විවාහ ජීවිතය අසාර්ථක වීමට හේතුවන පිරිමින් කරන වැරදි 11 ක් – 3 කොටස

විවාහ ජීවිතයකදී බිරිඳ සහ සැමියා යන දෙදෙනාටම සිය විවාහ ජීවිතය පිලිබඳ වගකීමක් ඇත. දෙදෙනාම තමන්ගේ වගකීම් නිසියාකාරයෙන් ඉටු කරන්නේ නම් ගැටළු ඇති වීම බොහෝ දුරට වළක්වා ගත හැක. පහත දැක්වෙනුයේ විවාහ ජීවිතය අසාර්ථක වීමට හේතුවන පිරිමින් අතින් සිදුවන වැරදි කිහිපයකි. ඔබේ විවාහ ජීවිතයේත් මෙවන් දේ සිදු වනවා නම් අදම ඒ පිලිබඳ විමසිලිමත් වී ඔබේ විවාහ ජීවිතය ආරක්ෂා කර ගන්න.

fb- like-beg


08) ලිංගික සම්බන්ධතාවය විහිලුවට ලක් කිරීම.

ලිංගික ක්‍රියාවලිය යනු දෙදෙනෙකු තවත් සමීප කරන්නාවූ, පවුල් ජීවිතය පවත්වාගෙන යන්නා වූ ක්‍රියාවලියකි. එහිදී ඔබ ඔබේ බිරිඳව විහිලුවට ලක් කරන්නේ නම් එය බරපතල වරදකි. ඔබ ඔබට අවශ්‍ය විට පමණක් ඒ සඳහා යොමු වීම ද සුදුසු නැත. ඔබ ඇයගේ අවශ්‍යතා නොසලකා හරිමින් විහිලුවට ලක් කරන්නේ නම් ඇය ලිංගික ක්‍රියාවලිය පිලිබඳ කලකිරීමට පත් වේ.

ලිංගික ක්‍රියාවලිය යනු ඔබ දෙදෙනාව ම සතුටින් තබන ඔබේ බැඳීම ශක්තිමත් කරන්නක් විය යුතුය. එමෙන් ම එහිදී ඔබ ඉක්මන් වී ක්ෂණිකව ඒ සඳහා යොමු වීම සුදුසු නැත. ඔබේ බිරිඳට ද සිතීමට කාලයක් ලබා දෙන්න. උදෑසන ඇයව සිප ගනිමින් ඇය කෙරෙහි ආදරණීය වන්න. ඇය ලස්සන බව අයට පවසන්න. ගැහැනියකට කිසිදා තමා ලස්සන බව ඇසීම එපා වන්නේ නැත. දවසේ ඇයගේ කටයුතු සඳහා ද උදව් වන්න. ඇයගේ මානසික තත්ත්වය පිළිබඳව ද සැලකිලිමත වන්න. ඇය සතුටින් නම් ඇයත් ඒ සඳහා සුදානම් එවිට කිසිදු ගැටළුවක් ඇති නොවේ.


09) නිතර කේන්ති ගනිමින් තමාවම පාලනයෙන් තොර වීම

යම් ගැටළුවක් ඇති වූ විට කාන්තාවන්ට අවශ්‍ය වන්නේ කතාබස් කොට එය විසඳා ගැනීමටයි. එහෙත් පිරිමින්ට අවශ්‍ය වනුයේ සැමගෙන් වසන් වී තනිව එයට විසඳුම් සෙවීමටයි. ඔබට කාර්යාලයේ හෝ මුදල් සම්බන්ධව හෝ වෙනත් ගැටළුවක් හෝ ඇති විට ඔබ ඒ සියල්ල බිරිඳගෙන් සඟවා සම්පුර්ණයෙන්ම ඇයගෙන් ඈත් වෙයි. බොහෝ විට මානසික පීඩනය නිසා නිතර කේන්ති ගනියි. හේතු විරහිතව අයට බැන වදියි. එයින් ඔබේ බිරිඳ බියටත් පසුතැවීමටත් ලක් වේ. ඇයව ප්‍රතික්ෂේප කල බවක් ඇයට දැනේ.

ඔබ ඇය සමග කතා බහ නොකරන විට ඔබ ඇයට ආදරය නොකරන බව ඇය සිතයි. ඇය ඔබේ ගැටලුව හඳුනාගැනීමට උත්සහ දැරීමෙන් තවදුරටත් ගැටළු ඇති විය හැක. ඇයට අවශ්‍ය වනුයේ ඔබ ඇයව විශ්වාස කර සියල්ල පවසන බව දෑනීමටයි. ඔබ එය ප්‍රතික්ෂේප කිරීමෙන් ඔබේ ගැටලුව ඇය බව ඇය සිතයි. එවිට ඇය තවදුරටත් මානසික වශයෙන් ද පීඩනයට පත් වේ. එනිසා මෙවැනි ගැටළු ඇති වීම වළක්වා ගැනීම සඳහා ඔබේ බිරිඳ සමග ඔබේ ගැටළු පවා සාකච්ඡා කිරීම අත්‍යවශ්‍ය වේ. මින් පසු ඔබ ඔබේ බිරිඳව විශ්වාස කරන බවත් ඇගෙන් කිසිවක් නොසඟවන බවත් ඇයට අවබෝධ වන ලෙස කටයුතු කරන්න. එවිට ඔබ දෙදෙනා අතර ගැටළු අවම වේවි.


10) තමාගේ කටයුතු පිලිබඳ වගකීම භාර නොගැනීම

බොහෝ සම්බන්ධතාවලදී පිරිමින් තමා අතින් සිදු වන වැරදි භාර ගැනීමට මැලි කමක් දක්වයි. බොහෝ විට ඔවුන් සිදු කරනුයේ තමාගේ වැරදි පවා සිය බිරිඳ පිට පැටවීමයි. මෙය පිරිමින් සිදු කරන බරපතල වරදකි. “එයාගේ වැඩේ අඬන එකමයි. ඒකයි මම බොන්නේ, එයා මාව උනන්දු කරන්නේ නැහැ. එනිසා මට හොඳට වැඩ කර ගන්න බැහැ. එයා මන් ගැන හොයලා බලන්නේ නැහැ. එකයි මම එයාව රවට්ටන්නේ.” මෙවැනි නිදහසට කරුණු බොහොමයක් පිරිමින්ගෙන් ඇසිය හැකියි. එහෙත් ඔවුන් සිය දුර්වලකම් වසන් කිරීමට මෙය සිදු කරයි. සැබවින්ම ඔබේ බිරිඳ අතින් මෙවන් දේ සිදු වුව ද ඔබ කළ යුත්තේ ඒ පිළිබඳ ඇය සමග සාකච්ඡා කර ඒවා විසඳා ගැනීම විනා තවත් ගැටළු ඇති කර ගැනීම නොවේ. එනිසා පිරිමින් වශයෙන් ඔබ ඔබගේ සියලුම ක්‍රියා වල වගකීම ගත යුතුය. ඔබ යමක් කරන්නේ ද නොකරන්නේ ද, ඔබ මත්පැන් පානය කරන්නේ ද ඒ සියල්ලේ වගකීම ඔබ දැරිය යුතුය. ඒ වෙනුවට ඔබේ බිරිඳට නිකරුනේ චෝදනා කිරීමෙන් ඔබට කිසිදා සාර්ථක පවුල් ජීවිතයක් ගත කළ නොහැකිය.


11) වැරදි කාන්තාව තෝරා ගැනීම

ඔබ ඔබට හරියට ම ගැලපෙන නිවැරදි කාන්තාව තෝරා ගන්නේ නම් විවාහ ජීවිතයේ ගැටළු ඇති වීම බොහෝ දුරට අවම වේ. බොහෝ පිරිමින් කරන වරදක් වනුයේ යම් කරදරයකදී තමා උදව් කරනු ලබන කාන්තාවක් පසුව සිය බිරිඳ කර ගැනීමයි. එහෙත් එය සුදුසු නැත. එමෙන්ම බොහෝ විට විවාහයෙන් පසු ගැටළු විසදෙවි යැයි සිතා ද බොහෝ දෙනා වැරදි කෙනා සමග විවාහ වේ. එහෙත් විවාහයට පෙර මෙන්ම පසු ද ඔබ සිටින්නේ එකම කෙනා සමගය. එනිසා එහි වෙනසක් සිදු නොවේ. ඔබ විවාහයට පෙර ඔබ ආදරය කරන කාන්තාවගේ සියලු ගැටළු විසඳමින් අසීරු තත්වයන් වලින් මුදවා ගනිමින් ඇයට උපකාර කර සිත් දිනාගෙන ඉන් පසු ඇයව විවාහ කරගත් පසු ඇය මේ සියල්ල තනිවම කර ගනීවි යයි බලාපොරොත්තු වේ නම් එය වැරදිය.

ඔබට සාර්ථක හා ආදරණීය බිරිඳක් අවශ්‍ය නම් ඔබ ඔබේ පෙම්වතිය කරගත යුත්තේ ද ඔබට ගැලපෙන සාර්ථක කාන්තාවකි. ඉන් පසු විවාහ වී ඇයට ආදරයෙන් හා ගෞරවයෙන් සලකන්නේ නම් ඔබට ද ඇයගෙන් ආදරය හා ගෞරවය නිසැකවම ලැබේ.


ඉහත දැක්වූ කරුණු සැලකිල්ලට ගනිමින් ඔබේ වැරදි අඩු කර ගතහොත් ඔබට සාර්ථක හා ප්‍රීතිමත් පවුල් ජීවිතයක් නිසැකවම ලැබෙනු ඇත.


මෙම ලිපියේ පළමු කොටස සදහා :-

විවාහ ජීවිතය අසාර්ථක වීමට හේතුවන පිරිමින් කරන වැරදි 11 ක් – 1 කොටස


මෙම ලිපියේ දෙවන කොටස සදහා :-

විවාහ ජීවිතය අසාර්ථක වීමට හේතුවන පිරිමින් කරන වැරදි 11 ක් – 2 කොටස

SHARE

NO COMMENTS