ප්‍රීතිමත් සහ සාර්ථක පවුලක් සඳහා උපදෙස්

01) ඔබේ රාජකාරී ජීවිතය සහ පවුල් ජීවිතය සමබර කර ගන්න

ඔබේ රාජකාරී කටයුතු සහ ගෙදර කටයුතු සමබරව කරගෙන යාම තරමක් අපහසු කටයුත්තක් විය හැකියි. එහෙත් මේ ද්විත්වයම හොඳින් කළමනාකරණය කරගතහොත් ඔබට ඔබේ පවුල සමග සාර්ථක සබඳතාවයක් ගොඩ නගා ගත හැකි වේවි. ඒ වගේම කටයුතු මනාව කළමනාකරණය කර ගැනීමෙන් ඔබට ඔබ අතින් යම් යම් දේ අතපසු වුණා, පවුලේ වගකීම් නිසි පරිදි ඉටු කර ගන්න බැරි වුණා ආදී දේ සිතමින් පසුතැවිලි වීමේ අවශ්‍යතාවයකුත් නැහැ. එමෙන්ම ඔබේ යුතුකම් වගකීම් නිසි පරිදි ඉටු වූ විට ඔබට රාජකාරී කටයුතු වලින් ඉදිරියට යාමට මෙන්ම පවුලේ සමාජිකයන් සමග ද මනා සබඳතාවයක් පවත්වා ගෙන යා හැකි වේ. එවිට ඔබට සාර්ථක මෙන්ම ප්‍රීතිමත් රාජකාරී සහ පවුල් ජීවිතයක් ලැබේවි.
fb- like-beg


02) ඔබ පිළිබඳ සැලකිලිමත් වන්න

බොහෝ පවුල් වල දෙමාපියන් තමන් පිලිබඳ සිතීම පසෙකලා සිය දරුවන් සහ පවුලේ අනෙක් අයගේ ඕනෑ එපාකම් ඉටු කිරීමට වෙහෙසේ. එහෙත් මෙලෙස තමන් පිලිබඳ අමතක කර තමන්ගේ අවශ්‍යතා ඉටු කර නොගැනීමෙන් ඔබ දුකට වේදනාවට සහ වෙහෙසට පත් වේ. එවිට ඔබට අන් අය පිළිබඳ සොයා බැලීමටද නොහැකි වේ. ඔබ යහපත් මානසික සහ ශාරීරික සෞඛ්‍යයකින් නොමැති වූ විට ඔබේ දරුවන්ගේ අවශ්‍යතා ඉටු කිරීමට පවා ඔබ අපොහොසත් වේ. එවිට ඔබ දරුවන් සමග ඇති බැඳීම ද දුරස් වේ. එනිසා අන් අය පිලිබඳ සිතන්නා සේම ඔබ පිළිබඳව ද සැලකිලිමත් වන්න. ඔබේ සෞඛ්‍ය පිලිබඳ සැලකිලිමත් වන්න. ඔබ මානසිකව සතුටු වන දේවල් ද අන් අය හා එකතු වී කරන්න. එවිට ඔබට සතුටින් සිටීමටත් අන් අයව සතුටු කරවීමටත් හැකියාව ලැබේ.


03) විනය

පවුලේ විනය පවත්වා ගැනීම තරමක් අපහසු කාර්යයකි. විශේෂයෙන්ම දරුවන්ගේ විනය ඇති කිරීම දෙමාපියන් වශයෙන් ඔබට ඉතා අපහසු කටයුත්තක් විය හැකියි. මෙයට හේතුව වන්නේ දරුවන්ගේ ඇතැම් ක්‍රියා නිසා ඔබ කෝපයට පත් වී දඬුවම් කිරීමෙන් ඔවුනගේ විනය ඇති කිරීමට උත්සහ දැරීමයි. එවිට දරුවන් ද ඔබ කෙරෙහි කෝපයක් ඇති කර ගනී. එයින් ඔබ සහ දරුවන් අතර ඇති සබඳතාවය දුරස් වේ. ඔවුනට කේන්තියෙන් ප්‍රතිචාර දැක්වීමෙන් ඔවුන් තව තවත් මුරණ්ඩු වේ. එනිසා ඔවුන් යම් වරදක් කල විට පළමුවෙන්ම ඔබ කෝප වීමෙන් වළකින්න. ඉන්පසු ඔබ සන්සුන් වෙන්න. පසුව දරුවාට කතා කොට කළ වරද පහදා දී එය නැවත සිදු නොකරන ලෙසත් මින් පසු එවන් අවස්තාවකදී ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳවත් ආදරයෙන් පහදා දෙන්න. එවිට දරුවා විනයගරුක කිරීමටත් දරුවා සමග ඇති සබඳතාවය තවදුරටත් වර්ධනය කරගැනීමටත් ඔබට හැකි වේ.


04) නීති සහ සීමා පැනවීම

සාමාන්‍යයෙන් වැඩිහිටියන් විසින් දරුවන්ට විවිධ තහංචි පනවනුයේ දරුවන්ව යම් අනතුරකින් ආරක්ෂා කර ගැනීම සඳහාය. එහෙත් මෙහිදී මෙම සීමා පනවනුයේ ඇයි ද යන්න පිලිබඳ දරුවාව ද දැනුවත් කිරීම ඉතා වැදගත් වේ. උදාහරණයක් වශයෙන් ඔබ ගින්දර ඇති තැනකින් දරුවාව ඉවත් කළහොත් එසේ ඉවත් කළේ දරුවාට ගින්දරින් හානියක් නොවීම සඳහා දරුවාගේම ආරක්ෂාව සඳහා බව දරුවාට පහදා දෙන්න. එසේ නොවුවහොත් දරුවා ඔබ පිලිබඳ කෝපයක් ඇති කරගෙන නැවත වතාවක් ඔබට අකීකරු වනු ඇත. එනිසා ඔබ දරුවාට යම් සීමා පනවන විට ඒවා කරනුයේ දරුවාගේම යහපත සඳහා බව දරුවාට පහදා දෙන්න. එවිට දරුවාව ආරක්ෂා කර ගැනීමට හැකි වන අතරම දරුවා තුල ඔබ කෙරෙහි ඇති පැහැදීම හා ආදරය ද වැඩි වනු ඇත.


05) සන්නිවේදනය

පවුලේ එකිනෙකා අතර සන්නිවේදනය පවුලක සාර්ථකත්වයට ඉතාම වැදගත් දෙයකි. සතුටුදායක අවස්තා වලදී මෙන්ම අසීරු අවස්ථා වලදී ද සන්නිවේදනය අත්‍යවශ්‍ය වේ. බොහෝ අවස්ථා වල දරුවන් තමන්ගේ අදහස් පැවසීමට මැලි කමක් දක්වයි. එහෙත් දෙමාපියන් තමාට ඇහුම්කන් දීමට සුදානම් බව දැනීමෙන් ඔවුන් සිය අදහස් ප්‍රකාශ කිරීමට ධෛර්යමත් වේ. එනිසා නිතරම තමා දරුවාට ඇහුම්කන් දීමට සුදානම් බව දරුවන්ට දනවන්න. එමෙන්ම දරුවන් සමග ඔබ පිළිබඳව ද කතා කරන්න. ඔබේ දවස පිලිබඳ කතා කරන්න. එයට දරුවන්ද ඇතුළත් කර ගන්න. ඔබේ ජීවිතයට දරුවන් සමීප බව ඔවුනට දැනීමෙන් ඔවුන් ද ඔවුනගේ කටයුතු වලට ඔබව දායක කර ගැනීමට වැඩි කැමැත්තක් දක්වයි. එවිට ඔවුන් තනිවම යම් යම් දේවල් කිරීමට හෝ තීරණ ගැනීමට යාමෙන් වැළකී ඔබගෙන් ද උපදෙස් පැතීමට යොමු වේ. මෙලෙස පවුල තුළ යහපත් සන්නිවේදනයක් තබා ගැනීම තුලින් දරුවන්ගේ කටයුතු පිලිබඳ වැඩි අවබෝධයක් ලබා ගැනීමට ඔබට හැකි වේ. එයින් දරුවන් වැරදි ක්‍රියා වලින් වළකා තබා ගැනීමට ඔබට අවස්ථාවක් ලැබේ.


06) පවුල සඳහා සතුටුදායක වෙලාවක් වෙන් කර ගන්න

පවුලේ සියලු දෙනාම දවස පුරා තමන්ගේ කටයුතු වල නිරත වේ. ඇතැම් විට කාර්යබහුලත්වයත් සමග පවුලේ සියලු දෙනාට එකතු වීමටවත් කාලයක් නොමැති විය හැක. එනිසා සතියකට කිහිප වතාවක් පවුලේ සියලු දෙනාටම එකතු වී සිටිය හැකි දෙයක් සංවිධානය කරන්න. සැම දෙනාටම එකතු වී ආහාර ගැනීම, සියලු දෙනාම එළිමහනට ගොස් විනෝද වීම ආදී මේ දේවල් මගින් පවුලේ සියලු දෙනාටම සම්බන්ධ වීමට අවස්තාවක් ලැබේ. එමෙන්ම පවුලට විනෝදයක් ද ගෙන දේ. මෙයින් තමන් එක පවුලක් සහ තම වෙනුවෙන් පවුලේ අය සිටිනා බව ඔවුනට අවබෝධ වේ.


07) එකතු වී තීරණ අරගන්න.

වැඩිවියට පත් වූ දරුවන්ට කුඩා කලදී පනවන ලද නීති සහ සීමා නොගැලපේ. ඔවුන් වර්ධනය වීමත් සමගම ඒවාද වෙනස් විය යුතුය. එනිසා එම සීමා තරමක් ලිහිල් කර ඔවුනට ද යම් නිදහසක් ලබා දෙමින් ඔවුන් එම නිදහස යුතු ලෙස භුක්ති විඳීනවාදැයි විමසිලිමත් වන්න. යම් යම් තීරණ ගැනීමේදී ඔවුන්ගේ අදහස් ද එකතු කර ගන්න. එවිට ඔවුන්ට ද සමාජය සමග ගනුදෙනු කරන ආකාරය පිළිබඳ වැටහීමක් ලැබේ. එමෙන්ම ඔබ ඔවුනගේ අදහස් වලට ද ගරු කරන බව ඔවුනට හැඟීමෙන් ඔවුන් ඔබෙන් සඟවා යම් යම් දේ කිරීමට නොපෙළඹේ. එවිට ඔවුන් ඔබව අගය කර තවත් ඔබට සමීප වේ.


08) එකිනෙකා වෙනුවෙන් පෙනී සිටින්න

පවුලක් වශයෙන් සතුටු අවස්ථා වල මෙන්ම දුක් සහ අසීරු අවස්ථා වලදී ද එකිනෙකා සමග සිටීම ඉතා වැදගත් වේ. පවුලේ යම් සාමාජිකයකුට ගැටළුවක් හෝ කරදරයක් වූ විට සියලු දෙනාම එකතු වී ඔහු හෝ ඇය වෙනුවෙන් පෙනී සිටින්න. දුකේදී ද පවුලේ අය ඔවුන් සමග සිටින බව ඔවුනට දන්වන්න. එවිට ඔවුන් ද පවුලට ඇති බැඳීම වැඩි වේ. එවන් අවස්ථා වල විවෘතව ඔවුන් සමග සාකච්චා කරන්න. ඔවුන්ට සිදු වූ දෙය පිලිබඳ පහදා දීමට අවස්තාව දෙන්න. ඔබ කෝප ගැනීමෙන් තොරව සන්සුන් වී කල යුතු දෙය පිලිබඳ සාකච්ඡා කරන්න. එමෙන්ම ඔබේ දරුවාගේ වයසට අනුව කටයුතු කිරීමටත් මතක තබා ගන්න. ඔබට තනිව තීරණයක් ගත නොහැකි ගැටළුවක් නම් වෙනත් අයගේ සහය වුවද ලබා ගත හැක.


09) නම්‍යශීලී වන්න

අනෙක් හැම දෙයකටම වඩා දරුවන් සිය දෙමාපියන් සමග කාලය ගත කිරීමට වැඩි කැමැත්තක් දක්වයි. ඔබට දරුවන් සමග යම් ක්‍රීඩාවක නිරත විය හැකි නම් හෝ දරුවන්ව පුදුම කරමින් එළිමහන් උද්‍යානයකට ගොස් දරුවන් සමග සතුටින් සිටිය හැකි නම් ඔබ සහ දරුවන් අතර ඇති ආදරණීය බැඳීම වැඩිවේ. සතියකට වරක් හෝ මාසයකට කිහිප වරක් මෙලෙස දරුවන් සමග සතුටින් කාලය ගත කිරීම පුරුද්දක් කර ගන්න. එහෙත් වරක් දෙවරක් එය මග හැරුනහොත් ඒ පිළිබඳ වද විය යුතු නැත. කාර්යබහුල පවුලකට මෙලෙස එකතු වී සතුටින් කාලය ගත කිරීම පවුලේ බැඳීම වැඩි කිරීමට මෙන්ම පවුලේ සාමාජිකයන්ගේ මානසික තත්ත්වය යහපත් කිරීමට ද ඉතා හොඳ අවස්ථාවකි.


10) ඔබේ සැමියා සමග ද කාලය ගත කරන්න

ඔබට දරුවන් ලැබුණු පසු දරුවන්ගේ වැඩ කටයුතු සමග කාර්යබහුල වන ඔබට ඔබේ සැමියා සමග කාලය ගත කිරීමට වෙලාව සොයා ගැනීම තරමක් අපහසු විය හැක. එහෙත් දරුවන් සමග මෙන්ම ඔබේ සැමියා සමග කාලය ගත කිරීම ද පවුලක සාර්ථකත්වයට ඉතා වැදගත් වේ. දරුවන්ද සම්බන්ධතා පිළිබඳ අවබෝධ කර ගන්නේ ඔවුන්ගේ දෙමාපියන්ගෙනි. ඔබ දෙදෙනා දරුවන්ට ආදර්ශයක් විය යුතුය. එනිසා සැමියා සහ බිරිඳ වශයෙන් සතුටින් කාලය ගත කිරීම ඉතා වැදගත් වේ. ඔබේ දවසේ කටයුතු, ඔබ සතුටු වූ දේවල් සහ ඔබට ගැටළු ඇති වූ අවස්ථා ආදී මේ දේවල් ඔබේ සැමියාට පැවසීමට යම් වෙලාවක් වෙන් කර ගන්න. එමෙන්ම සැමියාගේ දවස ගෙවුනේ කෙසේද යන්න පිළිබඳවත් විමසන්න. මේ සඳහා ඔබට සුවපහසු වෙලාවක් වෙන් කර ගන්න. කෑමකට එලියට ගිය අවස්තාවක හෝ දරුවන් නිදා ගත් පසු දවසේ වැඩ නිමාවී වෙහෙස නිවාගන්නට තේ කෝප්පයක් බොමින් හෝ දෙදෙනාට එකිනෙකා පිළිබඳ කතා බහ කළ හැක. එවිට ඔබ දෙදෙනා එකිනෙකාගේ කටයුතු පිළිබඳ අවබෝධ කර ගන්නා අතරම දෙදෙනාගේ විශ්වාසය ද වර්ධනය වේ.

SHARE

NO COMMENTS