“ජීවිතේ මේ වගෙයි.” – 18 කොටස

සමුදිගේ වයස 34 ක්. ඇය පුද්ගලික අංශයේ විධායක නිලධාරිනියක්. ඇය විවාහ වෙලා ඉන්නේ තාරික එක්ක. තාරික කියන්නේ නැවු සමාගමක විධායක රැකියාවක් කරන කෙනෙක්. ඔවුන් විවාහ වුනේ විශ්ව විද්යාලේදී දැන හඳුනා ගෙන. නිමුන් දරුවෝ වෙච්ච විහස් හා විමාශ තමයි ඇගේ පුත්තු දෙන්නා. මෙන්න මෙහෙමයි ඇගේ ජීවිතය ගත වෙන්නේ.

සතිපතා කොටස් වශයෙන් පලවන කථාව

fb- like-beg


අපේ කාලේ දියණියකගේ කථාවක් – 18 කොටස

ඉකිය මැඩගන්න සමුදී මොහොතකට මේසයේ හිස ගසා ගත්තා. ඒ ඇසිල්ලෙන් දයාන් වහාම ඇය වෙතට ආව. සාරියේ හැට්ටෙන් කැපිල පෙනෙන ඇගේ සුන්දර දේහයත් , කැරලි ගැසුන දිග කේස් වැටිය ඔඩොක්කුව දක්වා වැටිලා තිබුන විදිහත් දයාන්ගේ හිත කුල්මත් කළා.

වහාම ඇය සනසවන්න ඇගේ සාරි හැට්ටයේ කපා ඇති කර උඩින් ඔහුගේ අත තිබ්බා.

“ඉතින් දැන් කඳුළු පිහ ගන්න “ කියල කියද්දීම සිදුවුනේ අනපේක්ෂිත දෙයක්. තමන්ගේ ශරීරය ස්පර්ශ කරපු එකේ තරහට සැපින්නක් වගේ කිපුණ සමුදී වහාම ඔහුගේ කම්මුලට ගැහුවා.

විදුලියක් ගැහුවා වගේ වැදුන සැර පහරින් දයාන් පසුබා ගියා. සිදු වුන දේ ගැන ඔහුට හිතා ගන්න බැරි වුනා. ඇත්තටම සමුදී කියන්නේ පාසල් කාලේ කරාටි සහ කැඩෙට් කරපු තරුණියක්. නිතර කායික අභ්‍යාස වල යෙදෙන ඇය හරිම ශක්තිමත්.

ඇසින් පනින ගිනි නිවුන ගමන් දයාන් ඇයට හයියෙන් බැන වැදුනා.

“උඹ අදින් ඉවරයි කියල හිතා ගනින් සමුදී අලහකෝන්……..” තර්ජනාත්මකව ඇඟිල්ල දිගු කරපු ඔහු කාමරයේ දොර ගසාගෙන එයින් පිට වුනා.

කරන්න දෙයක් නැහැ. බලාපොරොත්තු නැති දෙයක් වුනේ. නමුත් ඇය වහාම සේරම බඩු ඇගේ බෑගයට දමා ගත්තා.

කාමරයේ දොර ලොක් කරලා නන්දසේන මහත්මයා ඉන්න මහලට ඉක්මනින් දිවුවා. ලිෆ්ට් එකේ ඉන්න විනාඩි කීපෙ ඇයට දැනුනේ අනන්තයක් වගේ.

හැකි ඉක්මනින් ඔහුට සිදු වුන දේ කියපු ඇය කාමරයේ යතුර භාර කළා. ඇය කරමින් සිටි වැඩ සේරම ඔහු දන්නවා. නමුත් ඒ සියල්ලම තමාට හිරිහැරයක් නොවෙන ලෙස වහාම පිළියෙළ කරන්න කියල ඔහුගෙන් ඉල්ලුවා. ඒ එක්කම අසනීප බව දන්වලා නිවාඩු කොළ අරගෙන වහාම HR එකට දෙන්න කියල ඔහු ඇයට කීවේ තමන්ගේ ප්‍රධානියා නීතිය පැත්තෙන් සමුදිව හිර කරන්න හැදුවොත් ගන්න ඉදිරි පියවරක් ලෙසයි.

ඉක්බිති ඇය වහාම පාරට දුවල එන ත්‍රී වීල් එකකට අත දාල නැග ගත්තා. වහාම තාරිකගේ කාර්යාලය වෙතට පදවන්න කියල අන කළා.

තාරික ට හදිස්සියේ සමුදී ඇවිත් කියල දන්වද්දී ඔහු හිටියේ වැඩක. නමුත් ඇය කවදාවත් නිකරුනේ නොඑන නිසා ඔහු කලබල වුනා. ඔහු වහාම එලියට දුවගෙන ආව. කාර්යාලයේ කට්ටිය දකියි කියල මොකුත් කියන්න බැහැ.

ඇය ගැහෙනවා. මොකක් හරි වෙලා කියන සිතුවිල්ල තාරිකට ඇති වුනා. ඔහු වහාම බෝඩ් රූම් එකට ඇය එක්කගෙන ගියා. ආරක්‍ෂිත බව…තමා දැන් ඔහු ළඟ බව වැටහුන ඇය එක පිම්මට තාරිකගේ පපුවේ සිය හිස හංගා ගත්තා. මෙතෙක් වෙලා හංගගෙන හිටපු කඳුළු ගංගාවක් වෙලා තාරිකගේ සුදු පැහැති කමිසය තෙමුවා.

ඇගේ හිස කේස් අතරට ඇඟිලි තුඩු යවමින් හිස කෙළවරක් නැතුව සිප ගනිමින් ඔහු ඇගේ දුක නිවිලා යතා තත්වයට පත් වෙන තුරු වචනයක් වත් නොකියා හිටියා. අවසානයේ විනාඩි පහකට විතර පස්සේ ඇය හිස එසෙවුවා.

මේ ප්‍රශ්න මෙතන කතා කරන එක හරි නැහැ කියල හිතපු තාරික වහාම තමන්ගේ ප්‍රධානියා වෙතට ගිහින් ගෙදර යන්න අවසර පැතුවා. ඔවුන් දෙන්න කලින්ම පිටත් වුනා. තාරික දරුවෝ දෙන්නව ඩේ කෙයාර් එකෙන් අරගෙන රාත්‍රිය ගෙවන්න එහෙ ගෙනියන්න කියල සමුදිගේ පියාට කතා කරලා කිවුවා. ඔහු සතුටින් වැඩේ බාරගත් නිසා වාහන තදබදයට අහු නොවී දෙදෙනා ගෙදර ගියා.

වෙච්ච සේරම දේවල් මගදී සමුදී ඔහුට කීව. ඔහු ගොඩක් ආඩම්බර වුනා තමන්ගේ බිරිඳගේ ඇති ආත්ම ශක්තිය ගැන.

“හොඳම වැඩේ ඕකට ගැහුව එක. ඔහු ප්‍රමුදිත හිතෙන් හිනා වුනා. “

“ඒකත් එහෙනම් ඉවරයි නේද තාත්ති?” ඇය සන්සුන්ව සුසුමක් හෙලා ලය සැහැල්ලු කර ගත්තා.

“හැබැයි පැටියෝ ඕකා ඔතනින් නවතින්න් නැහැ. මම මේ කල්පනා කලේ ඒක. “

සිනාසුන සමුදිට ඒ වෙලාවේ තමයි වීඩියෝව මතක් වුනේ. ඇය වහාම ෆෝන් එක අරගෙන එය පරීක්ෂා කළා. තාරිකත් ඇගේ උරිස්සට උඩින් ඒක බැලුවා. තාරිකට නම් හිනාව නවත්තගන්න බැහැ.

ඔහු ඇඳේ පෙරලි පෙරලි හිනා වුනා. දැන් ඉතින් වරෙන්කෝ. …

සියලුම විස්තර තාරිකගෙන් දැන ගත්ත සමුදිගේ පියා එදා හවස දියණිය බලන්න ගෙදර ආවේ අම්මටවත් නොකියා. වයසට ගියත් ඔහුත් හිටියේ බොහොම තරහෙන්.

“ දෝනි මගේ දරුවෙක්ට මොකෙක් නමුත් හිංසා කරා නම් පස්ස බලන මිනිහෙක් නෙවෙයි මම. ඔයා රස්සාව දාල ආව එක හොඳයි. මගේ දුවට කරදරයක් කරන්න ආවොත් මම නිකන් අතහරින්නේ නැහැ පුතේ. “ කියමින් ඔහු ගේ පුරා ඇවිද්දා.

ඒ වගේම සමුදිව මේ විදිහට අයුක්තියට නැමෙන්නේ නැති තද කෙනෙක් ලෙස හදා වඩා ගන්න තමන් ලොකු කාර්යභාරයක් කළ බව ඔහු දන්නවා.

පාසලේදී උනත් කවුරුහරි ගැහුවොත් ගහන්න කියල තමයි ඔවුන් ඇයට ඉගැන්නුවේ. යන්තම් ලොකු වෙද්දී බස් වල යන්න ඇයට ඉගැන්නුවා. එහිදී කොයි විදිහක හරි ලිංගික අතවරයක් වුනා නම් පෙරලා පහර දෙන්න තමයි ඔවුන් කුඩා කළ සිට සමුදිට ඉගැන්නුවේ. ඒ අතරේ ඇයව කරාටි පන්ති යැවුවෙත් ඔහුමයි.

නීතියට සම්බන්ධ රැකියාවක් කළ ඔහු දැනගෙන හිටියා කාන්තාවන්ට පොදු සමාජයෙන් සිදු වෙන ලිංගික අතවර වලට කට වසා සිටීම වැරදි බව. ඒ නිසා මේවට විරුද්ධව නැගී හිටින විදිහට දුවෙක් හදන එක අද සමාජෙට වැදගත් බව ඔහු හැමෝටම කිවුවා.

ජීවිතේ දෙවෙනි වතාවට සමුදී නිසා ඇති වුන ආඩම්බරෙන් පියා ගේ දෙනෙත කඳුලින් පිරුනා. පළමු වතාව ඔහුගේ මනසට ඇදුනේ නිතැතින් මයි.

ඒ සමුදිගේ විවාහය දවසේ. ඇය වේල් පිටින් පිටවෙලා යද්දී වාදක කණ්ඩායම දුවේ නුඹ මගේ ප්‍රාණයයි ගීතය වාදනය කරද්දී කොතරම් තද කෙනෙක් උනත් ඔහුගේ ඇස් දෙකෙන් කඳුළු ගලනවා නවත්වන්න බැරි වුනා.

මම මලක් ලෙස නුඹ නොහැදුවේ – පෙති හැලී පරවෙන නිසාමයි
දුක දිනා හිනැහෙන හැටි ලොවේ- නුඹ දැන උගත් පාඩම තමයි
මිල මුදල නිල බල යා නොදෙයි
කල හොඳම පමණක් ඉතිරි වේ…..

ඇය කුඩා කාලේ අම්මගෙන් බැනුම් අසමින් සීතල වතුර ගලන ගගට විසික් කරන, මහන්සියෙන් හෙම්බත් වෙද්දී කරාටි ගස්සවන, කාර් එක ගෙදර තියෙද්දී බස් එකෙන් එන්න කියල පාරට යවපු දර්ශන ඔහුගේ මතකයට ඇදුනා……

( ලබන සතියට)

SHARE

NO COMMENTS