හඬක් නැති “අපේ ළමයි” පනමෙන් සුරකිමු

විශේෂ දරුවෝ කියන්නේ මොන වගේ දරු පිරිසක්ද?

නිරෝගී සුන්දර දරු උපතක් කියන්නේ හැම අම්මෙක්ගේම තාත්තෙක්ගෙම ප්‍රාර්ථනාවක් තමයි. නමුත් අවාසනාවට ඇතැම් දෙමාපියෝ ඒ වාසනාවට උරුමකම් කියන්නේ නැහැ. ඇතැම් දරුවෝ උපතින්ම වර්ධනයේ සංකූලතා එමෙන්ම අබාධ සහිතව ඉපදෙනවා. මේ දරුවන්ට මන්ද මානසික ලෙස හංවඩු ගහන්න අපි නම් කැමති නැහැ. හැබැයි සත්‍යය තමයි ඔවුන් සාමාන්‍ය දරුවන්ගෙන් විශේෂයි. ඔවුන්ගේ හැකියාවන් සාමාන්‍ය දරුවෙක්ගෙන් ගොඩක් වෙනස් වෙනවා.


fb- like-beg


විශේෂයි කියලා ඔවුන් අත්හැර දැමිය හැකිද?

එහෙම කරන්න බැහැ. පිට රටවල මෙවැනි දරුවන් සදහා රජය මගින් විවිධ වැඩසටහන් හා මධ්‍යස්ථාන ක්‍රියාත්මකයි. නමුත් අපේ රටේ එවැනි විධමත් වැඩපිළිවෙලක් නැහැ. ඔවුනට මූලික හැකියාවන් , දක්ෂතාවයන් උගන්වා සමාජයෙට බරක් නොවී ජීවත් වීමට පාර කියාදීම , එයට දායකත්වය දැක්වීම Goodhousekeeping.lk කියවන කාරුණික ඔබෙත් අපෙත් වගකීමක්.


විශේෂ දරුවන්ට ජීවිතේ කියාදෙන පාසලක් අපට හමුවුනා

තිලකරත්න මහත්මා ඇතුළු ආචාර්ය මණ්ඩලය දරුවන් සමග

අහම්බෙන් අපේ චාරිකා අතරතුර අපිට යන්න ලැබුනා අඹේපුස්ස බෝතලේ ප්‍රදේශයේ තිබෙන “අපේ ළමයි” විශේෂ පාසලට. මෙහි විශේෂ දරුවෝ 35 ක් පමණ දැනට නේවාසිකව ඉන්නවා. ඔවුනට උගන්වන ගුරු මණ්ඩලය ඇතුළුව කාර්ය මණ්ඩලය 11 ක් පමණ සිටිනවා.

අප එහි ගියේ සාමාන්‍ය කුඩා දරුවෝ ගැන ඇති අත්දැකීම සමග තරමක් හිතේ චකිතෙන්. සම්පූර්ණ නිරෝගී උනත් මගේ දරුවෝ එක තැනක මොහොතක් තබන්න බැහැ. එහෙනම් මේ විශේෂ දරුවෝ ගොඩක් කලබල කරනවා ඇති කියල මගේ හිත කීවා.


පුදුම සහගත ප්‍රතිපල දුන්න අරුම පුදුම ඉස්කෝලේ

පාසැලේම ඉගෙනගත් ශිෂ්‍යාවක් එහි විශේෂ ගුරුවරියක් ලෙස

නමුත් පුදුමයි. නිසි ලෙස ඇඳ පැළඳගෙන ශාන්තව ඔවුන් 35 දෙනාම එහි සිටියා කිසිවෙක් කලබල කලේ නැහැ. ඔවුන් වෙනුවෙන් කරන විශේෂ ව්‍යායාම, අධ්‍යාපන ක්‍රම, ආහාර රටා, චර්යාමය අභ්‍යාස ආදිය මෙහි නිර්මාතෘ තිලකරත්න මහත්මා සහ ඔහුගේ දයාබර භාර්යාව මධුවන්ති මහත්මිය අපට වීඩියෝ මගින් පෙන්වා දුන්නා.

ඇත්තටම ඔවුන්ගේ වැඩ පිළිවෙලේ සාර්ථකත්වය පිළිබඳව ලැබුන ජීවමාන සාක්ෂිය තමයි සමාජයට බරක් වෙන්න හිටපු මේ පොඩ්ඩෝ අද ඉන්න තත්වය කියන්නේ. ඒ අතරේ ඔවුන් පැහැදිලි කළා තව දරුවෝ පිරිසක් ඉගෙන ගෙන ජීවන කුසලතා අරගෙන ගෙවල් වලට සාර්ථකව පිටත් වෙලා ගිහින්. ඇතැම් දරුවෝ විවාහ පවා වෙලා. තව දරුවෙක් විශේෂ ගුරුවරියක් ලෙස එහිම සේවය කරනවා.


මේ සේරටම මුල “ විශ්ව”

” විශ්ව ” අපේ ලමයි පාසලේ ආරම්භක ශිෂ්‍යයා

ඔවුන් අතරේ තරමක් ලොකු දරුවෙක් හිටියා. ඔහු හරිම අපූරු දරුවෙක්. ක්‍රියා ශීලීව වැඩ පල කළා ඔහුගේ මට්ටමෙන්. ඔහු පරිඝනක වගේ දේවල් වලට ඉතාම කැමතියි. ඔහුගේ ආදරණීය අම්මා මධු වන්ති මහත්මිය නිරන්තරවම ඔහු දෙස සෙනෙහස උපදවන බැලුම් හෙළුවේ අපේ නෙතටත් කඳුලක් එක් කරමින්.

ඔහු තමයි මේ සමාජ සත්කාර්යය කරන්න තිලකරත්න මහත්මයාට හේතුව වුන දරුවා. විශ්ව පිළිසිඳ ගත්තේ තිලකරත්න මහතාගේ සහ එම මහත්මියගේ දෙවන දරුවා ලෙසයි. සාමාන්‍ය දරුවෙක් ලෙස පිළිසිඳ ගත්තත් උපතේදී ඇති වූ කිසියම් සංකූලතාවයක් නිසා ඔහු විශේෂ දරුවෙක් බවට පත් වුනා.


කඳුළු සාගරයෙන් ලෝකයක් සැනසුව අපූරු දෙමාපියෝ දෙන්නා

තමන්ට පුද්ගලික ජීවිතේ වෙච්ච කඳුල, වේදනාව, අභාග්‍යය නිසා පසුබට නොවුන ඔවුන් දෙදෙනා මේ දරුවා ලොකු මහත් කිරීමේ උදාර කර්තව්‍යය ගැන විශේෂයෙන් ඉගෙන ගත්තා. ඉන් පස්සේ ඔවුන් දෙදෙනා තීරණය කළා විශ්ව වගේම මේ වගේ තත්වෙට පත් වෙලා බලාපොරොත්තුවක් නැතුව ඉන්න අනෙක් දරුවොත් යම් විදිහකට නැගිට්ටවන්න පුළුවන් නම් එය ලොකු භාගයක් කියල. ඒ අනුව අඹේපුස්ස බෝතලේ දුම්රිය ස්ථානය අසබඩ අතහැරලා දාපු පාසලක ඔවුන් මේ නේවාසික විශේෂ පාසල පටන් ගත්තා. එවක පටන් 20 වසරක් පුරා මින් ජීවිතය ලැබුව විශේෂ දරුවෝ ගණන සිය ගණනක්.


අපි මේ වෙනුවෙන් මොනවද කරන්න ඕනේ ?

අපි සමාජයේ ජීවත් වන ශිෂ්ට මිනිස්සු වශයෙන් මේ දරුවන්ගේ හෙට දවස යහපත් කරන්න පොඩි හෝ ආධාරයක් කරනවා නම් එක ඉතාම ශ්‍රේෂ්ටයි. ඔබ ගිහින් ඔවුන් බලන්න. ඔවුන්ගේ ආදරය, සෙනෙහස බෙදා ගන්න. එවිට ඔබට ඇසෙන් දකින්න පුළුවන් මේ විශේෂ පාසලේ තත්වය.


“ අපේ ළමයි” සංවිධානය

බෝතලේ, අඹේපුස්ස.( බෝතලේ දුම්රිය පල ඉදිරිපිට)
TEL : 033 – 4937645/ 077-6273534 / 077-6191369
E. Mail : www.thilakarathnad8@gmail.com
Web : www.ourkidsorganization.org

SHARE

NO COMMENTS