ඔබත් ධනවත් ගැහැණියක් වෙන්න කැමතිද?

මුදල් කියන්නේ ජීවිතේම කියල කියන්න අමාරුයි. නමුත් ඔබ කාන්තාවක් ලෙස ආර්ථික අතින් ශක්තිමත් නම් ඒක ලොකු හයියක්. ස්වාමියටවත් බරක් නැතුව ආර්යාවක් වගේ විවාහ ජීවිතේ ගෙවන්න පුලුවන්. ඔබ අවශ්‍ය දෙයක් මිලයට ගන්න දෙපාරක් හිතන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි මූල්‍යමය වශයෙන් කාගෙන්වත් යැපෙන්නේ නැති ගැහැනියක් පවුල තුළ වුනත් අඩම්තෙට්ටම් වලට යටත් වෙනවා අඩුයි. මොකද එහෙම දෙයක් සිද්ධ වෙනවා නම් ඇයට ඕනෙම වෙලාවකට ගෙයින් එලියට බහින්න ශක්තියක් තිබෙනවා. තමන්ගේ දෙමාපියන්ට සලකන්න අවශ්‍ය නම් කිසිම අඩුවක් නැතුව කරන්න තමන්ට මුදල් තිබිය යුතුයි.
ඔබ රැකියාවක් කරත්, ගෙදර ඉන්න මවක් උනත් ආර්ථික අතින් ශක්තිමත් වීම අමාරු කාර්යයක් නෙවෙයි. හැබැයි හොඳට හිතන්න ඕනේ. කල්පනා කිරීම නිසා තමයි ඕනෙම කාන්තාවක් සාර්ථකත්වය කරා යන්නේ.

fb- like-beg


1) මුල් කාලෙම ඉතුරු කිරීම පුහුණු වෙන්න

ඔබ රැකියාවක් කරන්න පටන් ගත්ත කාලෙම ඉතුරු කිරීම පටන් ගන්න. යාළුවො නොයෙක් විකාර වැඩ වලට වියදම් කරනවා ඇති. ඔබත් වරක් දෙකක් වියදම් කරන්න. නමුත් හැමදාම නෙවෙයි. ඔබ උපයන්නේ අමාරුවෙන්. අනික නිතරම මතක තබා ගන්න ඕනේ දේ තමයි මේ වයසේදී වැඩියෙන් ඉතුරු කරොත් මැද වයසේදී වැඩියෙන් වියදම් කරන්න පුළුවන් කියල.

ඉතුරු කරන්න පොඩි ට්‍රික් එකක් :

පළමුව ඔබේ මාසික වියදම් ගණනය කරන්න. ඉන් පසුව ඔබට ඇත්තටම ඉතුරු කරන්න පුළුවන් ගණන තීරණය කරන්න. ඒ ගණන අතට එන්නට පෙරම ATM කාර්ඩ් එකක් නැති ස්ථාවර තැම්පතු ගිණුමකට වැටුප එක්කම යන විදිහට standing order එකක් දාන්න. එතකොට ඔබට වියදම් කරන්නට ඉඩක් නැතුව ඒ සල්ලි සේරම ගිණුමේ තැම්පත් වෙනවා. නිකමට වත් ස්ථාවර තැම්පතුව කඩන්න නම් හිතන්නවත් එපා.


2) බුද්ධිමත් ආයෝජනය

යම් මුදලක් ඉතිරි කරගෙන ආයෝජන අවස්ථා ගැන හිතන්න. ආයෝජනය නොකරන සල්ලි හොරු නොගත්තත් කාලය එක්ක ක්ෂය වෙනවා. එකම බාස්කට් එකේ බිත්තර ඔක්කොම දාන්න එපා කියන්නේ බුද්ධිමත් කියමනක්. නිරවුල්ව හිතල කිහිප තැනක ඔබ අමාරුවෙන් ඉතුරු කරපු මුදල් ආයෝජනය කරන්න. මා තරුණ කාලේ එවැනි දෙයක් කළා. මුදලින් කොටසක් වැය කරලා බැංකු ණයකුත් අරගෙන ඉඩමක් ගත්තා. ඉඩමක් කිවුවට කුඩා කොටසක්. එකල ලොකු වටිනාකමක් තිබුනෙත් නැහැ. යකාගේ හැටියටනේ විමානේ. නමුත් යමක් නොකර සිටීමට වඩා කුඩාවට කිරීම වැදගත්. අද ඒ ඉඩම් කට්ටියේ මිල හතර ගුණයක් වැඩි වෙලා.
ඒ සමගම කොටස් වෙළඳපොලේ ආයෝජනය කරා. ඒ ආයෝජනය පල රහිත වුනා. අන්න ඒකයි සේරම සල්ලි එක දේකට ආයෝජනය නොකළ යුතු.

ඔබට හිතන්න පුළුවන් මොනවද මගේ සල්ලි ආයෝජනය කරන්න තිබෙන විදි කියල:

  • පොඩි ව්‍යාපාරයක් පටන් ගන්න පුළුවන්. උදාහරණෙකට පිට කොටුවෙන් පිඟන් බඩු ගෙනත් ඔබේ ගෙදරම පෝසිලෙන් කඩයක් අම්මට ගෙදර වැඩ කරන අතරේම කරන්න දාල දෙන්න පුලුවන්.
  • නැත්නම් ත්‍රී රෝද රථයක් අරගෙන රැකියාවක් නැති ළමයෙක් දැම්මල හයර් දුවවන්න පුලුවන්. එතනින් තව කෙනෙක්ට රැකියාවක් ලැබෙනවා.
  • නැත්නම් ඉඩමක් අරගෙන දාන්න පුලුවන්.
  • එහෙමත් නැත්නම් ඉඩමේ ගස්ලබු, පොල් වැනි වගාවක් පටන් ගන්න.

මේ සේරම රැකියාවක් කරන අතරේ කරන්න පුළුවන් දේවල්.


3) හැකියාවලින් ප්‍රයෝජන ගන්න

හිතන්න ඔබට රහට උයන්න පුළුවන්, කේක් හදන්න පුළුවන් කියල. ජොබ් එක නොකරන සති අන්තයේ ළමයින්ට උගන්වන්න පන්තියක් පටන් ගන්න. අමතර කාලෙන් ආදායමක් උපයන දෙයක් හිතන්න. ඔබට දැනට දැනුමක් නැතිනම් ඔබ කැමති දෙයක් අලුතින් ඉගෙන ගන්න. අමතක කරන්න එපා හැකියාවන් වලට මුදල් වියදම් කරනවා කියන්නේ වැදගත්ම ආයෝජනයක්.

ඔබ දැනට ගෙදර ඉන්න දරුවෙක් බලන මවක් නම් ඔබට හැකියි තව රැකියා කරන අම්මලාගේ දරුවෝ ගෙනත් “Day care” එකක් පටන් ගන්න. නැත්නම් අලුතින් යමක් කරන හැටි ඉගෙන ගන්න. ජීවිතේ අපි කවදාවත් ඉගෙන ගන්න වයස ප්‍රශ්නයක් කර ගත යුතු නැහැ.


4) ණය නම් එපා එපා මයි

කිසිම දවසක ප්‍රතිපත්තියක් විදිහට තමන් උපයන ගානට වඩා වියදම් කරන්න එපා. Credit card පාවිච්චිය අද තරුණියන්ට තිබෙන භයානක සිරිතක්. Discount බලාගෙන ගත්තත් ගත්ත ගමන් ඉක්මනින් පියවන්න. කවදාවත් තමාට කරන්න නොහැකි වියදම් අනුන්ගේ මුදලින් කරන්න එපා. ඒක ඇත්තටම නරක සිරිතක්. ජීවිතේ පසු කාලේදී දුප්පත් වෙන්න වෙනවා කියන එක හොඳින් මතකේ තියා ගන්න.


5) අනවශ්‍ය වියදම් කියන්නේ ඔබේ හතුරෝ

ගොඩක් තරුණියෝ වියදම් කරන්නේ ඇත්තටම අවශ්‍ය දේවල් වලට නෙවෙයි. ඔබේ යෙහෙලියක් ලොකු විවාහයක් ගත්තා කියල හිතන්න. එයාගේ දෙවෙනි මනමාලියෝ ගාන තුනක් නම් මම හතරක් ගන්නවා වගේ ලඳ බොළඳ සිතිවිලි නිසා අද කාලේ විවාහ කියන්නේ වසර ගණනකට ණය ඉතුරු වෙන දවසක් වෙලා. හැම විටකම තමන්ට අවශ්‍ය දේ සහ අනවශ්‍ය දේ ගැන තීරණය කරන්න.


අනුන්ට උවමනා විදිහට ජීවිතේ තීරණ ගැනීම පසෙක තියල මම මේ වයස වෙද්දී මේ විදිහට ආර්ථිකය හදා ගන්නවා කියල දැඩි තීරණයකට එළඹෙන්න. Goodhousekeeping.lk කියවන ඔබ හැම අතින්ම සුපිරි කාන්තාවක් කිරීම අපේ එකම පැතුමයි.

SHARE

NO COMMENTS

LEAVE A REPLY