අත්බෑගයක් මිළට ගන්න පෙර මේ ගැනත් හිතන්න

01) දිග

ඔබ දන්නවාද ඔබගේ අත් බෑගයට පුළුවන් ඔබේ ඇගේ හැඩය තුලනය කරලා පෙන්වන්න.ඒ කියන්නේ ඔබ අත් බෑගය රැගෙන යන දිග අනුව ඔබව පොඩ්ඩක් කෙට්ටු කරල නැත්තං මහත් කරලා පේන විදිහේ පොඩි ඇස් බැඳුමක් කරන්න පුළුවන්.ඔබ ගොඩක් කෙට්ටු ඒ වගේම පුළුල් නිතඹක් නොමැත් අයෙක් නම් ඔබට වඩාත් සුදුසු නිතඹට සමාන්තරව අත් බෑගය එල්ලගෙන යාමයි.ඒ තුලින් ඔබ වඩාත් ලාලිත්‍යෙන් යුතු හැඩැති සිරුරක් උළුප්පා පෙන්විය හැකියි.එසේම ඔබ ටිකක් තරබාරු තරුණියක් නම් ඔබගේ ඉනට ඉහළින් එල්ලාගෙන අත් බෑගය රැගෙන යන්න.එවිට ඔබව මදක් සිහින්ව මෙන්ම හැඩට පෙනෙනවා.ඉනට මට්ටමට දිග අත් බෑගයන් හැඩැති සිරුරක් ඉස්මතු කර පෙන්වීමට සමත් නිසා මෙවැනි අත් බෑගයක් ඔබගේ එකතුවේ තබා ගැනීම වටිනවා.


fb- like-beg

2) ප්‍රමාණය

ඔබ අත්බෑගයක් මිලදී ගැනීමෙදී එහි ප්‍රමාණය ගැන විශේෂයෙන් සැලකිලිමත් විය යුතුයි.ඔබගේ එදිනෙදා දින චර්යාවට ගැලපෙන, එසේම ඔබට නිතර රැගෙන යාමට සිදුවන සියල්ල බහා ගැනීමට ප්‍රමානවත් ඉඩ කඩක් ඇති බෑගයක් තෝරා ගැනීම ඉතාම වැදගත්.එසේම ඔබ අවස්ථානුකූලව බෑගයක් තෝරා ගත යුතුයි.මරණෙටයි මගුලටයි හැම එකටම එකම අත්බෑගය උස්සගෙන දුවන්නේ නැතිව දිනපතා කාර්යාලට රැගෙන යාමට, නිවාඩුවේ පොඩි රවුමක් යද්දි අරන් යන්න වගේ විවිද විවිද කටයුතු වලට ගැලපෙන අත්බෑග් කීපයක්වත් ඔබගේ එකතුවේ තබා ගන්න පුලුවන් නම් ගොඩක් වටිනවා.ඒ විතරක් නෙවෙයි සිරුරෙන් ගොඩාක් කුඩා අයට ඉතා විශාල බෑග් මෙන්ම තරබාරු අයට ඉතා කුඩා බෑගයන්ද එතරම් ගැලපෙන්නේ නෑ. ඉතිං හුදෙක් රැල්ලට යන විලාසිතා වලට වහ වැටිලා ඔබට නොගැලපෙන ප්‍රමාණයන්ගෙන් බෑගයන් මිලදී අරන් ඔබගේ පෞරුශත්වය පහත හෙලා ගැනීමේ වරද නොදැනීම ඔබ වෙතට පැටවෙන්න නොදීමේ වගකීම ඔබ සතු බව හොඳින් මතක තබා ගන්න.


03) හැඩය

සෑම විටම ඔබගේ සමස්ත සිරුරේ හැඩයට ප්‍රවිරුද්ධ හැඩයන්හී අත්බෑග් තෝරා ගැනීම ඔබට අන් අය අතරින් කැපී පෙනෙන සුන්දරත්වයක් ළඟා කරදීමට උපකාරී වේවී.උදාහරණයක් ලෙස ඔබ ටිකක් කොට තරබාරු ලඳක් නම් හතරැස් , නැත්නම් තියුණු කොන් සහිත බෑගයන් ඔබ සිහින් කර පෙන්වාවි.එසේම ඔබ ඉතා සිහින් තරුණියක් නම් රවුම් හැඩැති බෑගයන් ඔබට අපූරුවට පෑහේවි.


04) මෝස්තරය

ඔබ අත් බෑගයක් ගන්න හිතාගෙන කඩයකට ගොඩ උනොත් ඔබට විවිද වර්ණයේ විවිද මෝස්තරයේ අත්බෑග් විලාසිතා ඕන තරම් හොයා ගනන් පුළුවන්.මේක අළුත්ම ට්‍රෙන්ඩ් එක, ලෙටස්ට් ෆැශන් එක කිය කිය වෙලඳ සහයකයනුත් විවිධ විවිධ මෝස්තර ඔබට රෙකමදාරු කරාවි.ඒත් කිසිම විටක අත්බෑග් විලාසිතාව ගැන විතරක් හිතලා බෑගයක් මිලට ගන්න එපා.හිතන්න ඔබ නිතරම සැරසෙන්නේ මොන වගෙ ඇඳුම් විලාසිතාවන්ගෙන්ද කියලා.ඔබ නිතරම කාර්යාලිය ඇඳුම් වලින් සැරසී සිටිනවා නම් ඔබට සැහැල්ලු ඇඳුම් වලට ගෙනියන අත්බෑගයක් කොහෙත්ම ගැලපෙන්නේ නෑ.එසේම ඔබට තිබෙන ඇඳුම් වල වර්ණ ගැනත් පොඩ්ඩක් හිතන්න.ඔබේ අල්මාරියෙ හතරමායිමක නැති ඇඳුමක වර්ණයෙන් ආසාව නිසා බෑගයක් මිලදී අරන් , බෑගයට වඩා හතර පස් ගුනයක් වියදම් කරලා ආපහු ඒකටම ගැලපෙන ඇඳුමකුත් ගන්න වෙනවා කියන්නේ ඔබේ පසුම්බියට අරියාදු වෙන වැඩක්.ඒ නිසා බෑගයක් ගනිද්දී තමන් නිතර අඳින විලාසිතා මොන වගේද , ඒ වගේම තමන්ගේ ඇඳුම් එකතුවෙන් බොහෝමයක් ඇඳුම් වලට රැගෙන යා හැකි මාදිලියේ බෑගයක් තෝරා ගැනීම වටිනවා.


05) පහසුව හා කල්පැවැත්ම

ඔබ බෑගයක් මිලදී ගන්නවා නම් එය භාවිතයට කොතරම් පසුද යන්න ගැන සැලකිලිමත් විය යුතුයි.එහි ඔබට අවශ්‍ය සියළු දෑ බහා ගැනීමට ප්‍රමාණවත් තරම් පොකැට්ටු තිබෙනවාද, ඒවා නිසි ලෙස වැසිය හැකිද, ඔබ යමක් ඔබගේ බාගයට බහා ලූ පසු කොතරම් පහසුවෙන් ඔබට එය සොයා ගත හැකිද වැනි කාරණා ගැන විශේෂයෙන් සැලකිලිමත් විය යුතුයි.එපමනක් නෙවෙයි බෑගය නිමවා ඇති අමුද්‍රව්‍ය කොතරම් ශක්තිමත්ද , එසේම බර දැරිය හැකි තරම් සවිමත් අත් පටි තිබෙනවාද, එය රැගෙනයාම කොතරම් පහසුද, ගෙවන වටිනාකමට සරිලනවාද යන්න පිළිබඳවත් සෑහෙන්න හිතලා බලන්න වෙනවා. අඩු මුදලට මොකක් හෝ ඔතාගෙන ගෙදර අරං එනවාට වඩා තව සුළු මුදලක් වැය කරලා කාලන්තරයක් පාවිච්චි කරන්න පුළුවන් බෑගයක් මිලට ගන්නවා කියන්නේ කෙටි කාලීන සුළු ලාභයට වඩා දිගු කාලීන හොඳ ආයෝජනයක්.තවත් දෙයක් ටිකක් වියපැහැදම් කරලා ඔබ ජනප්‍රිය සන්නම් නාම සහිත බෑග් මිලදී ගන්න මනාප කෙනෙක් නම් ව්‍යාජ අණුකාරක වලට බොරු ගනන් නොගෙවා ඉන්න පරිස්සම් වෙන එක හොඳයි.මොකද අද වෙලදපොලේ ඔරිජිනල් බෑග් එකටත් වඩා ඔරිජිනල් විදිහට ෆේක් මහන්න පුළුවන් නසරාණි අයියලා ඕන තරම්.

SHARE

NO COMMENTS

LEAVE A REPLY