යුස්රා – ජීවිතය හඹාගොස් අල්ලා ගැනීමේ කතාව

ජීවිතය කියන්නේ හඹා ගොස් අල්ලාගත යුතු දෙයක් ද ? එහෙමත් නැත්නම් ජීවිතය කියන්නේ ජීවිතය වෙතම වෙර යොදා අල්ලාගත යුතු දෙයක් ද?
මේ පැන දෙක අපි ඔබෙන් අහන්න හිතුවේ ජීවිතය ගැන කතාන්දරයක් ඔබට කියා දෙන්නයි.


fb- like-beg

කතාවේ අපි දන්නා කොටස පටන් ගන්නේ 2016 ගිම්හාන ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ කාන්තා පිහිනුම් ඉසව්වෙන්. වඩාත්ම නිවැරදිව කිවහොත් එහි මූලික වටයේ තරග පැවැත්වෙන මොහොතේ.

මේ කතාවේ කතා නායිකාවගේ නම යුස්රා මර්දිනි. දහඅට හැවිරිදි වියේ පසුවන ඇය සිරියානු ජාතික පිහිනුම් ක්‍රීඩිකාවක්.

2016 රියෝ ඔලිම්පික් උළෙලට ඇය සහභාගී වුණා. හැබැයි ඒ සිරියානු ධජය යටතේ නොවෙයි.
නිශ්චිත බිම්කඩක උරුමයෙන් අවාසනාවන්ත ලෙස පලවා හරිනු ලැබූ සරණාගතයන්ව නියෝජනය කරන ධජය යටතේ.
හැබැයි, ඇය අවසන් තරගයට සුදුසුකම් ලබන්නේ නැහැ.

මොහොතක් ඉන්න… ජයග්‍රහකයෙකු වීමට තබා අවසන් වටයටවත් පිවිසීමට නොහැකි වූ කෙනෙකු ගැන ලියන්නට තරම් වටිනා, කියන්නට කාලය වැය කල යුතු, අසන්නට සවන් පින් කල යුතු කතාවක් තිබෙනවා.

මේ ඔබ නොදන්නා ඒ කතාව.

යුස්රා උපන්නේ සිරියාවේ ඩමස්කස් නගරයේ.
සිරියාවේ සිරියාව නැත්තටම නැතිකළ කාලකන්නි යුද්ධය ජනජීවිත විසුණු කරන කාලය වනවිට ඇය ඔලිම්පික් සිහිනය වෙනුවෙන් පුහුණුවීම් සිදුකරමින් සිටියා.

සිරියාවේ ඇය ජීවත් වූ ප්‍රදේශයට එල්ල වූ දැඩි බෝම්බ ප්‍රහාර හමුවේ ගෙවී ගිය අවිනිශ්චිත දිනවලත් පිහිනීම ඇගෙන් ඈත් වූයේ නැහැ.

දන්නා කියන ගොඩනැගිලි සුන්බුන් බවට පත්වෙද්දී, දන්නා කියන බොහෝ අය දෑස් ඉදිරියේම මළවුන් බවට පත්වීද්දී, යුස්රා එළඹෙන ඔලිම්පික් උළෙල උදෙසා සිය ජීවිතය මෙහෙයවූවා.

එක් දිනක්, ඩමස්කස් නගරයට ඉහල අහසේ සිට පියඹා ආ බෝම්බයක් නැවතුණේ යුස්රා සහ ඇගේ පවුලේ අයට සෙවන දුන් නිවාස මතයි.

ඇඳිවත හැර සියල්ලම යුද්ධයට පූජා කරන්නට වූ මේ නිවසේ ජිවත් වූ නිවැසියන්, ඉතිරි වී ඇති ජීවිතය දැඩිව අල්ලාගැනීමේ අපේක්ෂාවෙන් යුරෝපයට පලායාමට තීරණය කරනවා.

ඒ අනවසර සංක්‍රමණිකයන් විදිහටයි.
මධ්‍යධරනී මුහුද හරහා යන මේ ගමන ඔවුන්ව ගෙන යන්නේ මෝටරයක් සවිකළ කුඩා ජීවිතාරක්ෂක බෝට්ටුවක්.
මේ ගමනට යුස්රාගේ පවුලේ සාමාජිකයන් ඇතුළුව විසි දෙදෙනෙකු එක්ව සිටියා.

ඔව්.. විශ්වාස කිරීමට අපහසු වුවත්, ඒ දුසිමකට පමණක්ම ජිවිතාරක්‍ෂාව සැපයිය හැකි කුඩා බෝට්ටුවක්. කොහොම නමුත්, අහසින් එන බෝම්බයකට වඩා මධ්‍යධරණී මුහුදු පතුලේ සැතපීමේ අවදානම ඔවුන් භාරගෙන සිටියා.
අපමණ දුෂ්කරතා මැද මධ්‍යධරණිය තරණය කොට ග්‍රීසිය පෙනෙනෙන මානයට පැමිණීමට ඔවුන් සමත් වෙනවා.

එත් එතනින් එහාටවත් බුරුලක් දීමට ජීවිතය කැමති වන්නේ නැහැ.

ලෙස්බොස් දූපතට මිනිත්තු තිහකින් ලඟා විය හැකි දුරකදී ඔවුන් ආ බෝට්ටුව කාර්මික දෝෂයකින් මුහුද මැද නතරවනවා.
මේ වනවිට බෝට්ටුවේ සියලුම දෙනා අධික වෙහෙසට පත්වෙලා. සැඩ හිරු රශ්මියෙන් විජලනය වෙලා. ආහාර නොමැතිව හාමත් වෙලා.
ජීවිතය ඉල්ලීමටවත් පණ කලඳක් නැති විසි දෙදෙනෙක්, ජීවිතය පෙනෙන මානයේ බෝට්ටුවක පාවෙනවා.

යුස්රාත්, ඇගේ සොයුරියත් තවත් තරුණියකුත්, මිය යාමට වුව, ජීවිතය ඇදගෙන යාමට උත්සාහ කරමින් මධ්‍යධරණී මුහුදට බසිනවා.
තනියෙන් පිහිනීමටවත් ගත සවි නැති මේ යුද්ධයෙන් දැවුණු ෆීනික්ස් කිරිල්ලියන් ඉනික්බිතිව කරන්නේ සරණාගතයන් දහ නම දෙනෙකු සමඟින් මේ බෝට්ටුව ගොඩබිම වෙත ඇදගෙන යාමයි.

මරණයේ ක්‍රීඩාව පරදවා ජය ගන්නා යුස්රා ද ඇතුළු සරණාගතයන් යුරෝපයේ ජිවිතය ලබන්නේ එහෙමයි.

ජීවිතය කියන්නේ හඹා යාමක්, ජීවිතය කියන්නේ ජීවිතය විසින්, ජීවිතය ජීවිතය වෙතට ම ඇදගෙන යාමක්.
සමහරවිට තනිවමත්, එහෙමත් නැත්නම් අනෙක් අයගේ ජීවිතවල වගකීමත් සමඟම.

යුස්රාගේ කතාවෙන් ඔබට ගන්නට ආදර්ශ මොනවා හෝ තිබෙනවාද ? ඒවා එකෙන් එක කියන්නට නොහැකි තරම් බවයි අපේ නම් හැඟීම.

ජීවිතය අතහරින, අතහැරෙන මොහොතවල්වල යුස්රාගේ නම මතක් කරගන්න. ඔබ අතහරින ජීවිතය, අතහැරේද්දීත් අල්ලාගත යුතු විනා අතහැරිය යුතු නොවන බව ඔබට මතක් වේවි.

SHARE

NO COMMENTS

LEAVE A REPLY