“ජීවිතේ මේ වගෙයි.” – 13 කොටස

සමුදිගේ වයස 34 ක්. ඇය පුද්ගලික අංශයේ විධායක නිලධාරිනියක්. ඇය විවාහ වෙලා ඉන්නේ තාරික එක්ක. තාරික කියන්නේ නැවු සමාගමක විධායක රැකියාවක් කරන කෙනෙක්. ඔවුන් විවාහ වුනේ විශ්ව විද්යාලේදී දැන හඳුනා ගෙන. නිමුන් දරුවෝ වෙච්ච විහස් හා විමාශ තමයි ඇගේ පුත්තු දෙන්නා. මෙන්න මෙහෙමයි ඇගේ ජීවිතය ගත වෙන්නේ.

සතිපතා කොටස් වශයෙන් පලවන කථාව

fb- like-beg


අපේ කාලේ දියණියකගේ කථාවක් – 13 කොටස

“මිස් සමුදී අලහකෝන් මැරී කරලද?”

සිනාවක් මුහුණේ රඳවා ගත්ත අධ්‍යක්ෂක තිලකරත්න මහත්තයා ඇහුවා. ඔහුගේ ඇස් දෙක මුළු මීටින් එක පුරාවටම ගියේ Projector එකට නෙවෙයි සමුදිගේ සුන්දර ශරීරය වෙත කියල මීටිමේ හිටපු හැමෝටම පෙනුනා.

සමුදිගේ ප්‍රධානියා වෙච්චි නන්දලාල් මහත්මයා ඇයට පියෙක් වගේ. ඔහුටත් මේ ප්‍රධානියාගේ ලජ්ජා නැති හැසිරීම නිසා දැනුනේ මද අපහසුවක්. මෙම සමාගමේ මවු සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියෙක් වුන තිලකරත්න මහත්තය කියන්නේ දක්ෂ මනුස්සයෙක්. ආයතනය මේ තත්වෙට ගෙන්න ඔහු ලොකු කැප කිරීමක් කළා කියල හැමෝම දන්නවා. ඒ වගේම මේ නිලධාරියා ගොඩක් බලවත්. ඕනෙම කෙනෙක් ඕනෙම වෙලාවක රස්සාවෙන් දොට්ට දාන්න පවා ඔහුට පුලුවන්. ඔහු තරමක් මනමාලයා කියල කයි කතන්දර කාර්යාලය පුරා පැතිරිලා තිබුනා. කොහොමත් සුන්දර ගැහැනියක් වුන සමුදිට නම් පිරිමින්ගේ ආකර්ෂණය කියන්නේ අමුතු දෙයක් නෙවෙයි.

කොතරම් ලස්සන වුනත් කට කතාවක්වත් හදා නොගෙන ජීවත් වෙන්න ඇය ගොඩක් පරිස්සමෙන් හැසිරුනේ. රාජකාරි ගමන් බිමන් හැර වෙන කිසිම වෙලාවක කාර්යාලයේ කිසිම කෙනෙක් එක්ක එහෙ මෙහෙ යාම ඇය කවදාවත් කළේ නැහැ. ඇයට එහෙම කරන්නත් බැහැ. මොකද දරුවෝ දෙන්නෙක්ගේ වැඩ එක්ක ඇයට තිබුන විවේකය බොහොම අඩුයි.

සමුදිගේ දක්ෂකම සහ ලස්සන නිසා නොයෙක් වෙලාවල් වල මිනිස්සු නොයෙක් දේවල් වලට ආවත් ඇය හැම විටම බේරුනා. මේ නිසා කාර්යාලයේ වැඩ කරන සමහර පිරිමි ඇයට වෛර කරා. ගැහැණු ඉරිසියා කරා. නමුත් මේ විකාර ගැන හිතන්නවත් සමුදිට නම් වෙලාවක් තිබුනේ නැහැ. ඇය අගේ ජීවිතේ එක්ක තාරික එක්ක දරුවෝ එක්ක ලස්සනට ජීවත් වුනා.

නමුත් අද නම් අයගේ ඇඟේ වැටෙන්න එන්නේ ලොකුම ලොකු ඇනයක් බව සමුදිට ඉවෙන් වගේ තේරුනා. මීටීම පුරාවටම තමන් දිහා කන්න වගේ බලන තිලකරත්න මහත්මයා වෙත බැනීම හෝ එරවීම කරන්න බැහැ. මොකද ඔහු තමයි මේ සමාගමේ මුළු ලංකාවටම ප්‍රධානියා. ඒ නිසා කිසිවක් නොදැනුනා වගේ සමුදී හැසිරුනා. මීටීම අවසානයේ තිලකරත්න මහත්මයා හැමෝටම ස්තුති කරා. විශේෂයෙන් සමුදී අලහකෝන්ව විශේෂයෙන් අගය කිරීමකට ලක් කරා. මීටීම ඉවර වෙලා අනික් අය යද්දී සමුදීත් තමන්ගේ ලැප් ටොප් එක වහමින් ඉද්දි තමයි තිලකරත්න මහත්තයා මේ විදිහට ඇයගෙන් විවාහකද ඇහුවේ.

She has two grown up sons Sir ( එයාට ලොකු පුතාල දෙන්නෙක් ඉන්නවා සර්)” පැනල උත්තරේ දුන්නේ සමුදිගේ ප්‍රධානියා වෙච්චි නන්දලාල් මහත්මයා. ඔහු තිලකරත්නගේ මනමාල බැල්මට අකමැති වුනා. ඒ වගේම සමුදිට අනතුරක් වෙයි කියලා බය වුනා.

“ ඕ අයි සී…… මම හිතුවේ කැම්පස් එකෙන් අවුට් වුන ගමන් ඉන්න කෙල්ලෙක් කියලා. නන්දලාල් තමුසෙත් මාර මිනිහෙක් නේ මේ ලස්සන කෙල්ලෝ අරගෙන අපිටවත් පෙන්වන්නේ නැහැ නේද”

May I go in Sir? Today is a very busy day” ( මම ඇතුලට යන්නද සර්? අද ගොඩක් වැඩ අධික දවසක් “) කියපු සමුදී හෙමින් එලියට බැහැ ගත්තේ මේ අනවශ්‍ය සංවාදයට මැදිහත් වෙන්න ඇති අකමැත්තටයි.

මේ අතරේ සමුදී එක්ක ඉරිසියාවෙන් පෙලෙන රුවනි එලියට ගියේ මේ ගැන කාටද කියන්නේ බලන්න. ඉක්මනට ලන්ච් රූම් ගියපු ඇයට ඇය වගේම අනුන්ට කතා පතුරන පිළිගැනීමේ නිලධාරිනිය ටන්යා හම්බ වුනා.

“ මේ ටන්ස්… මාර වැඩේනේ වුනේ අද මිස්ට තිලකරත්නට ප්‍රසන්ටේෂන් එක කරන අතරේ අර ගෑණි කොහොම හරි ලයින් පාර දා ගත්තනේ”

නැත් … ඔයා දැක්කද?

“ඔවු අනේ ඔවු…. බලන්න එපාය මේ ගෑණි නලවපු නැළවිල්ල. දැන් ඉතින් ෂුවර් එකටම සෙට් වෙයි. මායම් ඔක්කොම දන්නවනේ.”

“ඔවු ඉතින් කොහොම හරි කරලා ප්‍රමෝෂන් ගනියි. අනේ අපි ඉතින් හැමදාම එකතැන ඉද්දි මේ ගෑණි බලන්නකෝ….. කොහොම හරි නගින නැගිල්ල. මම මැනේජර් කාලේ තමයි කැම්පස් එකෙන් අවුට් වෙලා ඉස්සෙල්ලම ආවේ……”

මේ කල්ලිය කොහොමත් සමුදිගේ වැඩ කිරීමේ හැකියාව, අප්‍රතිහත ධෛර්යය, ලස්සන, පිළිවෙල වගේ දේවල් වලට වෛර කරේ නිතැනින්මයි. මොකද මේ වගේ දේවල් කාර්යාල වල ගැහැනුන් අතරේ ගොඩක් සුලභයි. තමන්ට වඩා දක්ෂ කෙනෙක් හිටියොත් ඒ පුද්ගලයාව මානසිකව වට්ටවන්න හැකි හැමදේම කරනවා. නමුත් සමුදී ඔවුන්ව සතේකට ගණන් නොගන්න නිසා ඔවුන් ඇයට තවත් වෛර කරා.

මේ සේරටම වඩා රුවනි ඉරිසියා කරේ සමුදී නිසි වයසේ විවාහ වෙලා දරුවෝ ලබලා ඉතාම ලස්සනට ජීවත් වුන නිසයි.

රුවනි වයස 40ට කිට්ටු වුනත් තවම විවාහ වෙලා නැහැ. ඇය ගැන නොයෙක් කට කතා තිබුනත් සමුදී නම් ඔවුවගේ දිග පළල හෙවුවේ නැහැ. හැම විටම ඇය කීවේ “ බල්ලෝ අපිව කෑවට අපි බල්ලව කන්නේ නැහැනේ කියල. රුවනිලාගේ තත්වෙට වැටෙන්න සමුදිට කොහෙත්ම අවශ්‍ය වුනේ නැහැ.

මීටීම ඉවර වෙලා කෙලින්ම තමාගේ අසුනට ගිය සමුදී ඊ මේල් බලන්න පටන් ගත්තා. අයගේ හිත තරමක් සවුත්තු වෙලා තිබුනේ. මින් පස්සේ නම් මම ලොක්ක ඉන්න මීටින් මගහරිනවා. නන්දලාල් මහත්තය මට උදවු කරයි ඇය සිතුවා.

ඒ අතරේ අගේ රාජකාරි දුරකථනය නාද වුනා….

“ හෙලෝ….

“ අහ්හ් …. සමුදී අලහකෝන් නේද? මම මිස්ට තිලකරත්න සමුදී. දයාන් තිලකරත්න….”

“ අහ්හ් ..ඔවු සර්” සමුදී මොහොතකට ගල් වුනා.

“ මම කතා කරේ සමුදිට ආරාධනාවක් කරන්න . හෙට ගලධාරි හෝටලයේ තියෙන කොන්ෆරන්ස් එකට එනවා නේද?”

“ ඔවු සර්. අපි ඔක්කොම එනවා”

“ මට සර් කියන්න එපා සමුදී. මට නිකන්ම දයාන් කියන්නකෝ” ඔහු බොරුවට හුරතල් වුනා.

සමුදී නිශ්ශබ්දව උගුර පෑදුවා.

එහෙනම් බායි කෙල්ලේ. සී යු…

සමුදී දුරකථනය තිබ්බේ දැඩි පීඩනයකින් සහ බයකින්. දැන් ඇය මොකද්ද කරන්නේ? මේ නම් ලොකු ගිනි ගෙඩියක් කියල ඇගේ හිත කිවුවා.

තාරිකට කිවුවොත් තාරික අනිවාර්යයෙන්ම කියාවි රැකියාවෙන් අයින් වෙන්න කියල. හොඳයි මම රැකියාවෙන් අයින් වෙලා වෙන එකකට ගියොත්?

ගියොත් මේ මිනිහා තරහා වෙලා යන යන තැන් වලට පන්න පන්න මට රැකියාව කරන්න දෙන්නේ නැහැ. අනික ඒ තැන් වලත් මේ වගේ වනයක් හම්බ වුනොත්. කොහොම වුනත් ජීවිතේ කියන්නේ ප්‍රශ්න වලින් පලා යන එක නෙවෙයි. ජීවිතේ කියන්නේ හැම ප්‍රශ්නෙටම මුහුණ දෙන ඒකයි. මම කොහොම හරි මේ කරදරෙන් බේරෙනවා. ඇය අධිෂ්ටාන කර ගත්තා. බැරිම වෙලා මට ගෙදර යන්න වුනත් මොනවා කරන්නද? මගේ තාරික මාව බලා ගන්නවා.

කොයි දේටත් වඩා වටින්නේ ගෑනියෙක්ට තමන්ගේ ආත්ම ගෞරවය. මම වුර්තියෙන් උඩට යන්නේ මගේ මහන්සියෙන් මිසක් ඔය එක එක වනචරයන්ට යටවෙලා නෙවෙයි. සුසුමක් හෙලු ඇය නැගිට්ටේ ගෙදර යන්නයි.

SHARE

NO COMMENTS