කාන්තාවන් විසින් පිළිපැදිය යුතු Etiquette ( ආචාරධර්ම) – 1 කොටස

වීන ලෝකෙත් එක්ක ඉස්සර තිබුන වටිනාකම් අඩු වෙන බව පෙනෙනවා. නමුත් කාන්තාවක් කියන්නේ කුමන වයසක සිටියත් ගරු කටයුතු විදිහට හැසිරෙයි කියල සමාජය බලාපොරොත්තු වෙන චරිතයක්. කාන්තාවකගේ පිළිගැනීම, කීර්තිය වැඩි වෙන්න ඇගේ හැසිරීම ගොඩක් දුරට බලපානවා. තරුණියක් වුනත් , මැද වයසේ කාන්තාවක් උනත් මහලු මවක් උනත් හොඳ හැසිරීමක් ඇති ගැහැණිය අනික් අයගේ ආදරයට විශේෂයෙන්ම පුරුෂ පාර්ශවයේ ආදරේට ලක්වෙනවා.

අනෙකා කෙරෙහි ගෞරවය නැත්නම් සංවේදීත්වය ප්‍රකට වීම අද කාලේ ඇතැම් කාන්තාවෝ අතින් මග හැරුණත් goodhousekeeping.lk කියවන ඔබ ජීවිතයේ පරිපූර්ණත්වය අපේක්ෂා කරන නිසා සරල නමුත් අනිවාර්ය ආචාරධර්ම (etiquette) කිහිපයක් ඔබේ දැනුම වෙනුවෙන් ඉදිරිපත් කරන්න අපි තීරණය කළා.


fb- like-beg

1) ආරාධනා පත්‍රයක් RSVP නම්……?

කිසියම් උත්සවයකට ආරාධනා පත්‍රයක් ලැබුණාම ඒහි RSVP ලෙස සඳහන් වෙන්නේ ඇයි කියල ඔබ දන්නවද?
RSVP වශයෙන් කෙටිකර දක්වන්නේ “Respondez s’il vous plait,” කියන ප්‍රංශ වාක්‍යයයි. ඒහි අර්ථය ඔබ කැමති නම් ප්‍රතිචාර දක්වන්න යනුයි. උත්සවයකට සහභාගී වෙනවද නැද්ද කියන එක ඉක්මනින්ම ඔබේ සංග්‍රාහකයට දන්වන එක ගොඩක් වැදගත්. ඔබේ සහභාගී වෙන්නේ නැත්නම් වෙන කෙනෙකුට නැවත ආරාධනා කරන්න පුළුවන්.

ඒක නිසා උත්සවයකට යනවද නැද්ද කියන එක ආරාධනා පත්‍රය ලැබුන ගමන්ම තීරණය කරලා ඉක්මනින්ම අදාළ කෙනාට දන්වන්න.


2) නියම ක්‍රමේට ආහාර අනුභව කරන අවස්ථාවල


විශේෂ ආහාර වේලක් ගැනීමේදී , මොන ගෑරුප්පුවද මම පාවිච්චි කරන්නේ? මේ ප්‍රශ්නය අපි හැමෝටම නැගෙනවා. හරිම පහසුයි. ලේසිම විදිහ තමයි එලියෙන්ම තියෙන එකෙන් පටන් ගන්න. කෙටිම ගෑරුප්පුව ඔබේ සැලඩ් ( salad) එක සඳහායි. එතනින් පටන් ගන්න. අලුතෙන් එන course එක සඳහා කෙරවලේම තියෙන උපකරණය ගන්න. එළියේ ඉඳල ඇතුලට නීතිය තමයි මෙහි තිබෙන්නේ.

ඔබ ආහාර ගෙන ඉවර උනහම රූපයේ ඇති ආකාරයට ගෑරුප්පුව සහ පිහිය එකට තබන්න. එවිට වේටර පැමිණ පිඟාන අරගෙන යාවි.

ඔබේ සංග්‍රාහිකාව ආහාර ගැනීමට ඉඳගැනීමට පෙර ඔබ කන්න පටන් ගන්න එපා. ඇය හැන්ද හෝ ගෑරුප්පුව අතට ගත්තහම ඔබට පටන් ගන්න පුළුවන්.
ඔබට දරුවෝ ඉන්නවා නම් නියමිත ලෙස අහාර ගැනීම ගෙදරදීම පුහුණු කරවන්න. එවිට සමාජේදී ඔවුන්ට මෙවැනි අවස්ථාවන් පහසුවෙන් හසුරවන්න පුළුවන්.

( ආහාර ගැනීම ගැන වෙනත් සම්පූර්ණ ලිපියක් පසුව අපගේ වෙබ් අඩවියට එක් කරන්නම්)


3) ස්තුති කිරීම

ස්තුති කිරීම පොඩි නෝට් එකකින් කරන එක හැම අවස්ථාවකදීම ගොඩක් වැදගත්. ඔබට කවුරු හරි වටිනා දෙයක් දුන්නා නම්, උදවුවක් කරා නම්, ඔබේ උත්සවයකට පැමිනියා නම් පුංචි සටහනක් ලියල දුන්නොත් අපූරුයි නේද?

උදාහරණෙකට ඔබේ අම්ම උදේම නැගිටලා රස බත් එකක් ඔබට office යන්න හදල දුන්න නම් අම්මට හවසට පොඩි දෙයක් එක්ක පොඩි කොලේක ඔබේ ඉස්තුතිය ලියල දුන්නොත් අම්මට කොච්චර සතුටක් දැනේවිද?


4) අතට අත දීමේදී

නිකන් ඔහේ අත දීම ඉතාම නොගැලපෙන ක්‍රියාවක්. ඒ වගේම අනෙක් කෙනාගේ අත කැඩෙන තරමට තදින් මිරිකීමත් නොසුදුසුයි. හොඳ හර්දයාංගම , සුහද අත දීමකදී අනෙක් කෙනාගේ දෙනෙත දෙස ඍජුව බලාගෙන මද සිනහවකින් යුක්තව හොඳින් අතට අත දීම තමයි සුදුසු ක්‍රමය. ඒ මගින් හොඳ විශ්වාසයක් සහ සම්බන්ධතාවයක් ගොඩ නගාගන්න පුලුවන්.


5) පිරිසිඳු කිරීම් සහ සැරසීම් ගෙදරදී කරන්න

ඇතැම් කාන්තාවෝ නොදනුමත්වම දත් පිරිසිදු කිරීම්, නියපොතු කැපීම , කොන්ඩේ පීරීම, මේකප් දැමීම ආදිය ප්‍රසිද්ධියේම කන තැන් වල කාර්යාලයේ එහෙම කරනවා. මෙවුවා ඇත්තටම ශීලාචාර කාන්තාවන්ගේ පුරුදු නෙවෙයි. උත්සවයක හෝ කාර්යාලයක ඇතුලට යන්නට පෙර බාත් රූම් ගිහින් කොන්ඩේ පීරීම , පවුඩර් ගෑම, සාරිය හැදීම, බ්‍රෙෂියර් එක උස්සා ගැනීම වැනි දේවල් කරන්න පුලුවන්. මෙවැනි දේවල් ප්‍රසිද්ධියේ කරද්දී ඔබේ වටිනාකම අඩු වෙනවා. ඒ වගේම දකින අයට අප්‍රසන්නයි.


6) වෙලාවට වැඩ කිරීම

වෙලාවට වැඩ කරනවා කියන්නේ ඔබ අනෙක් අයගේ කාලයට ගරු කරනවා කියන එකයි. වැදගත් කාන්තාවක් නිතරම වෙලාවට වැඩ කරනවා. මොකද අන්තිම මොහොතේ කිසිවක් කිරීම ඇයගේ සිරිත නෙවෙයි. හැම විටම නියමිත වෙලාවට වැඩ කිරීමේ පුරුද්ද ඔබේ ජීවිතේට එකතු කර ගන්න.


7) තව කෙනෙක් ට තමන්ව හඳුන්වා දීමේදී

ඔබ ගරු කළ යුතු කෙනාට පළමුව කතා කරන්න. ඔබව නමින් හඳුන්වා දෙන අතරම ඔබට ඔහු/ ඇය සම්බන්ධ වෙන ආකාරය පැහැදිලි කරන්න. අතට අත දීමට පළමුව ඔබේ අත පිළිගන්වන්න.


8) ජංගම දුරකථන පාවිච්චියේදී

පොදු ස්ථාන වල හයියෙන් කතා කරමින් අනුන්ට බාධා කරන්නට ඔබට කොහෙත්ම අයිතියක් නැහැ. ඒ වගේම කෙනෙක් එක්ක කතා කරමින් ඉන්න අතරේ SMS යැවීම, FB යාම කියන්නේ ඔබ අනික් කෙනාට අවධානය දෙන්නේ නැහැ කියන එකයි. රිය පදවන අතරතුර නම් දුරකථනය අල්ලන්න වත් එපා. ඔබේ ජීවිතය වගේම තවත් අයගේ ජීවිත අනතුරේ දමන්න ඔබට අයිතියක් නැහැ. කාර්යාල meeting එකකදී නම් දුරකථනය silent කරගෙන ඉන්න එක අනිවාර්යයි.


9) මරණයකදී

අපි ලාංකිකයෝ මරණ වලදී නම් ලෝකයේ අනෙක් ජාතීන්ට වැඩ ගොඩක් ආචාර ශීලීව වැඩ කරනවා. හැකි සැම විටම අවමගුල් උළෙලට සහභාගී වෙලා දුක තමන්ගේ හිත මිතුරන් සමග බෙදා ගන්න. උදවු කිරීම, ආහාර සැපයීම වගේ දේවල් නම් අපි ඉතින් නොපිරිහෙලාම ඉටු කරනවනේ.
පස්සේ කාර්ඩ් එකක් ඔබේ ශෝකය පල කරලා යවන්නත් පුළුවන්.


10) දිනපතාම පොඩි දෙයකින් වත් අනුන්ව පීඩාවට ලක් කරන්න එපා

කාර් එක පාර්ක් කරද්දී වැඩියෙන් ඉඩ ගැනීම, පොඩ්ඩක් ඉවසන්නේ නැතුව පාරේදී හොර්න් ගැසීම, ලිෆ්ට් එකක ඉඩ නොදීම, කන දේවල් වල කොළ බිම දැමීම වැනි පොඩි පොඩි දේවල් මගින් අනික් අය අපහසුවට ලක් කරන්න එපා. සුන්දර ලලනාවක් කියන්නේ නිතරම සිහි බුද්ධියෙන් ඉන්න කෙනෙක්.

ඔබත් මේ ක්‍රම අනුගමනය කරලා බලන්න.

SHARE

NO COMMENTS

LEAVE A REPLY