වෙඩින් එකකට යද්දී ඕනවට වඩා මේකප් දාන්න එපා.

වෙඩින් එකකට ලස්සනට යන්න අපි කවුරුත් ආසයි. එත් ඒ අසාව නිසාම වැඩිපුර ලස්සන වෙන්න ගිහින් සමහරු තමන්ගේ තියන ලස්සනත් නැති කර ගන්නවා. හැම වෙඩින් එකකම වගේ මේ වගේ කෙනෙක් ඉන්නවා. තමන්ගේ හමේ පාටට ගැලපෙන්නේ නැති විදියට ලිප්ස්ටික් ගාලා, ඕනවට වඩා තදට අයි ලයිනර් ඇඳලා, සමේ පාටට වෙනස්ම පාටකින් පවුඩර් ගාලා මේ විදියට වෙඩින් එකකට ගියාම හැමෝම ඔබ දිහා බලනවා තමයි. හැබැයි ඒ බලන්නේ ඔබේ ලස්සන දිහා නම් නෙවෙයි. මෙයාට මොකද වෙලා තියෙන්නේ කියලා තමයි හැමෝම බලන්නේ. ඉතින් අද අපි කියන්න යන්නේ ලස්සනට වෙඩින් එකකට යන්න මේකප් කරනකොට වැදගත් වෙන කරුණු කිහිපයක් ගැනයි.

fb- like-beg


ඔබේ සම පිළිබඳ වැඩි අවධානයක් යොමු කරන්න.

වෙඩින් එකකට යන්න ලැස්ති වෙනකොට ඔබ මතක තියා ගන්න ඕන පළවෙනි කාරණය තමයි, මේක ඔයාගේ වෙඩින් එක නෙවෙයි කියන එක. ඔබ එතනට යන්නේ අමුත්තෙකු ලෙස පමණයි. වෙඩින් එකේ ප්‍රධාන තැන හිමි වන්නේ මනමාලියටයි. ඔබ මනමාලිටත් වඩා කැපී පෙනෙන ලෙස ඉන්න එක එතරම් හොඳ නැහැ. ඔබ තුලින් ඉස්මතු විය යුත්තේ මේකප් වලට වඩා ස්වභාවික ලස්සනයි. එනිසා ඔබේ සම පිලිබඳ වැඩි අවධානයක් යොමු කල යුතුයි. ඔබේ සමේ ස්වභාවික වර්ණයට වෙනස් වර්ණ යොදා ගැනීමෙන් වලකින්න. මේ සඳහා BB ක්‍රීම් වඩාත් සුදුසුයි. එමගින් ඔබේ සමේ වර්ණය සමබර කර සුමුදු කර මනා නිමාවක් ඇති කරයි. එමෙන්ම සමට පවුඩර් යොදන විට දිලිසෙන ගතියෙන් අඩු මැට් වර්ණයක් (Matte colour) යොදා ගන්න. එමෙන්ම ඔබේ සම එතරම් පැහැපත් නැති වුවද පවුඩර් යොදා ඕනවට වඩා සම සුදු කිරීමට උත්සහ කිරීමෙන් වලකින්න. එවිට ඔබේ මුහුණේ වර්ණය සහ අත් පා ආදියේ වර්ණ වල වෙනස පැහැදිලිවම පෙනේවි. එමෙන්ම මේකප් යොදන විට ඔබ අඳින ඇඳුම අනුව ඔබේ ශරීරයේ නිරාවරණය වන තැන්වල ද පවුඩර් ස්වල්පයක් ආලේප කරන්න අමතක කරන්න එපා. උදාහරණයක් විදියට ඔබ සාරියක් අඳිනවා නම් ඔබේ පිට ප්‍රදේශයේත් පවුඩර් ගාන්න. එයින් ඔබේ සමේ වර්ණ වෙනසක් දිස්වීම අවම වේවි.


ඇස් වලට ඉතා සරල මේකප් එකක් යොදන්න.

ඇස් කියන්නේ ඕනෑම කෙනෙක්ගේ ඉස්සෙල්ලාම අවධානය යොමු වන ස්ථානයක්. එත් ඇස් වලට ඕනවට වඩා මේකප් යෙදීමෙන් ඔබව වෙනස්ම කෙනෙක් බවට පත් වෙන්නත් පුළුවන්. ඇස් වලින් කෙනෙකුගේ පෙනුම සම්පුර්ණයෙන්ම වෙනස් කරන්න පුළුවන්. ඒ නිසා ඇස්වලට ඉතාම සරල ස්වභාවික මේකප් එකක් තමයි ගැලපෙන්නේ. ඔබේ ඇහි බැම හොඳින් සකස් කර ගන්න. ඇහි බැම පාට කරන විට ඇහි බැමි වැවී ඇති පැත්තටම පාට කරන්න. එසේ නොවුවහොත් ඇහි බැමට අස්වාභාවික පෙනුමක් ලැබේ. ඔබේ ඇස් පියන් වල මුලින්ම ෆවුන්ඩේෂන් හෝ ප්‍රයිමර් හෝ ආලේප කරන්න. පසුව නැවත සමට ගැලපෙන පවුඩර් ස්වල්පයක් අලේප කර ඇස්පියන් වලට ගැලපෙන වර්ණයන් ආලේප කරන්න. මෙලෙස පළමුව පවුඩර් ආලේප කිරීම මගින් වර්ණ හොඳින් මිශ්‍ර වේ. මෙම වර්ණයන් තෝරා ගැනීමේදීද ඔබේ සමට ගැලපෙන වර්ණයන් තෝරා ගැනීමට සැලකිලිමත් වන්න. බොහෝ දෙනා තමන්ගේ ඇඳුමේ පාටට මෙම වර්ණ තෝරා ගනී. එහෙත් එය සැම විටම සුදුසු නැත. එනිසා ඔබේ සමත් ඇඳුනුත් දෙකම ගැන සිතා වර්ණ තෝරා ගන්න. ඇසේ මුල ලා වර්ණයක් ආලේප කර ඇසේ අග එම වර්ණයටම ගැලපෙන තරමක් තද වර්ණයක් ආලේප කරන්න. අයි ලයිනර් එක අඳින විට ද ගොඩක් තදින් ඇඳීමෙන් වලකින්න. ඇසේ හැඩයට ගැලපෙන ලෙස අයි ලයිනර් අඳින්න. එමෙන්ම ඇසට වඩා ගොඩක් දිගට එය ඇඳීමෙන් ද වලකින්න. ඉන් පසු ඔබේ ඇහි පිහාටු කර්ල් කර මස්කාරා ආලේප කරන්න. මස්කාරා ආලේප කිරීමේදී එය දෙවරක් ආලේප කරන්න. එයින් ඔබේ දෑස් ඉතා ලස්සනට දිස් වේවි.


සුමුදු සහ සරල ලෙස තොල් වර්ණ ගන්වන්න.

ඉතා තද, කැපී පෙනෙන, රතු වැනි වර්ණයන් තොල් වල ආලේප කිරීමෙන් වළකින්න. ඒ වෙනුවට ඔබේ සමට ගැලපෙන ලා වර්ණයක් භාවිතා කරන්න. පළමුවෙන්ම ඔබ තෝරා ගන්නා තොල් අලෙපනයේ වර්ණයට ගැලපෙන පරිදි ලිප් ලයිනර් එකක් තෝරා ගන්න. ඔබේ තොලේ හැඩය වෙනස් නොවන පරිදි ලිප් ලයිනර් එක ඇඳ ගන්න. පසුව තොල් ආලේපනය ගලවන්න. මෙහිදී තොල් ආලේපනය වෙනුවට ලිප් ග්ලොස් එකක් වුවද භාවිතා කල හැක. එහෙත් මේ දෙකම ඔබේ සැමට ගැලපෙන ලෙස තෝරා ගැනීමට වග බලා ගන්න. එමෙන්ම තොල් ආලේපන එහෙම නැත්නම් ලිප්ස්ටික් ආලේප කිරීමට පෙර ලිප් බාම් ආලේප කිරීමට ද අමතක නොකරන්න. ඔබට අවශ්‍ය නම් ලිප්ස්ටික් එක සඳහා ද මැට් වර්ණයක් ආලේප කල හැකියි.


මේ විදියට ඉතාමත් සරල මේකප් එකක් දාගෙන වෙඩින් එකකට ගියොත් ඔබ ඉතාමත් සුන්දරව ඉඳීවි. ඒ වගේම ඔබව කාගේවත් විහිලුවට ලක් වෙන එකකුත් නැහැ. ඒ නිසා ඔබ අන් අය ඉදිරියේ අපහසුතාවයට පත් වෙන එකකුත් නැහැ.

SHARE

NO COMMENTS