“ජීවිතේ මේ වගෙයි.” – 17 කොටස

සමුදිගේ වයස 34 ක්. ඇය පුද්ගලික අංශයේ විධායක නිලධාරිනියක්. ඇය විවාහ වෙලා ඉන්නේ තාරික එක්ක. තාරික කියන්නේ නැවු සමාගමක විධායක රැකියාවක් කරන කෙනෙක්. ඔවුන් විවාහ වුනේ විශ්ව විද්යාලේදී දැන හඳුනා ගෙන. නිමුන් දරුවෝ වෙච්ච විහස් හා විමාශ තමයි ඇගේ පුත්තු දෙන්නා. මෙන්න මෙහෙමයි ඇගේ ජීවිතය ගත වෙන්නේ.

සතිපතා කොටස් වශයෙන් පලවන කථාව

fb- like-beg


අපේ කාලේ දියණියකගේ කථාවක් – 17 කොටස

කාර් එකෙන් බැහැපු සමුදී වෙනදා වගේම තමන්ගේ අසුන කරා යනවා. ඇය නම් උදේම ආහාර ගැනීම ඉවර කරලා ගෙදරින් එන නිසා කන තැන නාස්ති කරන්න වෙලාවක් නැහැ. අනික් අය කාල , විහිලු තහළු කරලා වැඩට එද්දී නවයත් පහු වෙලා. ඒ වෙද්දී සමුදී දවස සැලසුම් කරගෙන. බර වැඩ කීපෙකට ඔළුව යොදවද්දී ඇගේ සහායකයෝ හතර දෙනාම ඇය ලඟට ආව. සුපුරුදු විදිහට දවසේ වැඩ කතා කරන්න.

ඇය ඉන්නේ මොකක් හරි ප්‍රශ්නෙකනේ කියල කුඩා තාරිකා සිතුවා. මේ ගැන විපරම් කරන්න හැදුවත් සමුදී මෙවැනි ලාබාල ළමයෙක් එක්ක තමන්ගේ ජීවිතේ ලොකු ගැටළුවක් කතා කිරීම කරන්න ගියේ නැහැ. තමාගේ ප්‍රධානියාට සහ තමාට යන දෙන්නටම මේ සිද්ධිය පැතිරුනොත් වෙන නරක නාමය ඇයට වැටහුනා.

“මගේ ඔලුව රිදෙනවා. ඔයා ඉක්මනින් ගිහින් මේ වඩේ ඉවර කරන්න “ කියලා තදින් කිවුවා.

දවල් 11 වෙද්දී ඇගේ හිත තරමක් නිමිලයි තිබ්බේ. නමුත් ඇගේ ප්‍රධානියා නන්දසේන මහත්තයා ඇවිත් කියපු දෙයින් ඇගේ හිත කීරි ගැහුණා. නන්දසේන මහත්තයත් බොහොම පීඩනෙන් හිටියේ.

දයාන් තිලකරත්න වහාම ක්‍රියාත්මක වෙන විදිහට සමුදිට ඔහු වැඩ කරන කාර්යාලයට මාරුවක් හදලා. මේක අහපු ගමන් එක පාරටම සමුදිගේ සිත පිස්සුවෙන් වගේ වැඩ කරන්න ගත්තා. මොහොතක් තමන්ගේ ඩෙස්ක් එකේ මුහුණ ඔබා ගත්තු ඇය කල්පනාවට වැටුනා.

“මේ වගේ අමාරු වෙලාවල් කියන්නේ අපි හොඳටම ශාන්තව ඉන්න ඕනේ වෙලාවල්”
ඇය තමාටම මිමිණුවා. මේ ගැන තාරිකට කියල ඔහු කලබල කරවන්න ඇය කැමති වුනේ නැහැ.

“ මම ගොඩක් ඉවසුවා. මේකත් අන්තිම මොහොත වෙනකන් ඉවසනවා. දයාන්ට පුළුවන් මට හිරිහැර කරන්න නමුත් ඔහුට බැහැ මගේ දක්ෂකම හොරා ගන්න. නැත්නම් මගේ ගෞරවය කෙළෙසන්න”

කෝපය නිවෙනකම් ඇය තේ කෝප්පයක් තොල ගෑවා. ඉන් ඉක්බිතිව තමාගේ අස්වීමේ ලිපිය පරිස්සමෙන් ලිවුවා. ලියල නන්දසේන මහත්මයට ඊ මේල් කළා. ඉතුරු වැඩ ටික ශාන්තව කරන්න පටන් ගත්තා.

කරපු දුෂ්ට කමෙන් උපරිම තෘප්තියෙන් හිනා වෙවී හිටපු දයාන් තිලකරත්න බලාපොරොත්තු වුනේ සමුදී හෙට සිට තමාගේ කාර්යාලයට ඒවි කියලයි. ඔහු ඇයට වෙනම කාමරයක්, වැඩි වැටුපක් සහ උසස් වීමක් දෙන්න තීරණය කළා.

“ ගොඩක් සතුටු වෙයි. පඩිය දෙගුනයක්ම වැඩි කරාම. ඉතින් දැන් තඩියට අහු නොවී කෙල්ල මගේම කරගන්න පුළුවන්”

“හොඳයි කෙල්ල එහෙම ඉන්න ඕනේ කිවුවොත්? එහෙම නම් මගේ ඔෆිස් එකට එයිනේ අඩාගෙන පත්වීම අවලංගු කරන්න කියලා. එතකොට මම බලාගන්නම්කො.”

ඔහු නැවතත් හිනා වුනා.

“කොහෙද අර නන්දසේනයා එක්ක බැහැනේ. මේ යකා මේ කෙල්ලට උදැල්ල දාගෙන ඉන්නේ හරියට තාත්තා වගේ. නැත්නම් මේ වෙද්දීත් මේ වැඩේ හරි. ඕකට කොහොම හරි ගේමක් දෙන්න ඕනේ. ඔහුගේ හිතට නැගුනේ තදම තරහක්.

මේ අතරේ නන්දසේන මහත්මයා සමුදී එවපු ඊ මේල් එක දයාන් තිලකරත්නට එවුවා. අනපේක්ෂිත ප්‍රතිපලයෙන් පොලු පාර කාපු නාගයෙක් වගේ කිපුණ ඔහු වහාම සමුදිගේ කාර්යාලයට යන්න වාහනයට නැග්ගා.

දයාන් ආවොත් එහෙම තමාට කියන්න කියල ඇය කාර්යාල කාර්ය සහයක කෙනෙක්ට කියලයි තිබ්බේ. වාසනාවට ඔහු පළමු මහලෙන් බහිද්දිම ඇයට දුරකතනයෙන් දන්වන්න මේ මනුස්සය කාරුණික වුනා.

ඔහු සමුදිට මෙතරම් ලෙන්ගතු ඔහුගේ දුවගේ ආබධයකදී වෛද්‍ය වරයෙක් වුන සමුදිගේ ලොකු අයියා ලවා නොමිලේම මේ දරුවට සියලුම ප්‍රතිකාර කරවලා දුන්න නිසයි.

වහාම ක්‍රියාත්මක වුන ඇය තමන්ගේ ජංගම දුරකතනයේ වීඩියෝ එක ක්‍රියාත්මක කරලා දොර පැත්තට තමාව අහු වෙන්න අටවලා වැඩක් කරනවා වගේ පෙන්වමින් වාඩි වෙලා හිටියා.

වේගයෙන් දයාන් එද්දී ඇය හරිම අහිංසක විදිහට පුටුවේ වාඩි වෙලා වැඩ. ඔහු එද්දී පපුව ගැහුනත් ඉතාම විනීත ලෙස ආචාර කරපු ඇය ඔහුට කිසිම අමුත්තක් පෙන්නුවේ නැහැ.

“මොකද ඔයා අස් වෙන්නේ?”

“පුද්ගලික හේතුවකට සර් “ ඇය සාමාන්‍ය විදිහට උත්තර දුන්නා.

“හොඳයි. හැබැයි මම අකමැති විදිහට මෙහෙන් යන අයට කොහෙවත් වැඩ කරන්න මම තියන්නේ නැහැ. ඒක අමතක කරන්න එපා. මම කැමති විදිහට වැඩ කරොත් නම් හැමදේම ලබන්න පුළුවන්. “

“ඔයාව අදම….. මේ දැන්ම උනත් එලවන්න මට පුළුවන්. අස් වුනත් සර්විස් ලෙටර්ස් දෙන්නේ නැතුව ඉන්නත් පුළුවන්. වැඩ කරන හැම තැනටම ඔයා ගැන නරක කියන්නත් පුළුවන්.

“ඒ නිසා ළමයෝ හොඳම දේ මාරු වීම අරගෙන මෙහෙ ඉන්න එකයි. මම ඔයාට හොඳට සලකනවනේ. සැක කරන්න එපා. හෙටම උසස් වීම් සහ වැටුප් ලිපිය හදලා එවයි ඔයාට.”

සමුදිගේ දෙනෙතින් කඳුළු රූරා වැටුනා. තාරිකගේ ආදරණීය මුහුණ. තමා විශ්ව විද්‍යාලයේ උගත් සමයේ ගත් අසීමිත වෙහෙස. නිවුන් දරුවෝ බඩේ තියාගෙන මේ කාර්යාලයේ ගෙවපු රාත්‍රීන්……..මේ සියල්ලම එක වනචරයෙක්ගේ ලෑජ්ජා නැති කම නිසා ඇගේ දෙනෙත් ඉස්සරහ බිඳෙන්න යන්නේ.

කඳුළු දැක්ක දයාන් හිතුවා ඇය බය වුනා කියලා. ඔහුගේ පළපුරුදු මුහුණේ දුෂ්ට හිනාවක් මතු වුනා.

“ ගෑනියෙක් නෙවෙයි. යකෙක්… මෙහෙම යක්කු මෙල්ල කරද්දී පොඩි ජොලියක් තියනවා. ඇඟේ එල්ලෙන්න එන ගැනුන්ගේ කිසිම ගතියක් නැහැ “ සිතමින් ඔහු තොල කට ලෙව කෑවා….”

එහෙනම් කිරිල්ලි අන්තිමේ අහු වුනා හිතපු ඔහු පුටුවෙන් නැගිට්ටේ සමුදී වෙතට යන්න. ඇය සනසන්න හොඳම මොහොත මේකයි කියල ඔහුගේ හිත ඔහුට කීව.

( ලබන සතියට)…

SHARE

NO COMMENTS