ඔබත් එළිමහන් විවාහ උත්සවයක් පවත්වන්න කැමතිද?

Outdoor Weddings එහෙම නැත්නම් එළිමහනේ තබන උත්සව කියන්නේ අපේ රටේ දැන් දැන් ජනප්‍රිය වෙමින් පවතින අංගයක්. ශාලාවක උත්සවයක් ගන්නවට වඩා විචිත්‍රත්වයක්, ස්වාභාවිකත්වයක් ඒ මගින් ලබා ගත හැකියි. ඒ මගින් අමුත්තන්ට වඩාත් නිදහස් බවක් දැනෙනවා වගේමයි අමතර ඉඩ කඩක් ලැබෙනවා. ශාලාවක ඉඳ සිටීමෙන් නොලැබෙන අපූර්වත්වයක් ඒ මගින් ලබා ගන්න පුළුවන්..

fb- like-beg


එළිමහනේ ඔබගේ විවාහ උත්සවය පවත්වනවා කියන්නේ නවමු අත්දැකීමක් වේවි. ඒ වගේම සැලකිය යුතු කාරනා කීපයක් තිබෙනවා. ඔබට wedding planner කෙනක් හිටියත් නැතත් මේ කරුණු ගැන සලකා බැලිය යුතුයි. මොකද උත්සවය කියන්නේ ඔබේ ජීවිතයේ වටිනාම උත්සවයයි.

1) සූදානම් වීම

එළියේ පවත්වන විවාහ උත්සවයකදී ඔබ ඉස්සෙල්ලම සලකන්න ඕනේ අදාළ කාලයේ පවතින දේශගුණික තත්වය ගැනයි. වැසි කාලෙක, නැත්නම් අධිකව උණුසුම් කාලෙක විවාහ උත්සවය එළියේ පවත්වනවා නම් ඒ ගැන ගොඩක් සැලකිලිමත් වෙන්න ඕනේ. ඒ කටුක දේශගුණ තත්වයන් සමනය කරන්න මොනවද කරන්න ඕනේ කියන එකත් සලකන්න ඕනේ.

ඒ විතරක් නෙවෙයි ඇතිවිය හැකි නරක ගැන කලින්ම අනුමාන කරලා ඔබට පුළුවන් හැමවිටම ප්ලෑන් B එකක් ගහන්න. ඒ කියන්නේ මේ කාලේ වැහි පොදක්වත් වැටුනේ නැතත් පැත්තකින් අලංකාර හට් එකක් ගහල තියන එක ඇඟට ගුණයි. හැම විටකම හිතන්න වෙන්න පුළුවන් නරකම දේ මොකද්ද කියන එක සහ එය ඇති වුනොත් සූදානම් වෙන්න.


2) ඇතුල් වීම

හැමෝටම අදාළ ස්ථානයට ඇතුල් වෙන්න පුලුවන්ද? කේටරින් එකට සේරම බඩු මුට්ටු එක්ක ඇතුල් වෙන්න තිබෙන්නේ කොයි වගේ තැනක්ද? හට් ගහන කණ්ඩායම වෙනම ගන්න පිටුපස අතුල්වීමක් තිබේද? ඒ වගේම අමුත්තන්ට නිසි විදිහට එන්න අලංකාර කළ මාර්ගයක් තිබේද? අමුත්තෝ එන තැනින්ම බඩුගේන අය ඇතුල් වෙන එක ඉතාම කැතයි. ඒ නිසා ඒ ගැන විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕනේ.


3) වැසිකිලි පහසුකම්

මෙවැනි උත්සවයක් තිබෙද්දී අත්‍යවශ්‍යම අන්ගයක්නේ. ස්ථානයට ලඟින් තියන එක එතරම් සුදුසු නැහැ. දුර්ගන්ධයන් පැතිරෙන්න පුළුවන්. ඒ වගේම මත්පැන්, තෙල් ආහාර බහුලව ඇති තැනක වැසිකිලි ගොඩක් ඈතට ගන්නත් බැහැ. ඒ වගේම අමුත්තෝ ගණන අනුව ඇති තරම් වැසිකිලි පහසුකම් ඇති කරන්න ඕනේ. ගොඩක් ප්‍රශ්න වලට මුහුණ දෙන තැනක්.


4) ආලෝකය

අමුත්තන්ගේ පහසුවට ඒ වගේම චායාරූප ශිල්පීන් වෙනුවෙන් නිසි විදිහට ආලෝක කරණය කරන්න වග බලා ගන්න ඕනේ. විශේෂයෙන් උත්සවය රාත්‍රී කාලයේ එළිමහනේ තියනවා නම් ආලෝකය ඉතාම විචිත්‍ර ලෙස භාවිතා කරන්නත් ඔබට හැකියි. එමගින් අමුත්තන්ට අමතක නොවෙන අත්දැකීමක් එකතු වෙනවා.


5) කෘමි සතුන්

අපේ උෂ්ණ වගේ රටක ඉතින් අනිවාර්යයෙන්ම සිතන්න ඕනේ දෙයක්. මැස්සෝ, මදුරුවෝ කියන්නේ ඉතින් ඔබ කොයි තරම් වියදම් කලත් මුළු උත්සවේම අගය විනාශ කරන්න පුළුවන් තරම් නරක සත්තු විශේෂ තමයි. ඒ වගේම ශාක වල ඉන්න කුරුමිනියෝ එහෙමත් එක වගේම සැලකිලිමත් විය යුතු පිරිසක්. ඒ වගේම අමුත්තෝ එන්න මොහොතකට පෙර හෝ කුඩා දරුවනට විෂ සහිත දේවල් කෘමියන්ට ස්ප්‍රේ කිරීමත් හොඳ නැහැ. රාත්‍රියක නම් පොල් කෝම්බ කෘමි උගුල් වගේ සාම්ප්‍රදායික ක්‍රම අත්හදා බලන්නත් පුළුවන්. නැත්නම් හැම මේසයක් සමීපයේම වෙන වෙනම කෘමි විකර්ෂක උපකරණ භාවිතා කරන්නත් පුළුවන්.

කොහොම උනත් අමුත්තන් ගේ ආරක්ෂාව සහ සුව පහසුව ගැන දෙපාරක් හිතන්න.

SHARE

NO COMMENTS