ලඟදි විවාහ වෙන්නද ඉන්නේ? නැත්නම් විවාහ වුණා විතරද?

ගැහැණු අපි හැමෝගෙම ජීවිතේ තිබෙන ලොකුම බලාපොරොත්තුව තමයි ලස්සන වෙඩින් එකක් අරගෙන ලස්සන මනමාලියක් විදිහට අපි ආදරය කරන අපේ පෙම්වතා සමග ලස්සන ජීවිතයක් ගත කරන එක. හැමදාම අපි වෙඩින් එක ගැන කතා කරන එකේ goodhousekeeping.lk බලන ඔයාලට පොඩි අවවාද කීපයක් දෙන්න කියල හිතුණා.


fb- like-beg

1) වෙඩින් එක කියන්නේ පලවෙනි දවස විතරයි

විවාහ ජීවිතේ කියන්නේ වෙඩින් එක විතරක්ම නෙවෙයි. අපි වෙඩින් එකට කලින් අවුරුද්දක් විතර කරන්නේ වෙඩින් එක ලස්සනට ගන්න ගොඩක් දේවල් සැලසුම් කරන එක. හැම දේම ලස්සනට කරලා ඉවර කරද්දී එදා හවසින් ඒ විශාල බර හිතෙන් අයින් වෙනවා. විවාහයේ පලවෙනි දවස විතරක් නෙවෙයි වැදගත්. ගත වෙන හැම දවසක්ම එන්න එන්න වැදගත් කමෙන් වැඩි වෙනවා. අන්න එතකොට ජීවිතේ එන බාධක හැල හැප්පිලි එක්ක එදා බැඳුන අත දිගටම අල්ලාගෙන ඉන්න ලොකු කැප කිරීමක් කළ යුතුයි. ඇත්තටම විවාහය හරියට අයිස් කන්දක් වගෙයි. උඩට පේන්නේ ටිකයි. ඒ වගේ තව සිය ගුණයක් යට නොපෙනී තිබෙනවා.


2) පිරිමි සතා සහ ගැහැණු සතා

මිනිස්සු මොලෙන් දියුණු උනත් තවත් එක සත්ව කොට්ටාශයක් විතරමයි. ගල් ලෙනේ ඉඳලා ගෙදර දක්වා පැමිණි වසර මිලියන ගානේදී පරිනාමය වුණාට මොකද තවමත් මොලය වැඩ කරන්නේ එදා වැඩ කරපු ඇබ්බැහියට අනුව තමයි. යාළු වෙලා ඉද්දි වගේ නෙවෙයි එක වහලයට ඉද්දි සත්තු දෙන්නගෙම වෙනස් ගති මතු වෙන්න පටන් ගන්නවා. අන්න එතකොට තමයි මොලේ වැඩ කරන හැටි ගැන හරි හමන් අවබෝධයක් තිබීම වැදගත් වෙන්නේ. උදාහරණෙකට පිරිමියෙක් ප්‍රශ්න විසඳන්න හදන්නේ පවුලේ අයට නොදන්වා තනිවෙලා. නමුත් ගැහැනියක් ගැටළුවක් ඇත්නම් ඒකම තොරක් නැතිව කියවනවා. පිරිමියාගේ හුදෙකලාව තමාට ආදරය නැතිකම ලෙස ගැහැණිය දකින්න පුළුවන්. ඒ වගේම ගැහැණියගේ කියවිල්ල මහා හිසරදයක් ලෙස පිරිමියා දකින්න පුළුවන්. මේ වෙලාවේදී හරියට ප්‍රතිචාර දැක්විය යුතු විදිහ මෙහෙමයි. ඔහුට තමන්ගේ ලෝකයේ කිමිදෙන්න දීල ඇය යාළුවො එක්ක නිදහසේ ඉන්න ඕනේ. ඇය කියවනවා නම් කිසිම විසඳුමක් දෙන්න උත්සක නොකර ඇයට සවන්දීම සහ ආදරයෙන් සිපගෙන ඇය සනසවන්න ඕනේ. නමුත් නොදන්නාකම නිසා වෙන්නේ අනික් පැත්ත. දෙන්න දෙමහල්ලෝ එකිනෙකා කෙරෙහි අමනාප වීම සහ දුරස් වීම. නමුත් ගැහැණු පිරිමි වෙනස් කම් සහ පවුල සමග කල් ගෙවන හැටි දැක්වෙන පොත් පත් හොයාගෙන විවාහයට පෙර කියවීම ගොඩක් වැදගත්.


3) චරිත මාරු වෙලා නේද?

අතීතයේ පිරිමියා දඩයම්කර ආහාර සපයන කෙනා වුණා. ගැහැණිය ගෙදර සිට පැටවුන් බලා ගත්තා. ගොවි යුගයෙන් පසුව මේ ක්‍රමය වෙනස් වෙලා දැන් දෙදෙනාම ඉපයීම කෙරෙහි යොමු වෙලා. ගැහැණිය පිරිමියාගේ වැඩෙත් කරනවා. අපේ සීයල ළමයි නෑවීම , කැවීම වගේ දේවල් නොකලට අපේ තාත්තල කළා. දැන් දැන් පිරිමි වැඩ සහ ගැහැණු වැඩ කියල වැඩ බෙදීමක් නැහැ. දෙගොල්ලම නියමිත වැඩේ කරනවා. ඉතින් මේ රටාවට අනුවර්තනය වීම ගොඩක් වැදගත්. නෝනා වැඩට ගිහින් ඇවිත් කෑම උයද්දී මහත්තය TV බලබල ජොලියේ හිටියොත් වැඩේ අවුල් වෙනවා.


4) අලුත්ම පවුලක් අලුත්ම පරිසරයක්

ඔබ හැදුන පවුලට වඩා සහමුලින්ම වෙනස් වටිනාකම්, සාමාජිකයෝ ඉන්න පවුලකට ඔබ සම්බන්ධ වෙන්න යන්නේ. ඔවුන් ඔබට කැමති වෙන්නත් පුළුවන්. අකමැති වෙන්නත් පුළුවන්. කොයික වුණත් මැදහත් වෙන්න හිත හදා ගන්න. ඔබේ සැමියා වෙනුවෙන් ඔබට මේ මිනිස්සු අහක දමන්න බැහැ. මොන තත්වෙන් හරි ඔහුගේ හිත නොරිදෙන්න, ගැටළු අඩු වෙන්න ඔහුගේ පවුල බැලන්ස් කරන එක තමයි ගැහැනියෙක්ගේ දක්ෂකම කියන්නේ


5) වෙනම පවුලක් නම් වෙනම වහලක්

ඔබේ සැමියා ගෙදර එකම දරුවා වෙන්න පුළුවන්. දෙමාපියන්ට ඔහු නැතුව නින්ද යන්නේ නැහැ වෙන්නත් පුළුවන්. ඒ වගේම ඔබට ඉවුම් පිහුම් කරලා ගෙදරක් නඩත්තු කරන්නත් පුරුදු නැතුව ඇති. නමුත් විවාහ වුණ මුල් වසර වල වත් දෙන්නා තනියම ජීවත් වෙන්න උත්සහ කරන්න. එවිට ඔබ දෙන්නගේ දේවල් ලෙහෙසියෙන්ම කර ගන්න ලැබෙනවා. ජීවිතේට හොඳ පන්නරයක් ලැබෙනවා. ලොකුම වාසිය තමයි මුල් වසර හෝ එක හමාර තුළ දෙන්නට පුරුදු වෙන්න තියන පරිවාස කාලෙ නිසා ඇති වෙන මත ගැටුම් පිට යන්නේ නැහැ. නිදහසේ වලියක් වත් දාගෙන අයෙත් සමගි වෙලා තුරුල් වෙලා නිදා ගන්න නිදහසක් තියා ගන්න එක විවාහයට ගොඩක් වැදගත්.

SHARE

NO COMMENTS

LEAVE A REPLY