“ජීවිතේ මේ වගෙයි.” – 16 කොටස

සමුදිගේ වයස 34 ක්. ඇය පුද්ගලික අංශයේ විධායක නිලධාරිනියක්. ඇය විවාහ වෙලා ඉන්නේ තාරික එක්ක. තාරික කියන්නේ නැවු සමාගමක විධායක රැකියාවක් කරන කෙනෙක්. ඔවුන් විවාහ වුනේ විශ්ව විද්යාලේදී දැන හඳුනා ගෙන. නිමුන් දරුවෝ වෙච්ච විහස් හා විමාශ තමයි ඇගේ පුත්තු දෙන්නා. මෙන්න මෙහෙමයි ඇගේ ජීවිතය ගත වෙන්නේ.

සතිපතා කොටස් වශයෙන් පලවන කථාව

fb- like-beg


අපේ කාලේ දියණියකගේ කථාවක් – 16 කොටස

“තාත්ති මම එනවා…..” කියල විහස් නැවත වතාවක් වාහනෙන් එලියට පැන්නා.

“පරක්කු වෙලා පුතේ . අයියා ගිහින් බලන්න මල්ලි මොකද එලියට පැන්නේ කියල. “ සමුදී විමාෂට කීව. ඔවුන් හැමෝම බඩුත් පටවාගෙන කාර් එකට නැගලයි හිටියේ.

“මොනවා හරි අමතක වෙලා “ තාරික හිනා වෙලා සමුදිට කීව.

විහස් තමන්ට මාමා රටින් ගෙනාව අලුත්ම වීඩියෝ ගේම් එක අරන් කාර් එක ඇතුලට දා ගත්තා. යන මග දිගට ඒක ගහ ගහ යන්න. විමාශ නම් ඒක කාර් එක ඇතුලේ තියලම තිබ්බේ.

මේක දැක්ක සමුදිට තරමක් බය හිතුනා. ඒ දවස් වල සමුදියි, ලොකු අයියයි , චූටි අයියයි තුන් දෙනාම කොච්චර නම් සෙල්ලම් කරනවද? හවස වෙද්දී ඔවුන්ගේ කකුල් පස් පාටයි. ගස් වල මුදුන් කරටියටම සමුදී බඩ ගානවා. ඔවුන් හොඳින් ඉගෙන ගත්තා. තදින්ම කායික අභ්‍යාස වලත් නිරත වුනා.

නමුත් දැන් දරුවෝ වෙනස් නේද? මේ දෙන්න අනික් ළමයි එක්ක බලද්දී ටිකක් හොඳයි. නමුත් බොහෝ ළමයිගෙන් වදයක් වෙන එක නවත්වන්න දෙමාපියෝ කරන්නේ ෆෝන් එක දෙන එක. නැත්නම් ටැබ් එක දෙන එක. මොකුත් නැත්නම් හොඳම වීඩියෝ ගේම් එකක් දෙනවා. මේ දේවල් දරුවෙක්ගේ ස්වභාවික ක්‍රියා නොවෙන නිසා සෞක්යට කරන බලපෑම ගැන සමුදිට තිබ්බේ ලොකු බයක්. එම නිසා මොවුන් දෙන්නට නම් ෆෝන් දෙන්නේ නැහැ. ඒ වගේමයි වීඩියෝ ගේම් උනත් අනුමත වුනේ කාර් එකෙන් ගමන් යද්දී විතරයි. ඒක උනත් සමුදිට හිතුනොත් ලස්සන වටපිටාවක ගමන් කරද්දී නම් වීඩියෝ ගේම් ගහන්න ඉඩ දුන්නේ නැහැ.

“පුතා වටේ පරිසරේ ලස්සන බලන්න. ඉක්මනින් ඕක නවත්වන්න” කියල කෙලින්ම කියනවා. මෙයට පුතාල දෙන්න සමහර වෙලාවට විරෝධය පානවා. නමුත් පරිසරේ ඇත්තටම ලස්සන නිසා ඔවුන් එහි ආශ්වාදය විඳිනවා.

ඔවුන් මෙතරම් දක්ෂ වුනේ ඔවුන් පුංචිම කාලෙත් ගොඩක් ක්‍රියාකාරකම් කරන්න ඉඩ දුන්න නිසා. තාරික මුහුදු වැලි ගෙනත් පෙට්ටියකට දාල හෝදලා වේලුවා. ඉන් පස්සේ පිටුපස මිදුලේ ගොඩ ගැසුවා. දෙන්න පොඩි කාලේ මේ වැලි ගොඩේ තරඟෙට වැලි අනනවා. සමුදී හිනා වෙලා බලාගෙන ඉන්නවා. පොල් කටු අරගෙන වතුර බෝතල් වලට පුරවනවා. මෙයින් ඔවුනගේ මොලේ වර්ධනය වන බව නොදන්නා එහා ගෙදර කට්ටිය සමුදිටයි තාරිකටයි බනිනවා දරුවෝ ජරාවට ඉන්න දෙනවා කියල.

පරිසරයට නිතරම නිරාවරණය වුන මේ දරුවෝ දෙන්නාට ලෙඩත් ගොඩක් හැදෙනවා අඩුයි. මොන්ටිසෝරියේ බොහෝ දරුවෝ ලෙඩ වෙද්දී මේ දෙන්න ලෙඩ වුනේ කලාතුරකින්. ස්වභාවික පරිසරේ කුණු, දූවිලි අතගාන එක සහ බල්ලා ඩොජර් ගේ කෙල ගෑවෙන එක තමයි මූලික හේතුව කියල සමුදී හිතුවේ. බල්ලෙක් ඉද්දි කොහොමත් දරුවෙක් කායිකව වගේම මානසිකවත් ශක්තිමත් වෙනවා.

බල්ලාගේ විෂබීජ වලට නිරාවරණය වෙලා ස්වභාවික ප්‍රතිශක්තිය හැදෙනවා. ඒ වගේමයි බල්ලාගේ ආදරය සහ හුරතලේ නිසා දරුවන්ගේ මොලේ වර්ධනය ශීග්‍ර වෙනවා. මේ හැමදේම සමුදී ඉගෙන ගත්තේ අහම්බෙන් නොවෙන බව තාරික දන්නවා. ගර්භනී වුන විගසම සමුදී කලේ තාරික ලවා Amazon වෙබ් අඩවියෙන් දරුවෝ හදා ගැනීම ගැන පොත් පත් ගෙන්වාගෙන කියවපු එකයි. ඒ ගැන හොඳ අවබෝධයක් ඇතුවම දරුවෝ බිහි කිරීම හැමදේම සුදුසු විදිහට කරන ඇයගේ බලාපොරොත්තුව වුනා.

පුතාල ගැන කල්පනා කරමින් පැමිණි ඇය ඔවුන්ව කිසියම් ක්‍රීඩාවකට යොමුකළ යුතු බවට තීරණය කළා. ඒ එක්කම විටින් විට ඇගේ හදවත දයාන්ගෙන් නපුරක් වෙයිද කියන කම්පනයෙන් සැලුනා. නමුත් දරුවෝ ඉදිරියේ ඒ ගැන කියන්න බැරි නිසා කට වසාගෙන හිටියා.

පුතාල බස්සලා ඇගේ කාර්යාලය වෙත එද්දී ඇගේ දෙනෙත් වෙනදාට වඩා වේගයෙන් ඇසිපිය ගසන බවත් එහි තේරුම ඇය ඉන්නේ කලබලෙන් බවත් තාරික තේරුම් ගත්තා.

“ පවු හොඳටම බය වෙලා” ඔහුගේ හිත පිරී ගියේ බිරිඳ ගැන පුදුමාකාර අනුකම්පාවකින්.

ගෙදරට උපයන්න තමා සමග හරි හරියට උරදෙන ඇය , තමාගේ ජීවිතේ කුස්සිය මුල්ලට සීමා කරන්න කොයිම මොහොතකවත් කැමති නැහැ. ගැහැණියක වශයෙන් ඇය හරිම සවාධීනයි. ඒ වගේම කාර්යක්ෂමයි.

නමුත් ඇගේ මේ වුර්තීය නිපුණතාවයට දැන් වැදී ඇත්තේ මාරු පහරක්. මොනවා උනත් තමාගේ ආත්ම ගෞරවය කෙලෙසෙන විදිහට වැඩ කරන්න සමුදී කැමති වුනේ නැහැ.

කාර් එක නවත්තපු තාරික ඇයව සිප ගද්දි මොහොතක් තුරුල් කරගෙන හිටියා. ඇගේ හිස අතගාල “ සුදු අම්මි. මොනවා හරි වුනොත් අදම රෙසිග්නේෂන් දීල එන්න. මම අපි වෙනුවෙන්නෙ මෙච්චර මහන්සි වෙන්නේ…..කියල ආදරෙන් ඇගේ හිත සැනසුවා.

ඇය සාරියේ පොට හදමින් බැහැල ගියේ මහා දිරියක් හිතට අරගෙනයි.

“මේ යකාගේ දත් ටික ගැලවෙන්න දෙකක් දෙන්න විදිහක් නැහැනේ. මගේ අහිංසක කෙල්ල විඳවන දුකට” ඒ අතරේ තාරික කල්පනා කළා. ඔහු දැන් කොල්ලෙක් නෙවෙයි. හතලිහට කිට්ටු තාත්තෙක්. ඉස්සර වගේ ගුටි බැට වලින් අතින් පයින් මේ ප්‍රශ්න විසදන්න බැහැ කියල ඔහු දන්නවා.

සමහර විට මේ ප්‍රශ්නේ නැවත එන්නේ නැති වේවි. මොකක් උනත් මම අද පැයෙන් පැයට අම්මිට කතා කරලා බලනවා. ඔහු කල්පනා කළා.

SHARE

NO COMMENTS