තේ වලින් කරන්න පුළුවන් තවත් දේ

තේ කියන්නේ අපේ රටේ විතරක් නෙමෙයි ලෝකෙම ජනප්‍රිය පානයක්. කහට තේ, කිරි තේ, ඉඟුරු තේ, අයිස් තේ වගේ එක එක විදිහට හිතේ හැටියට පානය කරන පානයක් විදිහටයි හුඟක් අය තේ හඳුනාගන්නේ.

හැබැයි තේවලින් මෙන්න මේ දේවලුත් කරන්න පුළුවන් කියල ඔබ දැන හිටියද?


fb- like-beg

1.රූපලාවන්‍ය වැඩ ගොඩක්

සමට ලැබෙන වාසි  

තේ කියන්නේ ප්‍රති ඔක්සිකාරක ගොඩක් තියෙන පානයක්. අපි ආහාරයට ගන්න  හුඟක් පලතුරු සහ එලවලුවලට වඩා තේවල මේ ප්‍රති ඔක්සිකාරක තියෙනවා. ඒ නිසා තේ බොන එක අපේ සැමට ගොඩක් හොඳයි. හැබැයි තේ කියන්නේ බොන්න විතරක් නෙමෙයි, රුපලාවන්‍ය ආලේපයක් විදිහටත් පාවිච්චි කරන්න පුළුවන් දෙයක්.

  • සාමාන්‍ය කහට තේ ඒ කියන්නේ ප්ලේන් ටී එකක් හදාගන්න. හැබැයි සීනි දාන්න එපා. ඉන් පස්සේ මේක ශීතකරණයේ තියල සිසිල් කරගන්න ඕන.  ඊට පස්සේ මේක ඔබේ ශරීරය පුරාම වුනත් ආලේප කරන්න පුළුවන්.විනාඩි 15 ක් හොඳටම ඇති මේ ආලේපය ඔබේ සමට උරාගන්න.මේ ආලේපයෙන් ඔබට ලැබෙන වාසි ගොඩයි. ඔබ අවුවේ ගිහින් සම පිලිස්සිල නම්, සම ආයෙත් යථා තත්වෙට ගෙන්න කියාපු බෙහෙතක් තමයි මේ ආලේපය.ඒ වගේම, සුළු සුළු චර්ම රෝග, රේසරය භාවිතා කරලා රැවුළු කැපීමෙන් පස්සේ සමේ ඇතිවෙන දැවිල්ල වගේ තත්වයන්ටත් මේ ආලේපය සුව දෙනවා.
    ඒ විතරක් ද ? ඔබේ සම ඉක්මනින් වියපත් වීම වළක්වන්නත් සතියකට වරක් හෝ දෙවරක් ඔබ ආලේප කරන මේ සුවබර ආලේපයට පුළුවන්.
  • ඒ වගේම තේ හදල ඉතුරුවෙන මන්ඩි ටික නිවෙන්න ඇරලා ඔබේ වසාගත් දෑස් පියන්මත විනාඩි 15 ක් තබාගෙන සිටීමෙන් ඇස්වටා අඳුරු පැහැය දුරලන්න පුළුවන්. පාවිච්චි කළ කුඩා තේ බෑග් මේ වැඩේට නියමයි.
  • ඒ වගේම හොඳ මවුත් වොෂ් එකක් තමයි මේ දියරය. සාමාන්‍ය මවුත් වොෂ් එකක මින්ට් රස මේ මවුත්වොෂ් එකේ නැති වුණත්, මුඛ දුර්ගන්ධය මකන්න මේ වොෂ් එක දක්ෂයි.

හිසකෙස්වලටත් කදිමයි

  • තේවලට පුළුවන් ඔබේ හිස කෙස් දීප්තිමත් කරන්න.
  • මේකට ඕනෙත් අපි අර කලින් කියූ සිසිල් කල කහට තේ ම තමයි.
  • ඔබ සාමාන්‍යයෙන් භාවිතා කරන ෂැම්පු සහ කන්ඩිෂනර් යොදල හිසකෙස් සෝදාගන්න. ඉන්පස්සේ අවසාන හිසකෙස් සේදුමට මේ සිසිල් කළ තේ යොදා ගන්න. දැන් හැකි ඉක්මනට ඔබේ හිසකෙස් පරණ ටී කමිසයකින් (t shirt) ඔතන්න.
  • මේ ප්‍රතිකර්මය කරන දවසට තුවායකින් හිසකෙස් පිහින්න එපා. ඒක ඔබේ තුවාය කහට පැල්ලම්වලින් ආරක්ෂා කරගන්න වගේම, තුවායේ තද කපු සැකැස්මෙන්, මේ දැන් අපි ඔබේ හිසකෙස්වටා යෙදූ ආරක්ෂක වළල්ල පළුදු වීම වළක්වන්නත් පුළුවන්.

2. ගෙදර දොර වැඩවලට

ගෙදර වැඩ ඉවරවෙලා බොනවා ඇරෙන්න තේවලින් කරන්න පුළුවන් ගෙදර වැඩ මොනවද? අපෝ ! කොච්චරනම් තියෙනවද?

වීදුරු පිරිසිදු කරන්න.

  • කණ්ණාඩි, ජනේල වීදුරු මතුපිට පැල්ලම් මකන්න ඕනෙද? මද උණුසුම් තේ මන්ඩි ටිකක් කපු රෙදි කැබැල්ලක ඔතල පොට්ටනියක් හදාගන්න. එහෙම නැත්නම් තේ බෑග් එකක් වුණත් කමක් නැහැ. දැන් මේක යොදාගෙන පිරිසිදු කළ යුතු වීදුරුව හොඳින් අතුල්ලා ගන්න.
  • ඉන්පසුව උණු වතුර ටිකකින් මේ වීදුරුව හෝ කණ්ණාඩිය සෝදාගන්න.
  • වෙනස ඔබට ම තේරෙයි.   

දුගඳ නැති කරන්න.

  • ගෙදර තියෙන බුමුතුරුණුවලින් දුගඳ හමනවද ? එහෙනම  මෙන්න ඔබට විසඳුමක්.දුගඳ හමන බුමුතුරුණ යටට වියලාගත් තේ මන්ඩි ටිකක් විසිරුවන්න.මතක තියාගන්න.වියලාගත් තේ මන්ඩි මිසක් අලුත් තේ කුඩු මේ වැඩේට හරියන්නෙ නැහැ.
  • ඒ වගේම භාවිතා කළ තේ බෑග් යාන්තම් තෙත  තිබියදී නාන කාමරයේ එල්ලා තබන්න.විශේෂ සුවඳක් නැතත් දුගඳ දුරු වෙන බව ඔබට තේරෙයි.

3.වගා වැඩවලට

රෝස වවන්න කවුද අකමැති ? මෙන්න රෝස ගස්වලට කියාපු පොහොරක්.

සීනි මිශ්‍ර නොවූ තේ මන්ඩි රෝස ගසේ මුල වටා වලලන්න.

රෝසවලට විශේෂ වුණත් දිය රෝස, කූඩලු වගේ ගස්වලට හැරෙන්න අනෙක් සෑම මල් වර්ගයකටම මේ පොහොර කදිමයි.


4.අත් වැඩවලටත් තේ.

ස්වභාවික වර්ණ ගැන්වූ අමු රෙදි

  • අමු රෙද්දක් ගන්න. ඒකේ තැන් කිහිපයක් රබර් පටි යොදාගෙන ගැට ගහගන්න.
  • මෙය තද කහටින් යුතු තේ මිශ්‍රනයක ගිල්වා පැයක් පමණ තබන්න .
  • වේලාගෙන අවසන් වූ පසු රබර් පටි ගලවා දමන්න.
  • තේ කහටින් වර්ණ ගැන්වූ මේ අමු රෙදි කැබැල්ල පුටු කවර නිර්මාණයකට අපූරුයි.
  • මේ රෙද්ද සේදීමේදී වෙනත් රෙදි සමඟ නොසෝදා අතින් සේදීමෙන් කල් පැවැත්ම තහවුරු කරගන්න පුළුවන්.
  • ඔබේ නිර්මාණයේ වගේම ඔබේ අනෙක් රෙදිවල කල් පැවැත්මටත් එහෙම කරන එක හොඳයි .

පොඩ්ඩන්ට ලොකු වැඩ දාන්න .

තේ කුඩු කඩදාසිවල අලවලා නිර්මාණ කරපු ළමා කාලේ මතකද? ඔබේ පොඩ්ඩන්ටත් ඒ සතුට ලබාදෙන්න, ඒ අයගේ නිර්මාණශීලි චින්තනය දියුණු කරන්න තේ කුඩු ටිකක් එක්ක කඩදාසි සහ මැලියම් ටිකක් ලංකරන්න.

පොඩ්ඩෝ විතරක් නෙමෙයි, ටිකක් හිතල බැලුවොත්, තේ කුඩුවලින් නිර්මාණ කරන්න ඔයාටත් බැරිවෙන එකක් නැහැ.

තේවලින් කරන්න පුළුවන් ගොඩක් දේ දැන් ඔයා දන්නවා. තේ කියන්නේ තද කහටක්. ඒ නිසා මේ තේ වැඩ දාද්දි ඇඳුම් පැළඳුම් වගේම වටපිටාවත් කහට පැල්ලම්වලින් පරිස්සම් කරගන්න. එතකොටයි හිතේ කහටක් නැතුව තේවලින් මේ වැඩ දාන්න ඔයාට පුළුවන් වෙන්නේ.

SHARE

NO COMMENTS

LEAVE A REPLY