දන්න දේවලින් හැදෙන මේ නොදන්නා ව්‍යංජන ඔබ රස බලා තියෙනවද?

පේ රටට විශේෂ ව්‍යංජන වර්ග කොයි තරම් නම් තියෙනවද? ඉන් කීයෙන් කීයක් නම් අපි රස බලල තියෙනවද? නිකමට හිතන්නකෝ… අඩුම ගානේ අපි අහලවත් නැති අපේ රටේ ව්‍යංජන වර්ග කොච්චර තියෙනවද කියල.
හැබැයි.. ඔබ අහල නැති වුණත්, අපේ රටේ සුපිරි හෝටල්වල නම් විදේශිකයෝ ඉලක්ක කරගෙනම මේ කෑම වර්ග හැදෙනවා.
මේ ලිපියෙන් අපි ඔබට අරන් එන්නේ, අන්න ඒ වගේ ව්‍යංජන කිහිපයක්.


fb- like-beg

1. මානෙල් නැටි ව්‍යංජනය


මානෙල් මල්වලින් සුපිරි හෝටල් සරසනවා ඔබ ඕන තරම් දැකල ඇති. ඒ මානෙල් මල්වල නැටිවලට මොකද වෙන්නේ? කෙලින් ම කුණු කූඩෙට යනවද?
අපෝ නෑ…
රස ම රස ව්‍යාංජනයක් හැදෙනවා.
මේ රස ම රස ව්‍යංජනය හදාගන්න හැටි තමයි මේ.

අවශ්‍ය ද්‍රව්‍ය :-
මානෙල් මල්වල නැටි කිහිපයක්.(මල් 10 ක – 15 ක විතර නැටි ගත්තොත් 4 දෙනෙකුට කන්න ඇතිවෙයි )
ලොකු, ලොකු ළුනු ගෙඩියක්
සුදු ළුනු බික් 5 ක්
ලොකුවට කැබලි කරගත් උම්බලකඩ තේ හැඳි 2 ක් ( මේ වෙනුවට කූනිස්සෝ ගන්නත් පුළුවන් )
රම්පෙ කැබැල්ලක්
ලුණු ටිකක්
ගොරකා කැබැල්ලක්
තෙල් ස්වල්පයක්
පොල් කිරි මිටක්
කැබලි මිරිස්
අමු තුනපහ කුඩු

හදන්නේ මෙහෙමයි :-
ඉස්සෙල්ල මානෙල් නැටි ටික මද උණුසුම් ලුණු වතුරේ ටිකක් වෙලා තියෙන්න හරින්න. කහට රහ නැතිවෙන්න වගේම මේ මානෙල් නැටි හොඳින් පිරිසිදු වෙන්නත් ඒක වැදගත්. ඊට පස්සේ මේ මානෙල් නැටි ටික සිහින් ව කපාගන්න ඕන.
ළුනු ගෙඩියත් සුදු ළුනුත් තරමක සිහින් වෙන්න ලියාගන්න.
දැන් තෙල් ටික රත් කරන්න.
ඉස්සෙල්ල සුදු ළුණුත් ලොකු ළුනුත් මේ තෙලට දාලා, ටිකක් බැදෙන්න හරින්න. දැන් මානෙල් නැටි ටික එකතු කරගන්න.
ලුණු ටිකකුත්, කැබලි මිරිසුත්, තුනපහත්, රම්පෙ, ගොරක වගේම උම්බලකඩ ටිකත් එකතු කරලා, පියනකින් වහල මද ගින්නේ තැම්බෙන්න හරින්න.
හොඳින් තම්බ්බුනායින් පස්සේ පොල් කිරි මිට එකතු කරලා හැඳි ගාල ඉදුණු පසු ලිපෙන් බාගන්න.
මේක බත්වලට වගේම ඉඳි ආප්ප වලටත් කියාපු ව්‍යංජනයක්.


2.බිලිං සහ කට්ටා කරවල ව්‍යංජනය


බිලිං කියන්නේ ගොඩක් වෙලාවට ලංකාවේ ගෙවල්වල තියෙන දෙයක් නේ. කට්ට කරවල කියන්නෙත් ඒ වගේ ලංකාවේ මුළුතැන්ගෙවල්වල නිතර ඉදෙන කෑමක්.
කියවල බලන්නකෝ. ඕනනම් අද රෑ කෑමටත් උයල බලන්න පුළුවන්.

අවශ්‍ය ද්‍රව්‍ය :-
කට්ටා කරවල ග්‍රෑම් 100 ක්
හොඳට ඉදුණු බිලින් ගෙඩි 5 ක්
මිරිස් කුඩු
ලුණු (ඕන නම් )
කහ
උළු හාල් ඇට කිහිපයක්
සුදු ළුනු බික් දෙක තුනක්
කොච්චි කරල් කිහිපයක්

හදන්නේ මෙහෙමයි :-
වැඩි විශේෂයක් නැහැ. සාමාන්‍ය කට්ටා කරවල හොද්දක් විදියටම ඒදල ලිපේ තියන්න. ටිකක් රත්වේගන එද්දී බිලිං ටික පෙති කපාගන මේ හොද්දට එකතු කරන්න. කොච්චිත් මේකට එකතු කරන්නේ නැටි පිටින්මයි.
මිරිස් සැර තමන්ට ඕන ගානට එකතු කරන්න පුළුවන්. ඒත් මේක හරියට හදනවනම් මිරිස් සැර ටිකක් ඉස්සර වෙන්නම ඕන.
මොකද කියන්නේ .. අදම හදල බලනවද?


3.කිරි අඟුණ සහ කුනිස්සෝ


කිරි අඟුණ කියන්නේ මැල්ලුමක් විදිහට අපේ රටේ ජනප්‍රිය පලා වර්ගයක් නේ. හැබැයි මේ විදිය ගොඩක් අයට අලුත් විදිහක් වෙයි.

අවශ්‍ය ද්‍රව්‍ය :-
කිරි අඟුණ කොළ
කුනිස්සෝ ග්‍රෑම් 50 ක්
ලුණු
කැබලි මිරිස්
දිය කිරි කෝප්පයක්
සුදු ළුණු බික් දෙකක් (පලා ගන්න)
කපාගත් රතු ළුණු

හදන්නේ මෙහෙමයි :-
කිරි අඟුණ කොළ කඩාගන්න. කපාගන්නත් පුළුවන්. එත් වඩා හොඳයි අතින් කොටස් වශයෙන් කඩාගන්නව නම්. පොලි කිරි ටික ලිපේ තියල ඒකට මේ කිරි අඟුණ කොළ ටික එකතු කරන්න. රතු – සුදු ළුනු වගේම කෑලි මිරිසුත් ලුණුත් දාල ටිකක් හැඳි ගාන්න.
කොළ ටික මැලවෙද්දී කුනිස්සෝ ටික එකතු කරන්න. හැඳි ගාමින් ම මේක කරනවානම් වඩා හොඳයි.
කුනිස්සෝ ටික අඟුණ කොලත් එක්ක මිශ්‍ර කලාට පස්සේ පියනකින් වහල ඉදෙන්න අරින්න.

අපේ රටට ආවේනික ජාතිවලින් ම විතරක් හැදෙන්නේ නැති වුණාට මේ ව්‍යංජන ටික අපේ රටට විශේෂයි.
ඒ වගේම ලොකු වියදමක්, ලොකු මහන්සියක් නැතුව හදාගන්න පුළුවන් රස ම රස – ගුණ ම ගුණ ව්‍යංජන නිසා උයන පිහන ඔයාටත් මේ කෑම විශේෂ වෙයි.

SHARE

NO COMMENTS

LEAVE A REPLY