රැකියාවක් කරන ඔබට පහසුවෙන් ගෙදර වැඩ කරගන්න ටිප්ස්

රැකියාවයි නිවසේ වැඩයි මේ හැමදේමත් එක්කම ගෙදර පිළිවෙලකට තියා ගන්නවා කියන එක නම් ඇත්තටම අමාරු වැඩක්. එත් ඔබ නොහිතන පුංචි පුංචි දේවල් මගින් මෙය පහසුවෙන්ම කරගන්න පුළුවන්. අද කියන්න යන්නේ ගෙදර පිළිවෙලකට තියා ගන්න උදව් වන දේවල් 26 ක් පිළිබඳවයි.

fb- like-beg


01) සෑම දෙයක් සඳහාම නිසි තැනක් වෙන් කර ගන්න

හරි දේ හරි තැන තියන්න කියලා කියනවා ඔබ අහලා ඇති නේ. ඒක හරියටම හරි. ඔබේ නිවසේත් සෑම දෙයකටම නිශ්චිත ස්ථානයක් වෙන් කර ගන්න. ඉතා කුඩා දෙයක් වුනත් එය නොසලකා හරින්න එපා. උදාහරණයක් ලෙස යතුරු වෙනම තැනක එල්ලන්න. ක්‍රීඩා භාණ්ඩ දරුවන්ගේ කෑම පෙට්ටි ආදිය වෙන වෙනම තියන්න. එවිට අවශ්‍ය විටහැම තැනම හොයන්න අවශ්‍ය වෙන්නේ නැහැ.


02) එකිනෙකා අතර වැඩ පවරා දෙන්න

ඔබේ වැඩකටයුතුත් සමග නිවස පිළිවෙලට තබා ගැනීම ඔබට තනිවම කළ නොහැකිය. එනිසා දරුවන් අතර වැඩ පවරා දෙන්න. එක් එක්කෙනාට නිවසේ විවිධ කොටස් බෙදා දී පිළිවෙලට සහ පිරිසිදුවට තබා ගන්නා ලෙස උපදෙස් දෙන්න. සතියක් අවසානයේ එක් එක්කෙනාට ලකුණු ලබා දී වැඩිම ලකුණු ලබා ගන්න කෙනා තෝරන්න. මෙයින් දරුවන්ටද විනෝදයක් ලැබෙන අතර ඔවුන් පිළිවෙලට සිටීමට ද පුරුදු වේ.


03) ඕනෑවට වඩා පිළිවෙල ගැන හිතන්නත් එපා

ඕනෑම දෙයක් ඕනෑවට වඩා ඕනෑම නෑ කියනවනේ. පිරිසිදු කම හා පිළිවෙලටත් මේක අදාලයි. ඔබ හැම දෙයක්ම සියයට සියයක් පිළිවෙලට තියන්න අමාරුයි. . උදාහරණයක් ලෙස ඔබට දරුවාගේ සෙල්ලම් බඩු පිළිවෙලකට අසුරා තැබීමට අවශ්‍ය ඇති. එහෙත් දරුවන් මේ පිලිබඳ එතරම් සැලකිල්ලක් දක්වන්නේ නැහැ. ඒ නිසා හොඳම දේ සෙල්ලම් බඩු දැමීමට විශාල පෙට්ටියක් ඔවුනට ලබා දී සියල්ල එයට දමා තබන ලෙස ඔවුනට උපදෙස් දීමයි. එයින් ඔබේ ගැටලුව ද විසඳේ.


04) බල කිරීමකින් තොරව දරුවන්ව හුරු කරවන්න

ඔබේ දරුවන් සමග නිවාස පිළිවෙලට තබා ගැනීම අසීරු විය හැක. ඒ සඳහා විට ඔබ ඔවුනට තරවටු කලහොත් ඔවුන් තවත් මුරණ්ඩු විය හැක. එනිසා බල කිරීමකින් තොරව ඔවුන්ව ඒ සඳහා හුරු කරවන්න. උදාහරණයක් ලෙස ඔවුන් පාසල් ඇරී එන විට පාසල් බෑගය, වතුර බෝතලය ආදිය තැබීම සඳහා ඔවුනගේ උසට සරිලන කුඩා මේසයක් තබන්න. නැතිනම් ඒවා එල්ලීමට ඔවුනගේ උසට සරිලන තැනක් සකසා දෙන්න. සපත්තු තැබීමට ලස්සනට සකස් කළ කුඩා රැක් එකක් තබන්න. එවිට ඔවුන් එයට අසා නිසා තමන්ගේ බඩු නිසි තැන තැබීමට හුරු වේවි.


05) බාස්කට් වල බඩු අසුරා තබන්න

ඔබේ කුළු බඩු අසුරා තැබීමට කුඩා බඳුන් භාවිතා කරනවා සේම නිවසේ අනෙක් දේවල් අසුරා තැබීමට ද බාස්කට් භාවිතා කරන්න. සබන් කුඩු, සබන්, කිලුටු ඇඳුම්, අතිරේක කෑම වර්ග හා අනෙකුත් ඕනෑම දෙයක් බාස්කට් වල දමා ලේබල් කර තැබීමෙන් ඔබට අවශ්‍ය වෙලාවට ඒවා සොයා ගැනීම ඉතාම පහසු වේ. එමෙන්ම දරුවන්ගේ බෝනික්කන්, බෝල ආදී සෙල්ලම් බඩු මෙසේ වර්ග කර තැබීම ඉතා පහසු වේ.


06) සෑම කාමරයකම අතිරේක බඳුනක් තබන්න.

සාමාන්‍යයෙන් කුඩා දරුවන් එකම ස්ථානයක හිඳ සෙල්ලම් කිරීමට මැලි කමක් දක්වයි. එනිසා සෑම කාමරයකම අතිරේක සෙල්ලම් බඩු බඳුනක් තබන්න. එවිට ඔවුන් සෙල්ලම් කර අවසන් වූ පසු සෙල්ලම් බඩු එයට දැමිය හැක. එවිට තැනින් තැනට සෙල්ලම් බඩු රැගෙන යාම අවශ්‍ය නැත . දරුවාට අවශ්‍ය ඕනෑම වෙලාවක සෑම කාමරයකම සෙල්ලම් බඩු ඇත. අස් කරන විට ඔබටද ඒවා එම කාමරයේම අසුරා තැබිය හැක. එය ඔබට මෙන්ම දරුවන්ටද පහසුවකි.


07) පවුලේ දින දර්ශනයක් සකස් කර ගන්න

පවුලේ දින දර්ශනයක් සකස් කර මාසයේ තිබෙන වැදගත් කටයුතු සියල්ල එහි සටහන් කර තබන්න. එවිට පවුලේ සියලු දෙනාම එකිනෙකාගේ වැඩ කටයුතු ගැන දැනගනී. එකිනෙකාගේ පණිවිඩ ලියා තැබීමටද වෙනම කුඩා පොතක් හෝ කුඩා white Board එකක් හෝ තබන්න. එයින් කිසිවක් අතපසු නොවී සියලු කටයුතු නිසි වෙලාවට කළ හැකි වේවි.


08) ප්ලාස්ටික් හා වීදුරු කෝප්ප වෙනම අසුරන්න

ප්ලාස්ටික් හා වීදුරු කෝප්ප ඇතුළු අනෙකුත් ද්‍රව්‍ය සියල්ල එකම තැන අසුරා තබන එක එතරම් නුවනට හුරු වැඩක් නෙවෙයි. මෙලෙස එකට තැබීමෙන් බොහෝ අවස්ථාවල ඔබ එක වීදුරු කෝප්පයක් ගන්න විට ප්ලාස්ටික් කෝප්ප සියල්ල පෙරලී එයි. මේ නිසා ප්ලාස්ටික් කෝප්ප කබඩ් එකේ හෝ රාක්කයේ යට කොටසේ වෙනම අසුරා තැබීම වඩා සුදුසු වේ. එවිට කෝප්ප විසිරී යාම වළකා ගත හැක. ප්ලාසිටික් හා වීදුරු බඩු වෙනම අසුරා තැබීමෙන් ඔබට ද ඉතා පහසුවෙන් ඒවා පරිහරණය කළ හැක.


09) ඔබගේ ගෘහ භාණ්ඩ ක්‍රමවත් ලෙස තබන්න.

නිවසේ අනවශ්‍ය ලෙස ගෘහ භාණ්ඩ තබා ගැනීමෙන් නිවසේ ඉඩකඩ ඇහිරී යයි. එනිසා ඔබට අවශ්‍ය පමණට වඩා ගෘහ භාණ්ඩ මිලදී ගැනීමෙන් වලකින්න. අතිරේක මේස පුටු ආදිය තිබෙන්නේ නම් ඒවාද ප්‍රයෝජනවත් ලෙස භාවිතා කරන්න. උදාහරණයක් ලෙස ඔබේ නිවසේ වැඩිපුර මේසයක් ඇත්නම් එය නිවසේ කොනක තබා එදිනෙදා භාවිතයට ගැනෙන කුඩා, බෑග් හෝ පත්තර ආදිය තැබීමට භාවිතා කරන්න.


10) කළ යුතු දේවල් ලයිස්තුවක් සදා ගන්න.

ඔබ දිනකට වැඩ රාශියක් ඉටු කල යුතුය. මේ නිසා ඔබට යම් යම් දේ අමතක වීම සාමාන්‍ය දෙයකි. එනිසා ඔබ කළ යුතු වැඩ කටයුතු සියල්ල ලියා තබා ගැනීම වඩා පහසු වේ. එවිට ඔබ ඉවර කරන සෑම වැඩක්ම ලෑයිස්තුවේ ලකුණු කර ඔබට කිරීමට ඉතිරිව ඇති වැඩ මොනවාදැයි මතක තබා ගත හැක. දවසට කලයුතු වැඩ, සතිය තුළ අවසන් කල යුතු වැඩ මෙන්ම මාසයට අදාළ වැඩ ද මෙලෙස ලියා තැබීමෙන් ඔබට ඒවා නිසි වෙලාවට සම්පුර්ණ කර ගත හැකි වේ.


11) ගමන් වලදී ද ලැයිස්තු ද සකස් කරන්න.

ඔබ විනෝද චාරිකාවක් යන විට හෝ වෙනත් දුර ගමනකට හෝ යන විටදී ද ඔබට අවශ්‍ය වන දේවල් මොනවාදැයි ලැයිස්තුවක් සකස් කර ගන්න. ඔබේ දරුවාට අවශ්‍ය දේවල්, ඔබේ සහ සැමියාගේ බඩු, සීත පළාතකට යන්නේ නම් ඒ සඳහා අවශ්‍ය දේවල් ආදී මේ සියල්ල කලින් ලැයිස්තුවක් හදා ගත්තම ඔබට කිසිවක් අමතක නොවේවි. ඒ වගේම යම් දෙයක් අමතක වුවහොත් ඊළඟ වතාවේ එය ලැයිස්තුවට එකතු කර ගන්නත් ඔබට පුළුවන්.


12) හදිසි අවස්තාවකදී අවශ්‍ය වන තොරතුරු ෆයිල් එකක් තබන්න

ඔබට කුඩා දරුවෙක් ඉන්නවා නම් මෙය ඉතාම වැදගත් වේ. ඔබ නොමැති විට ඔබේ දරුවා බලා ගන්න කෙනාට අවශ්‍ය විය හැකි සියලු තොරතුරු වෙනම ෆයිල් එකක සකස් කර තබන්න. හදිසි දුරකථන අංක, දරුවාගේ අසනීප, බෙහෙත්, ආසාත්මිකතා ආදිය සටහන් කර තැබීම හදිසි අවස්තාවකදී ඉතා ප්‍රයෝජනවත් වේ.


13) අමතර බෑගයක් ඔබේ වාහනේද තබන්න

දරුවාගේ ඇඳුම් කිහිපයක්, තුවායක් සහ අනෙකුත් අවශ්‍ය වන ද්‍රව්‍ය වලින් යුතු අමතර බෑගයක් ඔබේ වාහනයේද තබන්න. එවිට බඩු සකස් කිරීමට කාලය නැති හදිසි අවස්තාවකදී එම බෑගය රැගෙන යා හැක.


14) කිළුටු ඇඳුම් සඳහා භාජන තබන්න

සෑම කාමරයකම සහ නාන කාමරයේ කිළුටු ඇඳුම් සඳහා වෙනම භාජනයක් තබන්න. එවිට දරුවන් කිලුටු ඇඳුම් සෑම තැනම දැමීම වළක්වා ගත හැක.


15) ගරාජයේ වාහන පමණක් තබන්න

ගරාජයක් ඇති බොහෝ නිවාසවල ගරාජයේ ඇත්තේ වාහන වෙනුවට වෙනත් ලට්ට පට්ටයි. නිවසින් එලියට දමන සියලුම දෑ ගරාජයට දැමීමෙන් වළකින්න. අනවශ්‍ය දෙයක් නම් එය කුණු ගොඩටම දමන්න. ගරාජයේ හොඳින් වාතාශ්‍රය රැඳෙන ලෙස ඉඩකඩ ඇතිව පිරිසිදුව තබා ගන්න.


16) අනවශ්‍ය දේ ගොඩගසාගෙන සිටීමෙන් වලකින්න.

අනවශ්‍ය කිසිවක් නිවසේ තබා ගැනීමෙන් වලකින්න. ඔබත් කවදා හරි ඕන වෙයි කියලා පරණ ඇඳුම්, පත්තර මේ හැමදේම ගෙදර තියාගෙන ඉන්නවා නම් ඒවා අදම අයින් කරන්න. අවශ්‍ය නම් මේ දේවල් අඩු ගානකට විකුණලා ඔබට අමතර මුදලකුත් ලබා ගන්න පුළුවන්.


17) කුස්සියේ හැම දෙයක්ම නම් කරන්න

ඔබේ කුස්සිය ලස්සනට පිළිවෙලට තබා ගන්න. ඒ අතරම හැමදෙයක්ම වෙන් වෙන්ව නම් කරලා තියන්න. උදාහරණයක් ලෙස ඉවීමෙදී භාවිතා කරන බඩු වෙනම නම් කර තබන්න. බේක් කරන්න ගන්න බඩු වෙනම තබන්න. අමුත්තන් ආවම සංග්‍රහ කරන්න ගන්න බඩු වෙනම තියන්න. එවිට හැමදේම පිළිවෙලට තිබේවි.


18) නිතර අමතක වන බඩු වලට විශේෂ අවධානයක් දෙන්න.

බොහෝ නිවෙස්වල වාහනවල සහ නිවසේ යතුරු, කුඩ, පනා ආදී මේ සුළු සුළු දේවල් සොයා ගත නොහැකිව මුළු ගෙදරම අවුස්සන අවස්ථා ඇත. එයට හේතුව මේ දේවල් නිශ්චිත තැනක නොතැබීමයි. එනිසා මෙවැනි නිතර සොයා ගත නොහැකි වන දේවල් පිළිබඳ විශේෂයෙන් සැලකිලිමත් වී ඒ දේවල් තැබීම සඳහා නිසි ස්ථානයක් පිළියෙළ කරන්න.


19) පරණ කබා නැවත භාවිතා කරන්න

ඔබේ නිවසේත් පරණ කබා සහ පරණ ඇතිරිලි ආදිය තිබේ නම් ඒවා ඔබේ පුටුවේ කුෂන් එක යටින් දමන්න. එවිට කුෂන් එක වඩා සුවපහසු වන අතර පරණ බඩු ගොඩගසා ගැනීමේ කරදරයත් ඉවත් වේ.


20) මිනිත්තු 30නුත් ලොකු වැඩක් කරන්න පුළුවන්

දවසේ වැඩ කටයුතු අතර ඔබට නිදහස් කාලයක් ලැබෙන්නේ ඉතා සුළු වශයෙනි. ඒ කාලයත් ඔබට ඵලදායී ලෙස ගත කළ හැකියි. ඔබට තිබෙන්නේ මිනිත්තු 30 ක් නම් එලාම් එකක් තබා ඒ වෙලාවෙදීද විවේකීව කළ හැකි සුළු වැඩක් කරන්න. දවසේ වැඩ ලැයිස්තුව හදන්න, දරුවන්ගේ පොත් පත් පරීක්ෂා කරන්න ආදී දෙයට මේ කාලය යොදා ගන්න පුළුවන්.


21) දවසේ කාලසටහනට හුරු වන්න

ඇතැම් දවසක අමතර වැඩක් යෙදුනද අනෙක් දිනවල ඔබට ඇත්තේ එකම වැඩ කොටසකි. ඔබ එයට හුරු වූ විට ඔබේ පවුල ද එයට හුරු වේ. එවිට ඔබට සාර්ථක සහ සාමයෙන් යුතු පවුලක් ගොඩනගා ගත හැකි වේ.


22) පසුදාට අවශ්‍ය දේ පෙරදින රාත්‍රියේ සුදානම් කරන්න.

පසුදාට අවශ්‍ය ඇඳුම්, සපත්තු, බෑග්, පොත් ආදී සියල්ල සුදානම් කර තැබීමට දරුවන්ව හුරු කරවන්න. එමෙන්ම ඔබද පසුදාට අවශ්‍ය කෑම, භාජන ආදී සියල්ල සුදානම් කර තබන්න. එවිට උදෑසනට ඔබට නිදහසේ ඔබේ වැඩ කටයුතු කර ගත හැක.


23) පවුලේ මතකයන් අලුත් කරගන්න

හැකි සෑම විටම පවුලේ අයගේ පින්තුර ලබා ගන්න. ඔබ ඒවා යහළුවන් හා පවුලේ අය සමග හුවමාරු කර ගන්න විට ඔබේ මතකය අලුත් වී පවුලේ බැඳීම තවත් වැඩි වේ.


24) කල නොහැකි වැඩ භාර නොගන්න

රැකියා කටයුතු සහ නිවසේ කටයුතු සමග ඔබ ඉතාම කාර්යබහුල අයෙකි. එනිසා වෙනත් බාහිර වැඩ භාර ගැනීමේදී ඔබට එය කළ හැකිදැයි පළමුව තීරණය කරන්න. ඔබට කළ නොහැකි වැඩ භාර ගැනීමෙන් ඔබේ නිවසේ හා රැකියාවේ කටයුතු ද අඩාල වේ.


25) අවශ්‍ය නම් මෙහෙකාරියක් සේවයට ගන්න.

සියලු වැඩ තනිව කිරීම ඔබට අපහසු නම් ඔබේ උදව්වට කෙනෙක් සේවයට ගැනීම කළ හැක. සියලු වැඩ තනිවම කිරීමෙන් පසුව ඔබ අසනීප විය හැක. එනිසා පවුලේ අයගේ මතය ද විමසා බලා අවශ්‍ය යයි හැඟෙන්නේ නම් සේවිකාවක් ගැනීම ඔබගේ කැමැත්තයි.


26) Goodhousekeeping.lk සමග එකතු වන්න.

Goodhousekeeping.lk හි ඔබේ පවුල, වෙලාව කළමනාකරණය කරන අයුරු, ගැටළු විසඳන අයුරු, සතුටින් ජීවිතය ගෙවන අයුරු, මේ සෑම දෙයකට ම අවශ්‍ය උපදෙස් ඇතුලත් වේ. අප සමග එකතු වීමෙන් ඔබට ප්‍රීතිමත් පවුල් ජීවිතයක් ලබා ගත හැකි වනු ඇත.

SHARE

NO COMMENTS