පුංචි දඟ කාරයා ලොකු වෙන්නද යන්නේ ?

Smiling teenage girls using laptop together in bedroom

∗ වැඩිවිය පැමිණීමත් එක්ක දරුවන්ගේ සිදුවන මානසික වෙනස්කම්

ආදරයෙන් ඔබ ළඟ තුරුල් වෙලා හැදෙන ඔබේ දරුවා වැඩිවිය පත්වෙන වයසට ආසන්න වෙලා ඇති. සමහරවිට ඔහු හෝ ඇය දැන් වඩාත් ඔබගෙන් ඈතට යනවා වගේ තේරෙනවා ඇති. මේ සංක්‍රාන්ති කාලේදී ඔවුන්ගේ සිද්ධවෙන ශාරීරික වගේම මානසික වෙනස්කම් විශාල ප්‍රමාණයක් තිබෙනවා. ඉතින් දෙමාපියෝ ලෙස ඔවුන්ගේ මානසික වෙනස්කම් හොඳින් තේරුම් ගත්තොත් විතරයි මේ කාලෙට සාර්ථකව මුහුණ දෙන්න පුලුවන්. ඔවුන් හැම විටම දෙමාපියන්ගෙන් ඈත් වෙන්න උත්සහ දරනවා වගේ පෙනුනත්, ඇත්තටම් ඔවුන්ට දෙමාපියන්ගේ මානසික සෙනෙහස ගොඩක්ම වැදගත් කාලයක්.
ඔබේ දරුවා යහපත් ලෙස මෙම කාලය පසු කරොත් අනිවාර්යයෙන්ම සාර්ථක වැඩිහිටියෙක් ලෙස ජීවිතේට මුහුණ දෙවි.


fb- like-beg

∗ තමාගේ පෙනුම ගැන නොසතුටු වීම හා අඩු ආත්ම අභිමානය

මෙම වයසේදී එක එක දරුවා ලොකු වෙන්නේ ඔවුන්ගේ ජාන ගත සාධක මතයි. උදාහරනෙකට පන්තියේ ඉන්න යහළුවෝ වැඩුන පියයුරු ඇතිව සිටියත් , ඔබේ දියණියගේ පියයුරු කුඩා වෙන්න පුලුවන්. සමේ වර්ණය, ද්වීතීක ලිංගික ලක්ෂණ පහල වීම, උස , පෙනුම වගේ දේවල් ගැන ඔවුන් නිතරම අනුන් සමග සන්සන්දනය කර ගන්නවා. ඔවුන් බහුතරයක් තමන්ගේ ශරීර ගැන සැහීමකට පත් වෙන්නේ නැහැ. එමගින් ඇතිවන ලැජ්ජාව නිසා ඇතැම් විට අධ්‍යාපන කටයුතු අඩාලකර ගන්නත්, නිකරුනේ තරහ යන්නත් පුලුවන්. වැඩිහිටි ඔබ බොහොම කල්පනාවෙන් මෙවුවට ප්‍රතිචාර දැක්වීම ගොඩක් වැදගත්.
අපි යක්කු වගේ නොදරුවෝ එක්ක තරහ වෙන්න ගියොත් ඔවුන්ගේ අනාගතය අඳුරු වේවි. ඒ වෙනුවට ඔබට දරුවාගේ ප්‍රශ්න සුහදව පැහැදිලි කරලා දෙන්න පුළුවන්.
“ අම්මි ලොකු ළමයෙක් උනෙත් පරක්කු වෙලා. නමුත් පස්සේ තමයි දන ගත්තේ ඒක ගොඩක් හොඳයි කියල… ඉක්මනට නොවුනත් ඔබත් තව වසර කීපයක් සම්පූර්ණ වැඩිහිටියෙක් වෙනවා. වගේ සරලව පැහැදිලි කරලා දෙන්න පුලුවන්.
ලංකාව වගේ දකුණු ආසියාතික රටක දුවල ගොඩක්ම මේ වයසේදී නොසතුටු වෙන දෙයක් තමයි තමන්ගේ හමේ පැහැය. ඔවුන් මේ නිසා විවිධ ආලේපන ගාන්න ඉල්ලන්න පුලුවන්. සුහදව මේ දේවල් පැහැදිලිව කියල දුන්නම හිතේ පීඩනයක් ඇති නොවෙන්න ප්‍රශ්න නිරාකරණය කර ගත හැකියි. වටිනාම දෙය ඔබ මතක තබා ගත යුතුයි ඔවුන් තව පුංචි බව.


∗ ආවේගශීලීත්වය

මොලයේ සිදුවන හෝර්මෝන වෙනස්වීම් කොතරම් විශාලද යතොත් ඔවුන් නිතරම ආවේගශීලීව කටයුතු කරනවා. කුතුහලය , තරහ, කලබලකරීත්වය සහ අවපීඩනය දක්වා ඔවුන්ගේ ආවේගයන් වෙනස් විය හැකියි. මල්වර වන කාලයේදී ආවේග පාලනය කරගන්න ඇති නොහැකියාව නිසා විනාශකාරී පුද්ගලයන් සමග සම්බන්ධතා ගොඩ නාග ගැනීම, අනතුරුදායක ක්‍රියා වල යෙදීම වගේ දේවල් වලට නැඹුරු විය හැකියි. දෙමාපියන් ලෙස ඔබේ වගකීම තමයි ඔවුන්ගේ ආවේග වලට ආවේගයෙන්ම ප්‍රතිචාර නොදක්වා සිටීම.


∗ තමාගේ ස්වීයත්වය ගොඩනගා ගැනීම

කුඩා කාලේ ඔබ කියන දේවල් ඒ අයුරින්ම කරන්න සූදානම්ව සිටි ඔබේ දරුවා දැන් තේරුම් ගනිමින් ඉන්නවා ඔහු හෝ ඇය කියන්නේ වෙනම පුද්ගලයෙක් බව. ඔහුට හෝ ඇයට ලැබුන ජීවිතය තමන්ට වුවමනා විදිහට ගතකල යුතු බව දැනෙමින් සිටින කාලයක්. සමහරවිට පුංචි කාලේ ඔබ කැමති වුර්තියකට කැමති වෙලා හිටියට දැන් වෙනත් විෂයක් කරන්න අවශ්‍ය බව කියාවි. ඔබේ හඟවන්නට දේවල් ඇති බව පෙන්වාවි. ඔබ දරුවාගේ හැම දේටම ඇඟිලි ගහන එකට විරුද්ධව නැගී සිටීවි. ඔබටත් මේ කාලේ අලුත් නිසා හිතට වේදනාවක් දැනේවි.
නමුත් මේක තමයි ලෝකයේ ස්වභාවය. දරුවෝ අපේ ජීවිතයේ කොටසක් උනාට ඔවුන්ට ඔවුන්ගේම ජීවිතයක් තිබෙනවා. මෙතැනදී අවශ්‍ය රැකවරණය සහ මානසික ශක්තිය දෙන අතරේ ඔබ අවංකව පිළිගත යුතුයි ඔබේ දරුවාගේ නිදහස් තීරණ ගැනීමේ හැකියාවට ගරු කරන්න. නැතහොත් ඔවුන් ඔබට වෛර කරන්නට පටන් ගෙන එය විශාල ගැටළුවක් බෙදීමක් බවට පරිවර්තනය වේවි.


∗ ලිංගික අවශ්‍යතා ඇති වීම

ඉස්කෝලෙදි ගැහැණු ළමයිව පෙනෙන්න බැරි ඔබේ පොඩි ලජ්ජා කාරය, දැන් දැන් පටන් ගනීවි ගැහැණු ළමයි එක්ක කතා කරන්න. මේ වයසේදී ස්වාභාවිකවම ඇතිවෙන ආශාව ඔවුන්ටත් නුහුරුයි. ඇතැම් දරුවෝ අපේ රටේ කුඩා කාලේ ඉඳල උගන්වන මිත්‍යා මත නිසා මේ ස්වභාවික හැගීම් ගැන ලජ්ජා වෙනවා. තමන් වරදක් කරනවා කියල හිතල පවුලේ අයගෙන් වෙන් වෙනවා. මෙවැනි දේවල් ස්වභාවික බවත් වැරදි නැති බවත් , ජීවිතයේ වගකීම් ගැනත් ඔබ ඔවුන්ට කියා දිය යුතුයි. මේ වයසේ කායික , මානසික වෙනස්කම් පිළිබඳව විධිමත් උපදේශකයන් ලියපු පොත පත ඔවුන්ට ගෙන දෙන්න පුලුවන්. වගකිවයුතු දෙමාපියෝ වශයෙන් ඔවුන්ට මග පෙන්වීම ඔවුන්ගේ ජීවිතේ සාර්ථකත්වයට ගොඩක් වැදගත්.

SHARE

NO COMMENTS

LEAVE A REPLY