“ජීවිතේ මේ වගෙයි.” – 07 කොටස

සමුදිගේ වයස 34 ක්. ඇය පුද්ගලික අංශයේ විධායක නිලධාරිනියක්. ඇය විවාහ වෙලා ඉන්නේ තාරික එක්ක. තාරික කියන්නේ නැවු සමාගමක විධායක රැකියාවක් කරන කෙනෙක්. ඔවුන් විවාහ වුනේ විශ්ව විද්යාලේදී දැන හඳුනා ගෙන. නිමුන් දරුවෝ වෙච්ච විහස් හා විමාශ තමයි ඇගේ පුත්තු දෙන්නා. මෙන්න මෙහෙමයි ඇගේ ජීවිතය ගත වෙන්නේ.

සතිපතා කොටස් වශයෙන් පලවන කථාව

fb- like-beg


අපේ කාලේ දියණියකගේ කථාවක් – 07 කොටස

අලුත් අවුරුද්ද කියන්නේ ලංකාවේ මිනිස්සුන්ගේ ජීවිතේ තියෙන ලොකුම උත්සවයක්. මහන්සි වෙලා වැඩකරන එයින් පීඩාවට පත්වෙන සමුදී අවුරුදු කාලය කියන්නේ පවුල වෙනුවෙන්ම වැය කළ යුතු කාලයක් කියල දන්නවා. ඒකනේ මේ තාරිකලගේ අම්මා කලින්ම ඇවිත් ඉන්නේ පුතාවයි මුණුබුරෝ දෙන්නවයි ගමට වඩම්මවාගෙන යන්න.

මේ පාර අවුරුද්දට මොකද කරන්නේ කියල ඔවුන් දෙන්නා තවම තීරණය කරලා නැහැ. තරමක් ලොකු නිවාඩුවක් තිබෙන නිසා සමුදී මේ ගැන තාරික එක්ක කතා බහ කරන්න හිතුවා.

ඉරිදා ඔහු පාඩම් වැඩ කරන දවසක්. විහස් සහ විමාශ අත්තම්මා එක්ක මිදුලේ සෙල්ලම් කරනවා. මිදුලේ කප්පාදු කරපු මල් පඳුරු අතරින් මද සුළඟ ගෙට හමන්නේ අරලිය මල් සුවඳත් යාන්තමට දවටාගෙනයි. සතුටින් සෙල්ලම් කරන දරුවෝ දෙන්න දිහා බලල ඇයගේ මුහුණේ හිනාවක් මතු වුනා.

කුස්සියට ගිහින් ඇය ඔක්කොටම තේ හැදුවා. විහස් විමාශ එක්ක අත්තම්මා තේ බොද්දි ඇය තේ එකක් අරගෙන උඩු මහලේ සැමියා ඉන්න කාමරේට ගියා. පාඩම් කරන මහන්සියෙන් ඉන්න තාරිකට දැනුනේ ලොකු සතුටක්. ඇය සිනා වෙලා තේ කෝප්පේ ඔහුට දුන්නා.

“ තෑන්ක් යු අම්මි” ඔහු ඇයගේ අතක් ගෙන සිප ගත්තා.

ප්‍රතිචාරයක් ලෙස පිටුපසින් ඔහුගේ ගෙල වැළඳ ගත්තු ඇය ඔහුගේ හිස කෙස් හරහා හෙමින් ඇඟිලි තුඩු යවන්න පටන් ගත්තා.

“ තාත්ති. අපි අවුරුද්දට මොකද කරන්නේ?”

ආනේ අවුරුදු නේද? මොකද කරන්නේ බබා. මට මේ ස්ටඩිස් නිසා ඔක්කොම මතක නැහැ.

තාත්ති කැමති නම් මම කැමතියි දවස් දෙකක් විතර පුතාල නැතුව ඔයත් එක්ක කොහේ හරි යන්න.

ඒක නම් ශෝක් වැඩක් බබා. හැබැයි පොඩි එවුන් දාල යන එක හරි නැහැ නේද?

එහෙම නැහැ තාත්ති. එයාල ස්වාධීනව හැදෙන්න ඕනේ. දැන් අවුරුදු පහ සම්පූර්ණයි. අපි නැතුව ඉන්න හුරු වෙන්න ඕනේ නේද?

ඔවු බබා. මගේ කොල්ලෝ දෙන්නා ඉතින් හොඳට ඉඳියි. තාරික කියනවා.

සමුදී කැමති නැහැ දරුවෝ දෙන්න නිකන් දෙමාපියන්ගේ ඇගේ එල්ලීගෙන හැදෙනවා බලන්න. ඔවුන්ව පුංචි කාලේ ඉඳලම හුරු කරේ තනියම නිදන්න, තනිවම කන්න, ඔනෙම පොඩි දෙයක් කර ගන්න ඔවුන්ට පුළුවන්. පළමු අවුරුදු පහ ඔවුන් දාල කොහේ වත් නොගියත් දැන් ඒකට හරි කාලේ කියල ඇය හිතුවා.

අනික නිමුන් දරුවෝ දෙන්නෙක් කුසේ දරාගෙන ඔවුන් දෙන්න ලොකු වේදනාවක් වින්දා. ඔවුන් හදන්න වඩන්න, ඒ අතරේ රැකියාව, උසස් අධ්‍යාපන කටයුතු මේ සේරම නිසා දැන් ඔවුනගේ ජීවිතේ තිබුන සැහැල්ලුව නැති වෙලා ගිහින්. වගකීම් වල ගිලිලා. මේ සේරගෙන්ම විවේකයක් ගන්න දෙන්නා තනියම නිවාඩුවක් ගත කිරීම හොඳ බව සමුදී හිතුවා.

බොහෝ අඹු සැමියෝ කාර්යාලවල වෙන පැටලවිලි ඇති කර ගන්නේ මේ පීඩනේ නිසා බව සමුදි හොඳින් දන්නවා. ඇයට අගේ පවුලේ තත්වය ,ආදරය නරක අතට හරවා ගන්න අවශ්‍ය වුනේ නැහැ.

අපි දෙන්නා අවුරුද්දකට දෙසැරයක් වත් කොහේ හරි තනියම යන්න ඕනේ නේද තාත්ති? ඇය තාරික ගෙන් ඇහුවා.

ඔවු අම්මි. හිතේ පීඩනේ අඩු වෙනවා පුතාලගේ කරදරයක් නැතුව ඉස්සර වගේ අපි දෙන්න ටික වෙලාවක් හරි තනි වුනාම නේද? තාරිකට සමුදී ගැන ඇති වෙන්නේ අප්‍රමාන ආදරයක්. ඇය කොච්චර නම් මහන්සි වෙනවද? සියලුම දේවල් දරාගෙන තමන්ගේත් දරුවන්ගේත් යහපතට වැඩ කරනවද? ඒ අතරේ මුදල් උපයන්න ගෙදරින් පිට වැදගත් රැකියාවක් කරනවා. කොයි තරම් වගකීම් සහගතවද ඇය ජීවත් වෙන්නේ. මොන තරම් ආරක්ෂාවක් පවුල වෙනුවෙන් දෙනවද?

ඇයට මහන්සි ඇති. ඉස්සර පෙම්වතියක් කාලේ කොතරම් සැහැල්ලුවෙන් හිටපු කෙල්ලෙක්ද? ඔහු කල්පනා කරනවා.

ඔහුගේ කල්ප්නාව බිඳෙන්නේ සමුදිගේ හඬින්.

මේකනේ තාත්ති දරුවෝ ඉන්නවා කියල අපි අමතක කරන්න හොඳ නැහැ අපි දෙන්න විවාහ වුනේ ඇයි කියල. සැමියා වෙලා කල් ගියත් දෙමාපියෝ වුනත් අපි දෙන්න මැරෙනකන්ම ආදරවන්තයෝ. අපි වෙනුවෙන් කාලයක් යොදවන්න අමතක කරන්න හොඳ නැහැ.

ඔහු හිස වනලා පිලිගන්නවා.

කොහෙද අම්මි යන්න කැමති….

ම්ම්…. මට ඕනේ බඩ පැලෙන්න කන්න. රස්නේ නැති වෙන්නත් ඕනේ. මේ දවස් හරි රස්නයිනේ තාත්ති. ම්ම් තව …. තව තාත්ති මාත් එක්ක ඉන්න ඕනේ එච්චරයි.

එහෙනම් අපි යමු නකල්ස් පැත්තේ ඔයා එක පාරක් ගියා නේද?

මරු … අපි යමු.

පුතාලව අම්මලාගේ ගෙදර බස්සවලා… අපි දෙන්න යමු.

ඔන්න ගමේ ඔක්කොම එක්ක නටලා නටලා මේ දෙන්නට දවස් දෙකට අපිව අමතක වෙයිද දන්නේ නැහැ නේ…..තාරික අහනවා. ඔහුට ගොඩක් සතුටුයි. අවුරුදු හයකට පස්සේ තමයි ඔවුන් දෙන්න තනියම කොහේ හරි යන්නේ. ඔහු වහාම ලස්සන හොඳ නිවාඩු නිකේතනයක් හොයල බිරිඳගේ කැමැත්ත ඇතිව ඒක බුක් කළා.

ඊළඟ දවස සඳුදා උනත් දෙන්නම නිවාඩු. ඔක්කොම දරුවන්ගේ සහ ඔවුන්ගේ බඩු පැක් කරලා අත්තම්මලගේ ගෙදර පස් දෙනාම ගියා. අත්තම්මටත් ගොඩක් සතුටුයි කොල්ලෝ දෙන්නා තමන්ගේ තනි අයිතියට දවස් දෙකකට හරි ලැබෙන ඒක. පුතාලත් ඉතින් ස්වාධීන දරුවොනේ. ඒක පයින්ම කැමති වුනා අම්මියි තාත්තියි ගමනක් යනවට.

වැඩියෙන්ම අම්මි නැතුව තනියම ගමේ ගියාම ඔක්කොම නෑදෑයෝ එක්ක හුරතල් වෙන්න සහ සමුදී විසින් තහනම් කරපු දේවල් කන්න බොන්න, ගඟේ නාන්න වගේ දේවල් වඩාත් ලේසි වෙනවනේ.

ඔවුන් දෙන්නා නිවාඩුවට නකල්ස් කඳු වැටිය අවට නිවාඩු නිකේතනයට ගියේ පහළොස් වෙනිදා ආපහු ගමට එන පොරොන්දුව පිටයි. අම්මට වැඳලා පුතාලව සිපගෙන සමුදී එලියට එද්දී තාරික කාර් ඒක එලියට අරගෙනයි තිබ්බේ.

මේ අතරේ රේඩියෝ එකේ සින්දුවක් ඇහෙනවා. සමුදී සද්දේ වැඩි කළා. වික්ටර් රත්නායක මහත්තයා ගයන පෙම්බර මධු මගේ ගීතය….

අපේම පාලු විමානේ – නිසංසලේ සහනේ
අමා පැනින් මත් වීලා – ඔබේ දෙතොල් බඳුනේ

සමුදී හෙමින් තාරිකගේ අත උඩින් අත තිබ්බා. දෙදෙනා එකිනකා දිහා බලල හිනා වුනා.

ඉතිරි කොටස ලබන සතියේ

SHARE

NO COMMENTS