වැදගත් කාන්තාවක් FB එකේ හැසිරෙන පිළිවෙල

මාජ ජාල කියන්නේ මෑතකදී ඇති වුන දෙයක්. ලෝකයට අලුත්. එම නිසා එහි තිබෙන ගොඩක් දේවල් අපි හරියටම දන්නේ නැහැ. සමාජ ජාල වල හැසිරෙන නියම පිළිවෙල ඔබට කියා දීම අපේ යුතුකම කියල Goodhousekeeping.lk වෙබ් අඩවිය හිතනවා. මොකද නැත්නම් ඔබ ප්‍රශ්න වලට මුහුණ දෙන්න පුළුවන්. කාන්තාවෝ මෙම ෆේස් බුක් එක නිසා මුහුණ දෙන ප්‍රශ්න අපේ කනට නිරන්තරවම වැටෙනවා.

මෙහි ඇති ලොකුම ප්‍රශ්නය කිසිවෙක්ට අනික් කෙනාගේ මුහුණ නොදක ඒ කියන්නේ පුද්ගලික වගකීමක් නැතිව , හිතවත් කමක් නැතිව එකිනෙකා සමග ගනුදෙනු කරන්න සිදු වීමයි. මෙවැනි ජාලයක හැසිරෙමින් එහි ඇති හොඳ ප්‍රතිපල ලාබාගෙන ගැහැනියක් ලෙස තමන්ගේ තත්වය ආරක්ෂා කර ගත යුතු විදිහට හැසිරෙන්නේ මෙහෙමයි.

fb- like-beg


01) පුද්ගලික දේවල් දැමීමට පෙර හිතන්න

ඔබේ ගෙදර ප්‍රශ්න, පුද්ගලික චායා රූප, ඔබ යන ගමන් බිමන්, ඔබේ පවුල් පසුබිම මේ වගේ දේවල් සමාජ මාධ්‍ය වල පල කරද්දී කිහිප විටක් සිතන්න. යමෙක් මේවා දැකිය යුතු නැත්නම් කවදාවත් මේ දේවල් දමන්න එපා. ඔබ අන්තර් ජාලයට යමක් මුදා හැරිය පසු එයට එක්වීමට ඕනෙම කෙනෙක්ට පුළුවන්. ඔබ කියාවි මගේ යහළුවන්ට පමණයි පෙනෙන්නේ කියල. හැමවිටම සෙටින්ග්ස් බලල නිසි ලෙස ඔබේ දේවල් දැකිය හැකි අය පාලනය කරන්න. නමුත් ඇතැම් අවස්ථා වල ඔබේ ගිණුම් හැක් වෙන්න ඉඩක් තිබෙනවා. මේ ගිණුම් හැක් වීම නිසා ඇතැම් තරුනියෝ සියදිවි නසා ගැනීම පවා කළා. එම නිසා පොදුවේ පෙන්වන්න බැරි කිසිම දෙයක් සමාජ මාධ්‍යවල බෙදා හරින්න එපා.


02) තව කෙනෙක් පහත් කරන්න, නින්දා කරන්න කිසිවක් පල කරන්න එපා

ඔබට අනික් අය සමග එදිරිවාදිකම් ඇති. නමුත් ඒ දේවල් ලෝකේ හැමෝටම පේන්න FB එකේ දමන්න නම් හිතන්නවත් එපා. ඒ පුද්ගලයට වඩා ඔබට වෙන හානිය වැඩියි. එවිට ඔබේ මිතුරන් ඔබ ගැන වැරදි අදහස් ඇති කර ගන්නවා. ඒ වගේම ඔබේ ආරවුල් ආදිය ඔබේ සතුරෝ දෑන ගන්නවා කියන්නේ ඔවුන්ට ලැබෙන ලොකු අවස්තාවක් බව නම් අමතක කරන්න එපා.


03) පවුලේ සාමාජිකයන් ගැන විස්තර පළකරද්දී

ඔබ හා පවුල ගැන අධි සංවේධී විස්තරත් පළකරන්න එපා. ඔබ දන්නේ නෑනේ කවුරු ඒ විස්තර දකියිද කියලා. ඔබ කවදද නිවසින් බැහැරව සිටින්නේ, නිවසේ වැඩට ලාබාල මෙහෙකාරියක් ගන්නවාද වැනි දේවල් සමාජජාලා වල පළකරන්නම එපා. ඇතැම් විකුර්ති කාම ආශා වලින් යුතු දුෂ්ටයෝ මේ සමාජ ජාල වල සැරිසරනවා. දරුවන්ගේ ෆොටෝ අරගෙන ඔවුන් අසභ්‍ය පිටු ආදිය කරනවා. එවැනි තත්වයට ඔබේ හය හතර නොතේරෙන දරුවා පත් කරන්න එපා. ඔවුන්ගේ සේයා රූ නොදාන තරමට හොඳයි.

ළමා අපචාර වැලැක්වීම සදහා ඇතැම් රටවල් මගින් දරුවන්ගේ ෆොටෝ දැමීම තහනම් කර තිබෙනවා. එම නිසා අපි නීතියක් නැති රටක ජීවත්ව ඉන්න මිනිස්සු හැටියට පවුලේ විස්තර FB දාද්දි එයින් වෙන හානි ගැන ගොඩක් සිතිය යුතුයි.


04) ඔබේ මිතුරන්ගේ ජයග්‍රහණ ගැන සුභ පතන්න

ඔබ ගැන යම් දුරකට ප්‍රවර්ධණයක් කිරීම කමක් නෑ. ඔබගේ අවධානය ගැනීමට කැමැති අයත් ඉන්නවානේ. ඔබේ මිත්‍රයන්ගේ ජයග්‍රහණ, විවාහ , උපන්දින වැනි දේවල් වලදී සුභ පතන්න. ලයික් එකක් දාන්න. හොඳ දේ අගය කරන්න. දැකල නිකන් බුම්මගෙන ගියොත් ඔබ ඉරිසියා කාරයෙක් කියල පිළිගැනීමක් යහළුවෝ අතරේ ඇති වේවි.


05) ඔබ අතින් වරදක් සිදු වුනොත් සමාව ඉල්ලන්න

ජීවිතයේදී වගේම මෙතනත් වැරදි සිදු වෙනවා. සමාජ ජාලයක ඔබ අතින් යම් වරදක් සිදුවුණොත්, ඒ ගැන සමාව ඇයද සිටින්න. නැවත එම වැරැද්ද නොවීමටත් වගබලා ගන්න. මෙහි අදහස් දක්වන්නේ හැමෝටම පේන්න නිසා හැම විටම ඔබ කරන ක්‍රියා වලට වගකීම ගන්න. නිකන් හිතට එන විදිහට ප්‍රතිචාර දක්වන්න එපා.


06) නීති වලට අනුගත වීම

ඒ ඒ සමාජජාලා වල පනවා ඇති නීති-රීති වලට අනුකූලවම කටයුතු කරන්න. නැත්නම් ඔබ වෙනුවෙන් නීතිමය පියවර ගැනීමටත් , සමාජ ජාලයෙන් ඉවත් වීමටත් සිදු වේවි.

SHARE

NO COMMENTS