“ජීවිතේ මේ වගෙයි.” – 14 කොටස

සමුදිගේ වයස 34 ක්. ඇය පුද්ගලික අංශයේ විධායක නිලධාරිනියක්. ඇය විවාහ වෙලා ඉන්නේ තාරික එක්ක. තාරික කියන්නේ නැවු සමාගමක විධායක රැකියාවක් කරන කෙනෙක්. ඔවුන් විවාහ වුනේ විශ්ව විද්යාලේදී දැන හඳුනා ගෙන. නිමුන් දරුවෝ වෙච්ච විහස් හා විමාශ තමයි ඇගේ පුත්තු දෙන්නා. මෙන්න මෙහෙමයි ඇගේ ජීවිතය ගත වෙන්නේ.

සතිපතා කොටස් වශයෙන් පලවන කථාව

fb- like-beg


අපේ කාලේ දියණියකගේ කථාවක් – 14 කොටස

එදා පාරේ වාහන තදබදය ගොඩක් වැඩි දවසක්. තාරික ඉක්මනින් පිටත් වුනත් සමුදිව ගන්න එද්දී පරක්කු වුනා. තදින් වහින වැස්ස නිසා විහස් සහ විමාශ මහන්සියටම කාර් එක ඇතුලේ නින්ද ගිහින්. සේරම සිත් වේදනා මැද්දේ සමුදී හෙමින් වාඩි වුනා. තාරිකගේ මුහුණ බැලුවේ ඔහු ඉන්න මානසික තත්වේ කොහොමද කියල දැන ගන්න. නමුත් එදා ඔහු පීඩනෙකින් ඉන්න දවසක් නෙවෙයි කියල ඇයට වැටහුනා. දයාන් තිලකරත්න ගැන ඔහුට කියල හිත නිවා ගන්න ඕනේ. නමුත් නිදි වගේ හිටියට දරුවොන්ට ඇහෙයි කියල ඇය නිශ්ශබ්දව හිටියා.

සමුදී වෙනදට මල් පොකුර වගේ හිනා වෙලා තමන් එක්ක කතා කරන බව දන්නා තරිකගේ හිතත් මොහොතකට සසල වුනා.

“ සමහර විට ඔෆිස් එකේ ප්‍රශ්නයක් වෙන්න ඇති. තව ටිකකින් කියයි” ඔහු හිත හදා ගත්තා.

“ අම්මි අපි අද කඩෙන් කමුද? ඔයාට මහන්සි පාටයි” ඔහු ඇහුවේ අසනීපෙ නිසා සමුදිගේ අම්ම දැන් රාත්‍රී ආහාර ඔවුනට එවන්නේ නැති නිසා.

“ නැහැ තාත්ති කඩ වලින් නිතරම කන්න හොඳ නැහැනේ. මම සැලඩ් එකක් හදලා පාන් ටෝස්ට් කරන්නම්.” ඇය කීවා.

“අම්මි ඔයාට මොකක් හරි ප්‍රශ්නයක්ද?”

“ඔවු තාත්ති. ලොකු ප්‍රශ්නයක්. මම පස්සේ කියන්නම්” කියල ඇය කාර් එකේ පිටිපස්සට ඇඟිල්ල දික් කරා.

ඔවුන් ගෙදර ගිහින් සමුදී ආහාර පිළිවෙල කරනකම් තාරික පොඩි වුන් දෙන්නව හේදුවා. දෙන්න දවල් කරලා තිබ්බ ගෙදර වැඩ ටික බැලුවා. පොඩි වුනත් ඔවුන් දෙන්න තනියම ගෙදර වැඩ කරනවා. ඒනිසා ලොකු වදයක් නැහැ. වෙන දරුවෝ නම් කවන්න පස්සෙන් යන්න ඕනේ, පාඩම් කරවන්න දඟලන්න ඕනේ. මේ දරුවෝ දෙන්න වද නොදෙන විදිහට පරිස්සමෙන් හදන්න සමුදී ලොකු මහන්සියක් ගත්තා.

ඔවුන් කවදාවත් දෙමාපියෝ එක්ක එක ඇඳේ නිදන්න ඕනේ කියල අඬන්නේ නැහැ. නමුත් සමුදිගේ අයියගේ දරුවෝ නම් විහස් සහ විමාෂට වඩා ලොකු වුනත් නිදන්නේ නැහැ දෙමාපියෝ නැතුව. දෙමාපියෝ එක්ක එක ඇඳේ නිදියද්දී දරුවන්ගේ පෞර්ෂයට හානි වෙනවා. ඔවුන් කිසි දෙකට තනියම ඉදිරිපත් වෙන්නේ නැතුව යනවා. ඒ වගේම දෙමාපියෝ දෙන්නට පුද්ගලිකව තනි වෙන්න ක්‍රමයක් නැති නිසා ඔවුන් දෙන්න අතරේ තියන සම්බන්ධයත් හීන වෙනවා. ලිංගික ජීවිතේ ඇල්මැරුණ ස්වභාවයක් ගන්නවා, ඒ වගේම දරුවෝ ලිංගික කටයුතු දකින්න ඉඩක් තියනවා. මේ සේරම නිසා දරුවෝ වෙනම නිදි කරවීම තමයි හන්දම පිළිවෙල.

හතර දෙනාම රාත්‍රී ආහාරය ගත්තා. පුතාලට වෙනම කිරි හදලා පොවලා ඔවුන්ගේ දත් මදින වේලාවෙන් පස්සේ ඇඳට දාන්න දෙන්නම ගියා.

තාරිකට ප්‍රශ්නේ කියල හිත සැහැල්ලු කර ගන්න පුදුම වුවමනාවකින් සමුදී හිටියේ. ඇය සේරම විස්තරේ ඔහුට කිවුවා. තාරික ගොඩක් වේදනාවට පත් වුනා. සමුදිට රැකියාවෙන් ඉවත් වෙන්න කියන්න ඔහුට බැහැ. මොකද සමුදී එය කැමැත්තෙන් කරේ. ඇය උගත්. ඒ වගේමයි ලොකු ආදායමක් පවුලට මේ වැටුපෙන් දායක වුනා. ඔවුන් ගෙයක් හදන්න පටන් ගන්න හිටියේ. මේ සේරටම වඩා පිරිමියෙක් ලෙස ඔහුගේ ආත්ම ගෞරවය දයාන් තිලකරත්නගේ නිර්ලජ්ජිත හැසිරීම නිසා බරාතල ලෙස හානියට ලක් වුනා.

ඔහු ඉතාම දයාවෙන් සමුදිගේ හිස අතගාන්න පටන් ගත්තා.

“අම්මි මීටින් වලට යන එක මගහරින්න. එතකොට මිනිහා පස්සෙන් එන එක නවත්වයි. බැරිම වුනොත් ඕනේ වෙලාවක ජොබ් එක දාල ගෙදර එන්න. මට ඔයාට කන්න දෙන්න බැරි කමක් නැහැ. ප්‍රශ්න ඒවි. හැබැයි මම මොනවා හරි කරනවා. කරලා ඔයාට කරදරයක් නැතිව ජීවත් වෙන්න හැම පහසුකමක්ම සලසනවා. “

අපි වෙන ජොබ් වලට ඇප්ලයි කරන්න පටන් ගමුද? ඇය ඇහුවා.

ඔවු අම්මි. මම දන්නවා ඔයා ගොඩක් දුර මෙතනින් යන්න බලාගෙන ඉන්නේ කියල. නමුත් ජීවිතේ කියන්නේ අපි සැලසුම් කරපු විදිහටම වෙන දෙයක් නෙවෙයිනේ. කොයි එකටත් අපි අදම වෙන තැන් කීපයක් බලමු.

ඔවුන් දෙන්නා මහ රෑම වෙබ් අඩවි කීපයක් පරීක්ෂා කළා. ඇය දැන් කරන විදිහේ වැටුප් ලැබෙන, විශාල ආයතන එකක වත් ලංකාව ඇතුලේ නම් රස්සා නැහැ. නමුත් ටිකක් හොඳ කීපෙකට අයදුම් කළා.

මේ අතරේ තාරික කල්පනා කළා තමන්ගේ මිතුරන්ගේ ආයතන කීපෙක රැකියා අවස්ථා බලන්න.

“එතකොට හෙට යන කොන්ෆරන්ස් එක? මේ මිනිහා එහෙට එනවා.”

“මම නියම වැඩක් කියන්නම් අම්මි. මම හොටෙල් එකට ඇවිත් ඔයාගේ වැඩේ ඉවර වෙනකන් බීම එකක් බිබී ඉන්නම්. ඉවර උන ගමන්ම අපි ගෙදර එමු. නැත්නම් ඔය මිනිහා ඔයාව බස්සවන්න ඕනේ කියල කරදර කරයි. පුතාලව මම හෙට හවස කෑම අරන්දීල අම්මලගේ ගෙදරට බස්සන්නම්.

රෑ වෙලා තාත්ති. අපි නිදා ගම්මු. සමුදී මොහොතක් තාරිකව වැළඳගෙන හිටියා. පීඩනෙන් මිරිකුණ ඇයගේ අහිංසක ශරීරය තරයේ වැළඳ ගත් තාරික ඇය සැනසෙන තුරුම තුරුලේ තබාගෙන හිටියා.

SHARE

NO COMMENTS