ගත්තොත් ඔබේ ඇගට වගේම හිතටත් හොඳයි.මොක්ද ඔය පපුවේ ලෙඩ, රුදිර පීඩනය , මානසික ආතතිය වගෙ හෙන පොශ් ලෙඩ තියන නෝනලා මහත්තුරුන්ට දොස්තරලා කියන්නෙත් මාළු දිහා බලන් ඉන්න කියලයි.පොඩ්ඩක් අන්තර්ජාලයේ ශොපිං සයිට් දෙක තුනක් අස්සේ කරක් ගැහුවොත් බලන් ඉන්න ලස්සන මාළු ටැංකියක් හිමි කර ගන්න පුලුළුවන් ගැජමැටික්ස් කීපයක්ම අහුල ගන්නත් පුළුවන්.


ඉබ්බෝ

ඉබ්බෙකුට පුළුවන් ඔබේ ජිවිතේ පුරාවටම ඔබේ සුරතලා තනතුරේ වැඩ බලන්න.බොහොම විසිතුරු කටු රටා වලින් හෙබි කටු සහිත ඉබ්බන් ඔබට වෙලඳ පොලෙන් ලේසියෙන් මිලදී ගන්න පුළුවන්.හැබැයි එහෙම කියලා ලංකාවටම ආවේණික ඉබ්බො ගෙදර උස්සන් ගිහින් හුරතල් කරන්න ගිහිල්ලා වනජීවී එකෙන් අච්චු තියා ගන්නවා එහෙම නෙවෙයි.ඉබ්බෙක් හඳන එකත් සැලකිල්ලෙන් කරන්න ඕනි කටයුත්තක්.එයාලට හොඳට පීනන්න වගේම ගොඩබිම හැසිරෙන්නත් ඉඩ කඩ ඕනි.හොඳට කෑම දෙන්න ඕනි.ඒ වගේම ටැංකිය පිරිසිදුව තියා නොගත්තොත් නහය තියාගෙන නම් ඉන්න බැරි වේවි.මෙයාල වෙනුවෙනුත් දැන් හරි ලස්සන ටැංකි අරුමෝසම් විසිතුරු කෑලි වෙලඳපොලේ එමටයි.


ලේන්නු

ලේන්නු කියන්නේත් බොහෝම අහිංසක ආදරණීය හුරතල්ලු.හරියට ලොකු කර ගත්තොත් මෙයාලව කූඩු නොකර නිදහස් පරිසරයේම ඉන්න දීලා ඔයාලට හුරතල් කරන්නත් පුළුවන්.හැබැයි ලේන බබාලා හරි පරිස්සමට බලා කියා ගන්න  ඕනි.එයාල හරියට බඩගිනි වෙනවා.පුංචිම කාලෙදි නම් පැය 2න් දෙකටවත් කිරි දෙන්න ඕනි.පිටිකිරි වෙනුවට එළු කිරි දෙන්න පුළුවන්නම් ගොඩාක් හොඳයි.ටිකක් ලොකු වෙද්දි මෙයාලව අනික් කෑම වලට පුරුදු කරන්න ඕනි.පලතුරුම විතරක් නෙවෙයි බත් , ඇට වර්ග , රටකජු කන්න මෙයාලා හරි කෑදරයි.ඒ වගේම තමයි කූඩුවෙම තියනව නම් කූඩුවේ කම්බි වල පරතරය ගැන ගොඩක් සැලකිලිමත් වෙන්න ඕනි.මොකද බබා කාලේ ඔවායින් ඔලුව දාන්න ගිහිල්ලා බෙල්ල හිරකර ගත්තොත් ඔබේ සුරතලාගේ ජීවිතේට පවා අනතුරක් වෙන්න පුළුවන්.


හැම්ස්ටර්ස්ලා

සුදුපාට පුළුන් ගුලි වගේ ඉන්න හැම්ස්ටර්ස්ලාත් ලංකාවේ සුරතල් සතුන් අළෙවි කරන තැනකින් ලේසියෙන්ම ඔබට මිලදී ගන්න පුළුවන්.ඒ වගේම එයාලම ගැලපෙන හරි අපූරු කූඩුත් වෙලඳපොලේ හොයා ගන්න එච්චර අමාරු නෑ.කටර් වගේ කොයි වෙලේත් අහුවෙන අහුවෙන එක පතුරු ගහන මෙයාලත් හරිම හුරතල්.හැබැයි හැම්ස්ටර් කෙනෙක් හදනවානම් එයාලගේ කෑම ගැනත් හුඟක් සැලකිලිමත් වෙන්න ඕනි. අනික කූඩු අස්සෙන් බෙලි හිර කරගෙන ගොඩාක් හැම්ස්ට බබාල පොඩි කාලෙදීම මැරෙනවා.ඒ නිසා ඒ ගැනත් ගොඩාක් සැලකිලිමත් වෙන්න ඕනි.

SHARE

NO COMMENTS

LEAVE A REPLY