දරු හීනය හැබෑ නොවෙන හීනයක් වෙලා ද?

රුවෝ කියන්නේ පවුලකට සම්පතක්. ඒ වගේම කසාද බැඳපු හුඟක් ජෝඩුවල හීනයක්. බලාපොරොත්තුවක්. සමහරුන්ට හුඟක් ලේසියෙන් මේ හීනේ සැබෑවක් කරගන්න පුළුවන් වෙද්දී, තවත් සමහරුන්ට මේ හීනේ වෙනුවෙන් ගොඩක් මහන්සි වෙන්න වෙනවා. ඒ අතරිනුත් තවත් සමහරුන්ට මේ හීනේ හීනයක් ම විතරක් වෙනවා.

ජිවිතේ කියන්නේ අපි ආස දේ ම ආස වෙලාවට ලැබෙන දෙයක් නොවුනත්, දරුවෙක් කියන හීනේ එහෙම ලේසියෙන් අතාරින්නත් – කවදාවත් තමන්ගේ ලෙයින් උපන් දරුවෙකුගේ මුහුණ බලන්න බැහැ කියන යථාව හුඟක් දෙනෙක්ට හරි අමාරුයි.
දරුවෙකුගේ මුණ බලන්න කරන්න පුළුවන් හැම දේම කරලා අවසානයේ, දැන් ඉතින් වෙන මොනවා කරන්නද කියලා ලොකු හුස්මක් පිට කරන තැන කී දෙනෙක් ඉන්නවා ඇතිද?
මේ ලිපිය වෙන් වෙන්නේ, ඒ අමාරු ඇත්තට මුහුණ දෙන්න වෙලා ඉන්න අයටයි.


fb- like-beg

1) දුක තමයි – ඒ දුක පිට කරන්න.

ලෝකේ ලොකුම දුක දරු දුක. ඒක ඇත්ත තමයි. ඒ දුක බෙදාගන්න. බදාගෙන ඉන්න එපා.
ඔබේ සහකරුවා එක්ක කතා කරන්න. ඔහු හෝ ඇය ඉන්නේ ඔබටත් වඩා මානසිකව වැටිලා නම්, ඔබට තියෙනවා ඔහුවත් නැගිට්ටගෙන නැගිටින වගකීම. ඒ නිසා ඔබ ශක්තිමත් වෙන්න කරන්න පුළුවන් හැම දේම කරන්න.

මිතුරු තුමු දුක සැප දෙකෙහිම පැවති

හොඳ යාලුවෙක් ව හමුවෙන්න.
ඔබට දැනෙන දේ කියන්න. පුළුවන් තරම් අවංකව කියන්න.
හිතේ දුක නිසා මෙතෙක් ඔබේ හැඟීම්වලින් යටපත්ව තිබුණු විසඳුමක් යාලුවට කල්පනා වෙන්න බැරි නැහැ..
හැබැයි, හරි යාලුවෙක් ව විතරක් මේ වැඩේට තෝරගන්න.

කියන්න කෙනෙක් නැත්නම් – කියාගන්න බැරි නම්

විශ්වාසෙ තියන්න කෙනෙක් නැත්ද? එහෙනම් කඩදාසි සහ පෑන්වලට පුළුවන් ඔබේ දුකට සාක්ෂිකරුවෙක් වෙන්න. අවංකව ලියන්න. හිතෙන හැම දේම.
ලියපු ලියවිල්ල කැමති නම් පස්සේ ඉරල පුළුස්සල දාන්න ඔබට පුළුවන්. එතකොට ඔබේ අවංක හැඟීම් සදහටම සුරක්ෂිතයි.
එහෙම නැත්නම්, ඒ ලියවිල්ල සුරක්ෂිත තැනක තියන්න. අනාගතයේ දවසක – අතීතෙ දිහා හැරිලා බලන්න මේ ලියවිල්ල ඔබට අවස්තාවක් දෙයි.
ඒ විතරක් ද – ඔබ පසුකාලීනව හෝ යම්කිසි මානසික ආතති තත්වයකට ගොදුරු වුනොත් ඔබට ප්‍රතිකාර කරන්න – ඔබේ මානසික තත්වය තවත් කෙනෙකුට තේරුම්ගන්න තියෙන life line එකක් වෙන්නත් පුළුවන් මේ ශෝකයේ ලියවිල්ල.


2) ඔබේ දුක දැනෙන තවත් හිතක්

අමතක කරන්න එපා. මේ මුහුණපාල තියෙන තත්වය ඔබට වගේම ඔබේ අනෙක් පාර්ශවයටත් පොදුයි. ඒ නිසා දරු සම්පතක් නො ලැබෙන්න හේතුව තියෙන්නේ ඔබේ සහකරුගේ හෝ සහකාරියගේ නම්, ඔහුට හෝ ඇයට ඒ නිසා අවමන් අපහාස හෝ හිත රිදෙන ඇනුම්පද එපා.
ඔබ විවාහයේදී පොරොන්දු වුණා දුකේදීත් සැපේදීත් එකටම ඉන්න. ඒ පොරොන්දුව ඉටු කිරීමේ උත්තම ගුණය මේ වෙලාවේ පෙන්නන්න. ඔබ දෙදෙනා එක්ව හීනයක් දුටුවා. ඒ හීනය හීනයක් ම වුණා. ඒ නිසා දැන් ඇහැරෙන්න. පියවි ලෝකයේ ඔබ වෙනුවෙන්, ඔබව දැනෙන – ඒ හීනය වෙනුවෙන් වෙහෙසුණු තවත් හිතක් ඉන්නවා.


3) ලෝකයේ ගැරහුම් හමුවේ

බටහිර රටකනම්, යුවලකගේ පුද්ගලික ජීවිතේට පිටින් එන බලපෑම් අඩුයි. ඒ නිසා බටහිර රටක යුවලකට ඔවුන්ට ඕනෑ නැත්නම් දරුවෝ නැතුව ඉන්න පුළුවන්. ඔවුන්ගේ දුර්වලතාවයකින් දරු සම්පත් හිමි නැත්නම්, ඔවුන්ට තියෙන්නේ ඔවුන්ගේ මානසිකත්වය සවිමත් කරගැනීම විතරමයි.
එත් මිනිහෙක් වුණානම්, ගහකට, මලකට, පොතකට, දරුවෙකුට නමක් දෙන්න ඕන කියල සම්මතේක එල්ලිච්ච අපේ වගේ ආසියාතික රටක ඔබට ඔබේ මානසික බිඳවැටීමෙන් ගොඩ එන ගමන්, සමාජෙන් එන පීඩාවත් දරාගන්න වෙනවා.
වැඩියෙන් ම දෙමව්පියන්ගෙන්. ඒ අතරිනුත් ස්වාමි පුරුෂයාගේ පවුලෙන්.
මතක තියාගන්න. ලෝකේ ඔබට මොනවා කිව්වත්, ඔබේ ජිවිතේ – ඔබේ විවාහය ගෙනියන්නේ ඔබ. ඒ නිසා කෙලින් ඉන්න. සමාජයේ මතය කියන්නේ ජිවිතේ ඇත්ත පෙන්වන කවුළුව නොවෙන්න පුළුවන් බව මතක තියාගන්න.

ඔබ සැමියා නම්

ඔබේ සෙවන පතා ආ ජිවන සහකාරියව “නුග සෙවනක් සේ” සෙවන දී රැකගන්න වෙලාවයි මේ. දරුවෙකු පිළිසිඳ නොගන්න හේතුව ඇය ම වුණත්, ඒ නිසා ම ඇය පත්ව සිටින පීඩාවෙන්, නින්දා වැස්සෙන් ඇයව ආරක්ෂා කරගන්න.
අනුන්ගේ දුක නො දැනෙන ඇතැමෙක් “වඳ ගැහැනියක්” ලෙස හඳුන්වමින් ඇය ව පෙලත්දී එයට එරෙහි වෙන්න. ඇයයි ඔබේ ජිවන සහකාරිය. ඒ වගේ ම ඔබේ නිවසේ සිරිකතත්

ඔබ බිරිඳ නම්

ඔබට කියන්න තියෙන්නෙත්, ඔබේ සැමියාට කියපු දේම තමයි. හැබැයි පොඩ්ඩක් වෙනස් විදිහට.
දරුවෙකු පිළිසිඳ නොගන්න හේතුව ඔහු ම වුණත්, කිසිම අවස්තාවක එය ඔහුගේ පිරිමිකමේ දුර්වලකමක් විදිහට පෙන්වන්න එපා. ඔහු ඔබට නො කිව්වත් ඒ අපවාදය ඔහු සමහරවිට ලෝකයාගෙන් අහනවා වෙන්න පුළුවන්. ඔහුගේ සිත නිවන සැනසිල්ල වෙන්න.

මේ කියන්නේ දෙන්නටමයි

ඔබ දෙදෙනාට ඉන්නේ ඔබ පමණයි. ඒ නිසා කවදාවත් අනෙකාව තනි කරන්න එපා. එහෙම තනි නොකිරීමෙන් ඔබ ඔබේ විවාහය අර්ථවත් ව රැකගන්නවා විතරක් නෙමෙයි, කවුද දන්නේ, පිඩාව හමුවේ අකාලයේ මෙලොවින් සමුගන්න හිතපු ජීවිතයකුත් ඔබ බේරාගන්නවා වෙන්න පුලුවන්.
ඔබේ කාලය අර්ථයෙන් පිරවීම තමයි වැදගත් ම දේ. දෙන්න එකතුවෙලා මොකක්හරි වැඩක යෙදෙන්න.
දෙන්නා එකට ගමන් යන්න.. චිත්‍රපටි බලන්න… විනෝද වෙන්න… ඔබේ කැදැල්ල ඇතුලේ වුණත් අලුත බැඳපු ජෝඩුව වගේ ඉන්න කාගෙන් බාධාවක් ද?


4) තිත්ත වුණත්

ඇත්ත – යතාර්තේ කොයිතරම් කටුක වුණත් ඔබට ඒකට මුහුණ දෙන්නම වෙනවා. කිසිදා සැබෑ නොවන හීනවල එල්ලිලා ඉන්නවට වඩා ඒක හොඳයි. ඒ නිසා කවදාහරි … කවදාහරි… කියන හීනෙන් මිදෙන්න. මොකද කොයි වෙලේ හරි ඇත්තට මුහුණදෙන්න වෙනවා. දීර්ඝ කාලයක් යතාර්ථවාදී නොවන හීනෙක එල්ලිලා හිටියොත්, පසුකාලීනව යතාර්ථය හමුවේ ඔබ පොළොවට ම වැටෙන්න පුළුවන්.


5) දෙන්නට විතරක් බැරි තැනදී

ඔය දෙන්නට තනියෙම හිත හදාගන්න බැරිම නම්… උදව් ගන්න.
මේ කියන්නේ කලින් වගේ යාලු මාළුවෝ එක්ක කතාකරන එක නෙමෙයි.
මනෝ උපදේශකයන්, උපදේශන සේවා වගේ තැන් ඔබට උදව් වෙන්න බලාගෙන ඉන්නවා.
ඔබ ටිකක් ආගමට නැඹුරු කෙනෙක් නම් ඔබ අදහන, විශ්වාස කරන ආගමට හෝ දර්ශනයට අනුව ඔබේ හිතට සැනසිල්ලක් ගෙනත් දෙන්න පුළුවන් අය.. ඒ කියන්නේ පුජක උතුමන්, ස්වාමින්වහන්සේලා වගේ පිරිස්වල පිහිට පතන්නත් ඔබට පුළුවන්.


6) කීයටවත් කරන්න එපා

එක හීනෙකින් ඇහැරුණා කියන්නේ එක ඔබේ ජිවිතේ අවසානේ නෙමෙයි. ඒ නිසා ජිවිතේ විනාස වෙන දේට යොමු වෙන්න එපා. මේ කියන්නේ මැරෙන එක ගැන නෙමෙයි, මැරි මැරි ජිවත් වෙන්න වෙන දේ ගැන.

∗ දරු දුක මත්වතුරෙන් දියකරන්න හිතන්න එපා

∗ අනියම් සබඳතා – දෙයක් අහිමි වීමේ දුක නිසා – සැපක් කියල ලන්කරගන්න සමහර දේ ඔබේ ජිවිතේ දවා හළු කරන ගින්න බවට පත්වෙන්න පුළුවන්. ඒ වගේම ඔබ එක්ක එක හීනෙක හිටපු අනෙක් පාර්ශවයට මෙයින් වෙන්නේ ලොකු අසාධාරණයක්.

∗ සූදුව – “කාට ඉතුරු කරන්නද?” මේ ආකල්පේ නිසා ඔබව ආර්ථිකය අතින් බිංදුවටම බස්සන මේ වසංගතේ ඔබේ ජීවිතේට ලංවෙන්න පුළුවන්. මතක තියාගන්න. සල්ලි කියන්නේ හැමදාම හම්බවෙන දෙයක්වත් – හැමදාම හම්බ කරන්න පුළුවන් දෙයක්වත් නෙමෙයි. දරුවෙකුත් නැති එකේ ඔබේ මහලු වයසට සුරක්ෂිත වත්කමක් ඕනේමයි.

∗ නරක මිතුරු ඇසුර – දරුවෙක් ගේ හීනය ඈතට පාවෙලා යාමත් එක්ක හිතට දැනෙන තනිකම නැතිකරගන්න – එහෙමත් නැත්නම් ඔබේ තනිකමෙන් ප්‍රයෝජන අරන් ලංවෙන පිරිස ගැන හොඳට කල්පනාවෙන් ඉන්න. මේ අයට පුළුවන් ඔබව කලින් කියපු හැම විනාසයකට ම තල්ලු කරන්න.


7) විකල්ප විසඳුමක්

මේ ලෝකේ ජනගහනයට සාපේක්ෂව ආදරය තියෙන්නේ හරි අඩුවෙන්. ජනගහන බර නිසා ආදරේ මගහැරෙන පුංචි ජීවියෙකුට ඔබේ ආදර කැදැල්ල සතුටෙන් පුරවන්න දෙන්න.
දරුවෙක් කියන්නේ සම්පතක් කියල මේ ලිපිය පුරාම අපි ඔබට කිව්ව නේ. ඉතින් ඒ සම්පත ඔබේ ම ලේ වීම අත්‍යවශ්‍ය ද?
නිකන් හිතන්නකෝ… ඔබට මැණිකක් ලැබෙනවා. එක ඔබේ වත්තේ තියෙන මැණික් පතලකින් ලැබුනේ නැත්නම් ඔබ භාර නොගෙන ඉන්නවද?

ජිවිතේ කියන්නේ අපි ආස දේ ම ආස වෙලාවට ලැබෙන දෙයක් නෙමෙයි. ඒත් ජිවත් වෙනවා කියන්නේ ඒ නොලැබීම ඇතුලේ, ඒවාට හැඩගැහෙන එකටයි.

SHARE

NO COMMENTS

LEAVE A REPLY