ඉතිහාසයේ සදා නොමැකෙන සැබෑ ආදර අන්දර

තිහාසය පුරාවටම සගවා ගත් ඉතා අපූර්ව ප්‍රේම කතා බොහෝමයකි.සියවස් ගණනාවක් ඔහේ ගතවී ගියත්, පරම්පරා කීයක් ඉපිදෙමින් මියැදුනත් මේ සියළු කතා සදා අමරණීයව ඉතිහාස කැන්වසය පුරාවට හරි අපූරුවට සිත්තම්ව සුරැකිව පවතින්නේ සර්වකාලීනව ශේෂව පවත්නා සිහිවටනයන් බවට පත්වීමෙනි.එසේ ගෙත්තම් වූ කල්පිත කතානදරයන්ටත් වඩා රසවත් සැබෑ ප්‍රේම වෘතාන්න බොහෝමය. ඉදින් මෙසේ දිගහරින්නේ එසේ අමරණීයව සුරැකි ආදර කතා පොට්ටනියකින් අහුලාගත් සොඳුරු ආදර කතා කිහිපයක් පමණකි.


fb- like-beg

1. Baji Rao and Mastani


සුප්‍රකට පේශ්වා බාජිරාවෝ සහ සුරූපි මස්තානි මහල් ගැන දැන් නම් නොදන්නා අයෙක් නැති තරම්.ඔවුන්ගේ ආදර අන්දරය අලලා ලියවුනු කාතාන්දර , නාට්‍ය සහ චිත්‍රපටිද එමටයි.සිත වසඟ කරනා රූ සපුවකින් හෙබි මස්තානි කුමරිය අති දක්ෂ රණ ශූරියක් මෙන්ම නැටුමට හා ගැයුමටද දක්ශ ඉතා නිර්භීත කාන්තාවක්.ඈ පේශ්වා බාජිරාවෝ ගේ දෙවැනි බිරිඳයි.ඔවුන් දෙදෙනාගේ අසීමාන්තික ආදරයේ ප්‍රතිඵලයක් ලෙස පුංචි පුත් කුමරෙකුත් ඔවුනට හිමියි.ඒත් පේශ්වාට කිසිදිනක ඔහුගේ ආදරය සපුරා විඳින්න ඔහුගේ මව හෝ සොහොයුරාගෙන් ඉඩ ලැබුනේ නෑ.ඔවුන් ඇයව අනියම් බිරියක ලෙස මිස දෙවන බිරිඳක ලෙස කිසි දිනක පිළිගත්තේ නෑ.මේ හිත් බිඳීම හේතුවෙන්ම කඩා වටෙන බාජිරාවෝ රණ බිමේදීම අසනීපයෙන් මියැදෙනවා.ඔහුගේ මරණයටවත් සහභාගී වීමට මස්තානිට වරම් ලැබෙන්නේ නෑ.එසේම බාජිරාවෝ ගේ මරණයෙන් නොබෝ දිනකින්ම මස්තානීද ඇයගේ ආත්මීය සහකරු හා අත්වැල් බැඳන් මරණය වෙත පියමං කලත් ඈ කෙසේ මියැදුනේදැයි යන්න අදද ඉතිහාසයේ වැලලී ගිය අභිරහසක්.ඇතැමුන් ඈ මරා දැමූ බවත් , තවත් සමහරුන් ඈ දිවි තොර කරගත් බවත්, සමහරු ඈ සති පූජා කල බවත් තවත් තැනක ඈ හිත් වේදනාවෙන්ම මරණයට පත් වූ බවත් සඳහන් වෙනවා.එක්ව ජීවත්ව සිටින තුරාවට ඔවුන්ගේ ආදරය අකා මකා දාන්න කොයිතරම් කෙනෙහෙලිකම් කලත් මරණින් පසුව පවා ඔවුන්ගේ අමරණීය ආදර අන්දරය සියවස් ගණනාවක් පුරාවට මිනිසුන්ගේ හිත් වලින් මකලා දාන්න කොයිම විදියකින්වත් කාලයේ වැලිතලාවට හැකි උනේ නම් නෑ.


2. Cleopatra and Mark Anthony

ලොව පහල වූ අති සුරූපිනියක් ලෙස ඉතිහාසගතව උන් ක්ලියෝපැට්‍රා ඇගේ සුරූපී රූ සපුවම අවියක් කොටගෙන ලොව බලගතුම මහා පුරුශයින් දෙදෙනෙකු තම අල්ලේ නැටවූ ඉතා තියුණු උපායශීලි කාන්තාවක්.එසේම ඈ මෙලොවින් සමුගත්තේද බොහෝ නිර්මාණයන්ට වස්තු විෂය කර ගත හැකි වන්නාවූ සියවස් ගණනාවක් නොමැකෙන අමරණීය ප්‍රේම කතානදරයක සදාකාලික සිහිවටනයක් මිහිතලය මත ඉතිරි කරමිනි.සීසර් ගේ ඝාතනයෙන් පසුව සුරුපී ක්ලියෝපැට්‍රාගේ ඇස් කඩවසම් රෝමානු ජෙනරාල් වරයෙකු වූ මාර්ක් ඇන්තනී ලඟ නවතිනවා.තම බලය අකටයුතු ලෙස යොදා ගැනීම නිසා රෝමානු සෙනෙට් සභාව විසින් ඇන්තනී ද්‍රෝහියෙකු ලෙස නම් කරනවා.මහ සයුර මැද පැවති ඔවුනගේ අවසාන සටන පරාද වන ඔවුන් මිසරයට පලා යෑමට සැරසෙනවා.සටන් උපක්‍රමයක් ලෙස කිල්යෝපැට්‍රා තමා මියැඳුනු බවට රාවයක් පතුරවා යවද්දී ඇගේ සැලසුම ගැන නොදත් ඇන්තනී තම ප්‍රියාදරිය මියඳුනු සෝකයෙන් දිවි තොර කරගන්නවා.ඇන්තනීගේ මරණැයේ තතු දැන ගන්නා ක්ලියෝපැට්‍රාද විශ නාගයෙකු ලවා දශ්ඨ කරවාගෙන ඔවුනගේ එකොලොස් වසරක ප්‍රේම වෘතාන්තය ඈවර කර දමනවා.


3. Bonnie and Clyde


ඔබ ” Bunty Aur Babli” , හින්දි චිත්‍රපටය නරඹා තිබෙනවා නම් එහි අභිශේක් බච්චන් සමඟ රාණි මුඛර්ජී පණ පෙවූ ඒ පෙරළිකාර මංකොල්ලකරුවන් ජෝඩුව සිනමා කරුවෙකුගේ හිතේ මැවුනු සොඳුරු ප්‍රස්තුතයක් නොව සැබෑ ලෝකයේ විසූ පෙම්වතුන් යුවලක් බව ඔබ දන්නවාද?හැබැයි මේ ජෝඩුව හිටියේ ඉන්දියාවේ නම් නෙවෙයි.1930 ගණන් වල මහා ආර්ථික අවපාතය ඇතිවූ සමයේ ඇමරිකාවේ.ඔවුනගේ සැබෑ හැඳින්වීම තමයි බොනී පාර්කර් සහ ක්ලයිඩ් බැරොව් කියන්නේ.මොවුන් දෙදෙනා තරම් ජනප්‍රිය වුනු ප්‍රේමාන්විත මංකොල්ලකරුවන් ජෝඩුවක් නම් එක්සත් ජනපදයේ නැති තරම්.අහන අපිට සුන්දර ප්‍රේම කතාවක් උනාට ඒ කාලේ පොලීසියට මහ හිසරදයක් වුනු මේ අපරාදකරුවන් ජෝඩුව ගේ අවසානය නම් හරිම කණගාටුදායකයි.තම කල්ලිය විසින් කල පාවාදීමක් නිසා පොලිස් වෙඩි තැබීමකින් එකා පිට එකා වැටී එකම මොහොතේ අවසන් ගමන් ගියපු මේ දෙන්නාගේ නාමයන් අදටත් ලෝකයේ ජනප්‍රියම පෙම්වතුන්ගේ සිහිවටන ලැයිස්තුවේ උඩින්ම ලියවිලා තියනවා.


4. Shah Jahan and Mumtaz Mahal

සාජහන් මුම්ටාස් ආදර අන්දරය ගැන නම් නොදන්නා කෙනෙක් නැති තරම්.මේ බලසම්පන්න මූගල් අධිරාජයාට බිරින්දෑවරු තිදෙනෙකු සිටියත් සෑම විටම ඔහුගේ ප්‍රියතමයා වූයේ මුම්ටාස්.දුටු පලමු බැල්මෙන්ම මුටාස් හා ආදරයෙන් බැඳෙන සාජහන් ඈ සමඟ විවාහ ගිවිසගන්නා විට අවුරුදු 14 තරම් කුඩායි.ඉන් අවුරුදු පහකට පසුව විවාපත් වන ඔවුන් ඉතා ආදරයෙන් කල් ගෙවනවා.තමන්ගේ 14 වනි දරු ප්‍රසූතියේදී මිය යන මුම්ටාස් නැති සොවින් තැවෙන සාජහන් ලෝකයේ ප්‍රේමය වෙනුවෙන් ඉදිවූ ඒ මහා සිහිවටනය , ටජ්මහල තම ආදරනීය බිසව නමින් ඉදිකර ඔවුන්ගේ ආදරය සියවස් ගණනාවකට නොමැකෙන්න ඉතිහාසයේ සටහන් කර තබනවා.


5. Pierre and Marie Curie


පියරේ කියුරි සහ මාරි කියුරි කියන්නෙත් නොබෙල් සම්මානයෙන් පවා පිදුම් ලද සුප්‍රකට විද්‍යාඥයන් දිවිත්වයක්.ඔවුනගේ වටිනා සොයා ගැනීම් පිටිපස්සේ හැංගිච්ච බොහෝම ලස්සන ආදර අන්දරයකුත් තිබ්බා.ඔවුන් දෙපළ කොයිතරම් හොඳට පෑහෙන යුවලක්ද කියන එකට විද්‍යා ඉතිහාසය පුරාවට ඔවුනගේ අපූර්ව සොයා ගැනීම් සාක්ෂි දරාවි.පෝලන්තයේ විශවිද්‍යාලවලට ශිෂ්‍යාවන් ඇතුලත් කර නොගන්නා නිසා මාරි ඇගේ උසස් අධ්‍යාපනය හැදෑරීමට ප්‍රංශයට එනවා.තරුණ පියරේගේ හදවත මාරි විසින් පැහැර ගන්නේ එහිදීයි.පියරේ කිහිප වරක්ම විවාහ යෝජනා ඉදිරිපත් කලත් මාරි ඒ සියල්ලක්ම ප්‍රතික්ශේප කරනවා.අවසානයේදී කොහොම හරි මාරිගේ ආදරය දිනා ගන්න පියරේට හැකි වෙනවා.1895 විවාහයෙන් පසුව ඇරඹෙන මොවුන් දෙදෙනාගේ අසම සම ජීවන චාරිකාව ලොවට වටින බොහෝ සොයා ගැනීම් වලින් සමන්විත වෙනවා.රේඩියම්, පොලෝනියම් කියන්නේ ඉන් කීපයක් පමණයි.

SHARE

NO COMMENTS

LEAVE A REPLY