විනාඩි කීපෙකින් රසම රස ආප්ප ගෙදර හදමු

ආප්ප වල හැඩය ගන්න කඩ වලින් රසානය ද්‍රව්‍ය දමනවා ද?

“ මේ ආප්පේ වාටියෙන් බෙල්ල කපන්නත් පුලුවන්”

කඩෙන් ගේන ආප්ප වලට මගේ පොඩ්ඩෝ කියන්නේ මෙන්න මෙහෙම කතාවක්. ඇත්තටම අපි පුංචි කාලේ කෑව ආප්ප මෙතරම් ලොකු නැහැ. තදත් නැහැ. නමුත් කිරි රසයි. කඩෙන් ගෙනෙන ආප්ප මෙතරම් තද ඇයි කියල බලද්දී කිහිප දෙනෙක් මට කිවුවා බිත්ති වල පලුදු වැසීමට පාවිච්චි කරන ප්ලාස්ටර් ඔෆ් පැරිස් නමැති බදාමයෙන් ස්වල්පයක් ආප්ප වලට මිශ්‍ර කර ගන්න හෝටල් හිමියෝ පුරුදු වෙලා ඉන්නවා කියල.

මේක සත්‍ය නම් බොහොම භයානක පුවතක්. රටේ ආහාර වල ප්‍රමිතිය නියාමනය කිරීම කියන වගකීම රජයට පවරලා මම තීරණය කළා ලෙහෙසියෙන්ම රසට ආප්ප ගෙදරම පිළියෙළ කර ගන්න විදිහ කියල දෙන්න. මේක ඇත්තටම හරිම පහසුයි.

ආහාරය රසවත්, ගුණයි. ඒ වගේම පවුලේ අයගේ නොමද ආදරයට ඔබ ලක් වේවි.


fb- like-beg


අවශ්‍ය ද්‍රව්‍ය :-

  • සතියක් පරණ පොල් වතුර කෝප්ප භාගයක්
  • සීනි තේ හැඳි 3 ක්
  • වියලි යීස්ට් කුඩු තේ හැඳි 1 ක්
  • හාල් පිටි ග්‍රෑම් 500 ක්
  • උකු පොල් කිරි
  • පදමට ලුණු
  • බිත්තරයක් ( අවශ්‍යනම් විතරයි)

උදේ ගෙදරින් යන්න කලින් මිශ්‍රණය සකසන්න

ඔබ පොල් බිඳිද්දී වතුර ටික නිකන් හලන්න එපා. ජෑම් බෝතලේක දාල හැමදාම එකතු කරන්න. මේක මේ විදිහට සති කීපයක් වුනත් තියා ගන්න පුළුවන්. රා වගේ සැර සුවඳක් එද්දී තමයි ඔන්න පදම.

උදේ මේ එකතු කරපු පොල් වතුර වලින් කෝප්ප බාගයක් අරගෙන ඒකට සීනි තේ හැඳි තුනක් විතර හොඳින් මිශ්‍ර කරන්න. ඒකට යීස්ට් තේ හැන්දක් මිශ්‍ර කරන්න. ( යීස්ට් කඩෙන් ගන්න පුලුවන්)

හාල් පිටි ග්‍රෑම් 500 ට මේ පොල් වතුර, සීනි සහ යීස්ට් මිශ්‍රණය වක් කරන්න. එයට ජලය දමා රොටි වගේ පදමට අනන්න. අනලා පියනකින් වහලා වැඩට යන්න පුළුවන්


හවස ඇවිත් ඉතුරු ටික

හවස ගෙදර ආව ගමන්ම උකුවට පොල් කිරි මිරිකලා ගන්න. උදේ තබා ගියපු මිශ්‍රණය පිලිලා තියේවි. එයට පොල් කිරි ටික ටික මිශ්‍ර කරලා අතින් පොඩි කර ගන්න. මේක තරමක් දියාරුවට තිබිය යුතුයි.

ඊට පස්සේ මේ භාජනේ එහෙම්ම තියලා නාන , ඇඟ හෝදන රෙදි හෝදන වැඩ එහෙම ඉවර කරගෙන පැයකින් දෙකකින් හරි තුනකින් හරි කිචන් එකට ආවට කමක් නැහැ.

ඊට පස්සේ තියෙන්නේ පදම බලලා මිශ්‍රණයට ලුණු එකතු කරගෙන අවශ්‍යනම් විතරක් බිත්තරේ හොඳට ගහල මිශ්‍රනේට එකතු කරන්න. බිත්තරයක් එකතු කරහම පහසුවෙන් ගැලවෙනවා. රසත් හොඳයි.

ඉන් පස්සේ මේ වීඩියෝවේ තියන විදිහට ආප්ප හදා ගන්න.

හරිම ලේසියි නේද? පොඩි වෙලාවයි ගත වෙන්නෙත්.


හරියට ගැලවෙන්න තාච්චිය පදම් කරනේ කොහොමද?

අලුතින් ගත්ත ඇලුමිනියම් තාච්චියක් නම් ගැලවෙන්න ටිකක් අමාරු වේවි. එම නිසා තාච්චියට ගොරක දාල වතුර දාල හොඳින් තම්බන එක හොඳයි. එවිට තාච්චිය පදම් වෙනවා.


ආප්ප හදන තාච්චියේ වෙන කිසිම දෙයක් නොහදා ඉන්න පරිස්සම් වෙන්න.

මම නම් පාවිච්චි කරන්නේ Hopper Maker කියන ආප්ප හදන්න විශේෂයෙන්ම පාවිච්චි කරන තාච්චියක් තමයි ඔන්න. ඒක නම් ඇලවෙන්නේ නැහැ කොහෙත්ම. වෙළඳ පොලේ තිබෙනවා මිලදී ගන්න.


කියවන්න :-

ඉස්සෝ : කටට කෙල උනන සිංහල ක්‍රම 5 කට හදමුද?

SHARE

NO COMMENTS