විවාහ ජීවිතය අසාර්ථක වීමට හේතුවන පිරිමින් කරන වැරදි 11 ක් – 1 කොටස

විවාහ ජීවිතයකදී බිරිඳ සහ සැමියා යන දෙදෙනාටම සිය විවාහ ජීවිතය පිලිබඳ වගකීමක් ඇත. දෙදෙනාම තමන්ගේ වගකීම් නිසියාකාරයෙන් ඉටු කරන්නේ නම් ගැටළු ඇති වීම බොහෝ දුරට වළක්වා ගත හැක. පහත දැක්වෙනුයේ විවාහ ජීවිතය අසාර්ථක වීමට හේතුවන පිරිමින් අතින් සිදුවන වැරදි කිහිපයකි. ඔබේ විවාහ ජීවිතයේත් මෙවන් දේ සිදු වනවා නම් අදම ඒ පිලිබඳ විමසිලිමත් වී ඔබේ විවාහ ජීවිතය ආරක්ෂා කර ගන්න.

fb- like-beg


01) බිරිඳව තනි කිරීම

විවාහ ජීවිතය විනාශ වීමට බලපාන ප්‍රධාන හේතුවක් ලෙස සැමියා විසින් තම බිරිඳව තනි කිරීම සඳහන් කළ හැක. මෙයින් අදහස් වන්නේ බිරිඳව හැර යාම නොවේ. සැමියා දවස පුරාම රාජකාරී කටයුතු වල නිරත වී සවසට යහළුවන් සමග එක වී වෙහෙස නිවා ගන්නට යැයි කියා මධුවිත ද පානය කර නිවසට පැමිණෙයි. එවිට ඔහුට බිරිඳ ගැන හෝ දරුවන් ගැන විමසීමට තරම් මතකයක් නැත. දවස පුරාම සිය සැමියා නිවසට පැමිණෙන තුරු මග බලා සිටිනා බිරිඳ මෙයින් දැඩි ලෙස පීඩනයට පත් වේ. එමෙන්ම සති අන්තයේ දෙදෙනාම නිවසේ සිටින දිනෙක පවා නිවස අපිළිවෙල බව කියමින් හෝ බිරිඳ අතින් යමක් මගහැරී ඇති බව කියමින් දෙදෙනා රණ්ඩු වෙයි. එවිට සැමියා නිවසින් පිටවී ගොස් නැවත පැය ගණනකට නිවසට නොපැමිණෙයි. බොහෝ ආරවුල් වලදී මෙලෙස නිවසින් පිටවී යන්නේ පිරිමි පාර්ශවයයි. එවිට බිරිඳ තනි වේ.

සිය සැමියා තම වෙනුවෙන් නැති බව බිරිඳට දැනීම ඇයව දැඩි මානසික ආතතියකට ලක් කරයි. ඇයට ද වෙනත් යහළුවන් සහ රැකියාවක් තිබෙන බව සැබෑය. එහෙත් ඇයට අවශ්‍ය වන්නේ ඔබ සමග කාලය ගත කිරීමටයි. ඇය සිය රැකියාව ද කරමින් දරුවන්ගේ කටයුතු ද සිදු කරමින් පවුලේ වැඩි වැඩ කොටසක් සිදු කරයි. මේ සියල්ල අතර ඇයට සතුටක් සැනසීමක් දැනෙන්නේ ඇය ආදරය කරන පුද්ගලයා සමග කාලය ගත කිරීමෙනි. ඇගේ දුක සැප පැවසීමටත් ඇගේ ගැටළු පිලිබඳ සාකච්ඡා කිරීමටත් ඇයට අවශ්‍ය වන්නේ ඇගේ සැමියාය. ඇය එතරම් අගය කරන පුද්ගලයා විසින්ම අයව තනිකර දමා ඇතැයි ඇයට හැඟීමෙන් ඇය වේදනාවට පත් වේ. මෙවන් අවස්තාවක ඇය ද සිය සැමියාට මානසිකව ප්‍රතිචාර දක්වයි. වචනයෙන් ඔහුට ප්‍රහාර එල්ල කරයි. ඔහුගේ අවධානය ගැනීමට විවිධ දේ සිදු කරයි.

බොහෝ විට මෙවන් අවස්ථාවල ද සැමියා බිරිඳගේ වැරදි ඉස්මතු කරයි. ඇය යම් වැරදි කර තිබෙන්නට පිළිවන. එහෙත් එම වැරදි කිරීමට තරම් ඇයව අසරණ කළේ ද ඇගේ සැමියා මය. මෙය දෙදෙනා අතර විසඳිය නොහැකි තරම් ගැටළු ඇති වී ඔබේ විවාහ ජීවිතය පවා අවසන් වීමට ඉඩ සලසයි.


02) අවශ්‍ය තරම් ඇයට සමීප නොවීම

සිය සැමියා සමග සිටීමට, ඔහු හා කාලය ගත කිරීමට බිරිඳ දැඩි ආශාවක් දක්වයි. එහෙත් සැමියා ඇයට සමීප වන්නේ ඔහුට අවශ්‍ය වෙලාවට පමණක් නම් එය දෙදෙනා අතර ගැටළු ඇති කරයි. ඔහු තමාගේ නිදහස තබාගෙන තමාට අවශ්‍ය විට පමණක්, ඇයව ළඟට ගනී නම් ඇය දැඩි අසහනයට ලක් වේ. මෙයින් ඇය සිය සැමියාව සැක කිරීමට පවා පෙළඹේ. එයින් දෙදෙනා අතර ආරවුල් ඇති කරයි.

එනිසා බිරිඳ වෙනුවෙන් යම් කාලයක් වැය කරන්න. ඇගේ වැඩ කටයුතු පිළිබඳ විමසන්න, ඇයට ආදරෙන් කතා කරන්න. ඇගේ සැමියා ඇය වෙනුවෙන් සිටිනා බව ඇයට හඟවන්න. එවිට ඇය ද ඔබට ගරු කරාවි. සිය සැමියාව සතුටු කිරීමට සහ සිය පවුල් ජීවිතය රැක ගැනීමට ඇයට හැකි උපරිමයෙන් කටයුතු කරාවි.

නිරන්තරයෙන් සිය බිරිඳට සමීපව සිටීමෙන් පවුල් ජීවිතයේ ගැටළු රැසක් අවම කර ගත හැක. ඇයගේ දවස ගෙවුණු අයුරු හා ඇගේ ගැටළු පිලිබඳ විමසන්න. ඇගේ කටයුතු වලටද උදව් කරන්න. ඇයව පුදුම කරමින් නොසිතන වෙලාවක ඇයව සිප ගන්න. සැමියකුට සිය බිරිඳ වෙනුවෙන් කාලය වැය කළ හැකි නම් පවුල් ජීවිතය සාර්ථක වනු නොඅනුමානය.


03) ඔබේ පෞද්ගලික දේවල් අයගෙන් සැඟවීම

කාන්තාවන්ගේ ශරීරය, මනස මෙන්ම ආත්මය එකට බැඳී ඇත. එනිසා ඇයගේ හැඟීම් වලට වේදනාවක් ඇති වුවහොත් ඇගේ මුළු පද්ධතියම කඩා වැටේ. එහෙත් පිරිමි පාර්ශවයට මෙසේ නැත. ඔවුනට සිය ජීවිතයේ එක කොටසක යම් ගැටළුවක් ඇති වුවද අනෙක් සියල්ල ගැටලුවකින් තොරව සිදු කළ හැක. කාන්තාවකට සිය සැමියාගෙන් යම් අඩුවක් සිදු වූ විට ඇගේ අනෙක් කටයුතු ද නිසියාකාරව කර ගත නොහැකි වන්නේ එ නිසාවෙනි.

ඔබ ඔබේ ගැටළු, අපහසුතා ඇයගෙන් වසන් කිරීමට උත්සහ දරනවා ඇති. එහෙත් ඔබ ඒවා පැවසීමට කැමැත්තක් නොදක්වයි. මෙහිදී ඇයගෙන් කරුණු වසන් කිරීමට යාමෙන් නොදැනුවත්වම ඔබ ඇයගෙන් ඈත් වෙයි. එවිට ගැටළු මතු වෙයි. ඇය ඔබගෙන් ඒවා පිළිබඳ නිතර නිතර ප්‍රශ්න කිරීමෙන් ඔබටද ඇයව වදයක් විය හැකියි. ඇයට අවශ්‍ය වන්නේ ඔබට ඇති ගැටලුව දැන ගැනීමට සහ හැකි නම් උදව් කිරීමටයි. ඇයට එය විසඳිය නොහැකි වුවත් ඇය ඔබට හොඳින් සවන් දෙවි. එයින් ඔබේ සිතද සැහැල්ලු වේවි. එනිසා ඔබට ඇති ගැටළු ඔබේ බිරිඳගෙන් සැඟවීමෙන් වලකින්න. එවිට ඇයද අයට හැකි අයුරින් ඔබට උපකාර කරාවි.


04) නිතරම ඇයට උපදෙස් දීම

ඇය නිතරම ඔබට නොකීවත් බිරිඳක් ඇගේ සැමියාව ඇගේ ශක්තිය ලෙස සළකයි. දුකේදීත් සැපේදීත් ඇය සමග ඒ සියල්ල දරාගන්නට ඉන්නේ ඔහු බව ඇය විශ්වාස කරයි. ඇය යම් උදව්වක් බලාපොරොත්තුවෙන් ඔබ වෙතට එන්නේ ඔබ එය හොඳින් විසඳාවි යන බලාපොරොත්තුව ඇතිවයි.

මෙවන් අවස්ථාවල ඇය කිසිත් නොදන්නා අයෙකු යයි සළකා උපදෙස් දීමට යාමෙන් වලකින්න. එයින් ඇය කනස්සල්ලට පත් විය හැකියි. ඇතැම්විට ඇයට ඇහුම්කන් දීම පමණක් ප්‍රමාණවත්. ඇයට විසඳුමක් අවශ්‍යද නැතිනම් ඇහුම්කන් දීම පමණක් ප්‍රමාණවත්ද යන්න ඔබට ඇයගෙන් පළමුව විමසීමට වුවද පුළුවන්. ඇයට හොඳින් ඇහුම්කන් දෙන්න. ඔබ ඇයව හොඳින් අවබෝධ කරගත් බව අයට පෙන්වන්න. එයින් ඇය වඩා සතුටට පත් වේවි.


මෙම ලිපියේ දෙවන කොටස සදහා :-

විවාහ ජීවිතය අසාර්ථක වීමට හේතුවන පිරිමින් කරන වැරදි 11 ක් – 2 කොටස


මෙම ලිපියේ තෙවන කොටස සදහා :-

විවාහ ජීවිතය අසාර්ථක වීමට හේතුවන පිරිමින් කරන වැරදි 11 ක් – 3 කොටස

SHARE

NO COMMENTS