“ජීවිතේ මේ වගෙයි.” – 19 කොටස

සමුදිගේ වයස 34 ක්. ඇය පුද්ගලික අංශයේ විධායක නිලධාරිනියක්. ඇය විවාහ වෙලා ඉන්නේ තාරික එක්ක. තාරික කියන්නේ නැවු සමාගමක විධායක රැකියාවක් කරන කෙනෙක්. ඔවුන් විවාහ වුනේ විශ්ව විද්යාලේදී දැන හඳුනා ගෙන. නිමුන් දරුවෝ වෙච්ච විහස් හා විමාශ තමයි ඇගේ පුත්තු දෙන්නා. මෙන්න මෙහෙමයි ඇගේ ජීවිතය ගත වෙන්නේ.

සතිපතා කොටස් වශයෙන් පලවන කථාව

fb- like-beg


අපේ කාලේ දියණියකගේ කථාවක් – 19 කොටස

මනුස්සයෙක්ට තමන්ගේ පවුළ කියන ඒකකය වැඩියෙන්ම අවශ්‍ය වෙන්නේ ජීවිතෙන් වැටුනහම. පවුලේ සාමාජිකයෝ එකට බැඳිලා එකිනෙකාව විපතේදී අල්ලනවා. මේ රටේ සියදිවි හානි කර ගැනීම් කාන්තාවෝ අතරේ බහුල වෙලා තිබෙන්නේ සමාජයේ පවතින වැරදි ආකල්ප නිසයි.

ගැහැණු කෙනෙක්ට ලිංගික අතවරයක් වුනොත් ඔවුන් ඒක එලි කරන්න කැමති නැහැ මොකද පොදු සමාජයේ කන්තාවෝ පවා උත්සහ දරන්නේ එහි වරද කාන්තාව වෙතම පටවන්න. එම නිසා ගහෙන් වැටුන කෙනාට ගොනා ඇන්නා වගේ හැම පැත්තෙන්ම ඔවුන් පීඩාවට ලක් වෙනවා. සමාජයේ නින්දාවට ලක්වෙනවා. තව තවත් අතවරයට ලක් වෙනවා.

තාරිකගේ ගමේ දුරින් ඥාති වෙන වයස දහ අටක දියණියක් ලඟදි සියදිවි නසාගෙන කියල ලොකු හාමිනේ කීවා. මේ දැරිය වැඩකරන්න ගිය කඩයේ මුදලාලි ඇයව අතවරයට ලක් කරලා. රැකියාව නැති වේවි කියන බය නිසා අසරණ දැරිය කට වසාගෙන සිට තිබෙනවා. පසුව ඇයට දරුවෙක් ලැබෙන්න සිට ඇති අතර එහිදී දැරියගේ දෙමාපියන් සහ ඥාතීන් තවත් බැන වැදී බය කර තිබුනා. මුදලාලිගේ හාමිනේ විසින් මැරවරයන් පිරිසක් මේ අහිංසකයන්ගේ ගේ ගිනි දැමීමට යොදවලා. තමන් වැරදිකාරයා කියන හැගීමෙන් අසරණ දැරිය සියදිවි නසාගෙන.

සේරම වරද කරපු මුදලාලි තවමත් යහතින් ඉන්නවා. හැමෝම ඔහුගේ සල්ලි නිසා ඔහුට හිතවත්. ලෝකේ හැටි ඔහොමයි. නමුත් දැරියකට ආරක්ෂාව සැලසිය යුත්තේ ඇගේ පවුලේ සාමාජිකයන් විසින්. යමක් සිදුවුනා නම් , එයට ඇය සමග ශක්තිමත්ව නැගී සිටීම තමයි සුදුසුම දේ.

සමුදිගේ පවුල කියන්නේ එකිනෙකා බොහොම ස්වාධීනව කටයුතු කරපු සාමාජිකයෝ හිටපු තැනක්. ඉල්ලුවොත් උදවුවක් කරා හැරෙන්න දෙමාපියෝ , අයියලා කවදාවත් ඇයගේ පුද්ගලික ජීවිතේට අවුරුදු 18 සිට මැදිහත් වුනේ නැහැ.

නමුත් විපතක් වුනොත් අතේ ඇඟිලි පහ වගේ පස් දෙනා වැඩේට බහිනවා. තාරික ඇත්තටම පුදුම වුනා මෙවැනි වෙලාවක එලියට එන ඔවුනගේ සමගිය ගැන. ජීවිතේ පලවෙනි වතාවට ඔහුට හිතුනා තමන්ගේ පියා කුඩා කාලේ නොමරුනා නම් කොතරම් හොඳද කියල. එහෙනම් ඔහුට තව සහෝදරයොත් ඉන්න තිබුනා.

සමුදිගේ තාත්තා, අයියල දෙන්න, තාරික හතර දෙනාම සමුදී පත් වුන විපත ගැන සාකච්චා කළා. ඇය මහන්සියෙන් වැඩ කරලා තැනකට එන්න සිහින දැකපු කෙනෙක්. අද වෙද්දී අයගේ වුර්තීය ජීවිතේ බලාපොරොත්තු ඔක්කොම බිඳ වැටිලා. තාරිකට ඇය පෝෂණය කරන්න පුළුවන් නමුත් ඇගේ ජීවිතේ ලොකුම කොටසකින් නපුරෙක් ඇය පරාජය කරලා. මේ තිබෙන තත්වය අනුව වෙන ආයතනයක වැඩ කිරීමත් අසීරු බව හැමෝටම වැටහුනා.

දයාන් තිලකරත්න වගේ මිනිහෙක් එක්ක හැප්පෙන්න නොයා මේක ගොඩින් විසඳන එක හොඳයි කියල හැමෝම තීරණය කළා. මොකද වැඩි වැඩියෙන් හිරිහැර වලට ලක් වුනොත් සමුදී කම්පනයට ලක් වෙනවා. අනික ඔහුට දේශපාලන සහ නොයෙකුත් සම්බන්ධකම් තිබ්බා.

මේ කාලයේදී තාරික හැසිරුනේ හරියට සමුදිගේ දාසයෙක් වගේ. ඔහු උදේ නැගිටලා ඉවීම් පවා කළා. ඇයට තේ එක ලඟට ගිහින් දීම, ඇඳුම් ඇන්දවීම වගේ පොඩි දෙයක් වුනත් කරන්න මේ ආදරණීය සැමියා පසුබට වුනේ නැහැ. මේ අතරේ සමුදී කල්පනා කරමින් හුදෙකලාව ගෙතුළ හිර වෙලා හිටියා. අම්ම , සහෝදරයෝ , දරුවෝ කිසිම කෙනෙක් හමු වෙන්නවත් ඇයට වුවමනා කලේ නැහැ. ඇයට තරහා ගියොත් තාරික පසු බැස්සා. ඒ වගේම විහිළුවක් කළා.

“ බුරුත ගහක් වගේ හයිය ගෑනියෙක්. වැටිලා ඉන්න වෙලාවේ මම කෙලින් ඉන්න ඕනේ” ඔහු නිතරම ඇයගේ ගුණ කඳ සිහි කරා.

ඇයට තව තව ආදරේ කරා. ඇත්තටම ඔහුට හිතුනා ඒ කාලේ තමා ඇයට ආදරේ කරේ නැහැ කියල. දැන් ආදරේ කරන තරමින් සීයට එකක් වත් ඉස්සර ඇයට ආදරේ කරන්න තමාට බැරි වුනා කියල ඔහු හිතුවා.

බලාගත්ත අත බලාගෙන , වෙලාවකට කඳුළු සලන ඇයට නින්ද යන්නේ නැහැ. දැන් රැකියාවෙන් ඇවිත් දවස් තුනක් වෙනවා. ඇයව අද එලියට රාත්‍රී ආහාරය ගන්න එක්කගෙන යන්න තාරික තීරණය කළා. අමාරුවේන් වැළපීම මැඩගෙන උනත් සමුදිට හිතුනේ තමන් ගේ ස්වාමියා කොතරම් තමන්ට ආදරේද කියල. මේ වගේ රත්තරන් මනුස්සයෙක් ලැබුන එක කොච්චර දෙයක්ද ඇය හිතුවා.

සමුදිගේ ගෙදර නැවතිලා හිටපු ඇගේ මව සහ පියත් තාරිකගේ හැසිරීම ගොඩක් අගය කළා.

පහුවෙනිදා උදේම පුතාලව වැන් එකට දාල ගෙදර ආව තාරික ඇඟ හෝදාගත්තා. හෝදගෙන ගෙට එද්දිම …..”තාත්ති… “ කියල සමුදී විලාප තියන සද්දේ ඇහුනා. ඔහු වහාම දිවුවේ ඇඳගෙන හිටපු තුවායත් පිටින්මයි.

හොල්මනක් දැක්කා වගේ භයෙන් ඉන්න ඇයව දැක්ක ඔහු “ඇයි අම්මි? ඇයි අම්මි?” කියමින් බදා ගත්තා.

සමුදී වචනයක් වත් කියන්නේ නැති තැන උදේම ඇය කියවමින් ඉඳලා බිම වැටුන පුවත්පත ඔහු අතට අරගෙන පිටු පෙරලන්න ගත්තා.

තුන් වෙනි පිටුවේ තිබ්බේ සමුදිගේ පින්තූරයක් එක්ක ඇය වැඩ කරන සමාගමෙන් දාපු දැන්වීමක්. මේ පින්තූරයේ ඉන්න සමුදී අලහකෝන් තව දුරටත් තමන්ගේ ආයතනයේ වැඩ නොකරන බවත් මින් ඉදිරියට ඇයගෙන් සිදුවන කිසිම මූලය කටයුත්තකට ආයතනය වග නොකියන බවත් එහි පල වුනා.

සමුදී කිසිම මූලය කටයුත්තකට හවුල් වුනේ නැහැ. එහෙම තිබෙද්දී මෙවැනි දෙයක් පල කළේ ඇගේ කීර්ති නාමය විනාශ කරලා වුර්තීය ජීවිතය වැනසීමට බව තාරිකට පැහැදිලි වුනා. සද්දේ අහපු සමුදිගේ පියා සහ මවත් පඩි පෙළ බැහැල ආවා.

(ලබන සතියට)

SHARE

NO COMMENTS