දඩාවතේ යන බල්ලෙක් හදා ගන්න කලින් මේ දේවල් ගැනත් සැලකිලිමත් වෙන්න.

ලංකාවේ මේ දවස් වල කතා කරන උණුසුම් මාතෘකාවක් තමයි අයාලේ යන බලු ගහනය වැඩි වීම කියන්නේ. පාර වල යන්න බැහැ හැම තැනම බලු මළ පහ , නැත්නම් බල්ලෝ කාලා පිස්සු බලු බෙහෙත් විදිනවා, එහෙමත් නැත්නම් බල්ලන්ගේ කරදර. මේ ප්‍රශ්නය උඩු දුවා ඇති නිසා පුරවැසියෝ විදිහට අපිටත් යම් පියවරක් ගන්න පුළුවන්.

ඒ තමයි හොඳ වර්ග වලට අයත් වියදම් අධික බල්ලෙක් වෙනුවට මේ අයාලේ යන බල්ලෝ දෙතුන් දෙනෙක් අපේ ගෙවල් වල හදා වඩා ගැනීම. මේ සතුන්ගේ ආහාර වලට, බෙහෙත් වලට ලොකු වියදමක් නොගියත් මොවුන් ඉතාම පක්ෂපාතී, ආදරණීය සුරතල්ලු ලෙස හඳුන්වන්න පුළුවන්. රටට සේවෙකුත් කරන අතරේ බල්ලෙක්ගෙන් ලබන්න පුළුවන් ආරක්ෂාව, ආදරය වගේ අවශ්‍යතාත් සම්පූර්ණ වෙනවා.

අපි Goodhousekeeping.lk වෙබ් අඩවියක් ලෙස ඔබේ ආරක්ෂාව අපිට පළමු වගකීම නිසා , මෙවැනි සතෙක් හදද්දී සැලකිලිමත් විය යුතු කරුණු ගැන කියා දෙන්න හිතුවා.


fb- like-beg


1) කරේ පටියක් නැති පමණින් ඒ බල්ලා අයාලේ යන බල්ලෙක් නොවේ.

සමහරවිට ගෙදරින් එලියට හොරෙන් පැන ගත්ත හොර ගෙඩියෙක් වෙන්නත් පුලුවන්. නැත්නම් අවුරුදු දවස් වලට නම් රතිඥ්ඥා වලට බයේ කූඩුව කඩාගෙන දිවුව බවුවෙක් වෙන්නත් පුළුවන්. කොහොම උනත් කීකරු බල්ලෙක් හම්බ වුනොත් එයාගේ අයිති කාරයා පළමුව සොයා බලන්න. FB එකේ පොස්ට් එකක් දාලා, නැත්නම් ගෙවල් පැත්තේ පෝස්ටර් එකක් ගහලා බලන්න පුළුවන්. එතකන් එයාව බැඳලා අවශ්‍ය දේවල් කරන්න.


2) බල්ලා සැර බල්ලෙක් නම්

මිනිස් ඇසුරට අකමැති සැර බල්ලෙක් ඔබේ ප්‍රදේශයේ සැරිසරනවා නම් එයාව අල්ලන්න යන එක එතරම් නුවනට හුරු නැහැ. පශු වෛද්‍යවරයෙක් හෝ අදාළ නිලධාරියෙක්ගේ සහයෙන් එයාව අල්ලගන්න ඕනේ. නැත්නම් ඔබේ කරුණාව ඉවර වෙන්නේ බෙහෙත් විදලා, මැහුම් දාගෙන තමයි.


3) බල්ලා සමග පළමුව විශ්වාසය දිනා ගන්න

හොඳ මූණක් පෙන්නගෙන ඉන්නවා නම් හොඳම දේ ආහාරයක් දීලා යාලු කර ගැනීමයි. ලඟට එනවා නම් ඔලුව අතගාන්නත් පුළුවන්. එයාගේ විශ්වාසය ඇති වුනාම දම්වැලක් නැතුවම ඔබ කතා කරොත් ගෙදර ඒවි.


4) කුඩා කුක්කෙක් නම්

ඔබේ ශරීරයේ නොයෙක් රෝග විෂබීජ තැවරෙන්න පුළුවන්. බලු පැටියා කුඩා නම් පිරිසිඳු රෙදි කඩක ඔතාගෙන පරිස්සමෙන් රැගෙන එන්න.


5) පුංචි වුනත් ලොකු වුනත් කෙලින්ම පශු වෛද්‍ය ලඟට

පශු වෛද්‍යවරයා නිසි එන්නත්, පණු බෙහෙත්, චර්ම රෝග වලට බෙහෙත් සහ බල්ලා දුර්වල නම් විශේෂ ආහාර හෝ විටමින් නියම කරාවි. ඒ අනුව පිළිපදින්න. ඒ එක්කම බල්ලා පිරිසිඳු කරන ආකාරය අසා දැන ගන්න. කුඩා බලු පැටවුන්ට රසායන වර්ග විෂයි. විශේෂයෙන්ම පාරේ හැදෙන මන්ද පෝෂිත බලු පැටවුන් ශරීරයෙන් දුර්වලයි. අප කුඩා කළ බලු පැටවුන්ගේ මැක්කන් මර්ධනයට කොහොඹ තෙල් ආදිය යෙදුවා.


6) වැඩුන බල්ලෙක් නම් ටික දිනක් යනතුරු දරුවන්ට ලං වෙන්න දෙන්න එපා

ගෙදරක හැදුන බල්ලෙක් සාමාන්‍යයෙන් කුඩා දරුවෝ හපන්නේ නැහැ. නමුත් පාරවල හැදුන බල්ලෝ දරුවන්ට එතරම් පුරුදු නැහැ. දරුවා ආදරේට යමක් කරත් බය වෙලා හපා කන්න පුලුවන්.


7) ආදරය කරන්න

ගොඩක් විට කඩ බක්කියක, කානු පල්ලක හැදුන බල්ලෙක් නම් ආදරය විද නැහැ. එයාට ආදරය කරන්න. එවිට ඔබට ගොඩක් හිතවත් වේවි.


8) ගැහැණු සතෙක් නම් වඳ සැත්කමක් කර ගැනීම හොඳයි

මේ සත්තු ගර්භනී වීම වලකා ගන්න සැත්කම් තිබෙනවා. පශු වෛද්‍යවරු ඒ දේ කරනවා. ඒ පිළිබඳව පශු වෛද්‍යවරයා සමග සාකච්චා කරන්න. නැත්නම් ඔබට තව විශාල බලු පවුලක් දෙන්න මෙයාලට වැඩි කාලයක් යන්නේ නැහැ.

SHARE

NO COMMENTS