“ජීවිතේ මේ වගෙයි.” – Part 21

සමුදී කියන්නේ උගත් , බුද්ධිමත්, නවීන ඒ වගේම ගොඩක් ධෛර්යමත් කාන්තාවක්. ඇයගේ වයස අවුරුදු 35 ක්. ඇගේ ආදරණීය ස්වාමියා තාරික අලහකෝන් සහ නිමුන් පුත්තු දෙන්න විහස්, විමාශ කියන මේ හතර දෙනාගේ ආදරණීය පවුලේ කතාව තමයි “ජීවිතේ මේ වගේ" කතාවෙන් කියවෙන්නේ. මේ සමහරවිට ඔබේම ජීවිතයේ පැතිකඩක් වෙන්නත් පුළුවන්.

සතිපතා කොටස් වශයෙන් පලවන කථාව

fb- like-beg


“ පරාජයන් හමුවේ නොසැලුන අපේ කාලයේ අම්මාගේ කතාව “ – 21 කොටස

ඉන් පස්සේ හවස ඇය තාරිකට කතා කලේ බොහොම සතුටින්. ඔහුට වේලාසන පුතුන් දෙන්නත් එක්කම ගෙදර එන්න කියල ඇය ආයාචනා කළා. තාරිකටත් පුදුමයි ඇගේ ප්‍රීතිමත් ස්වරය අහලා. සමුදිගේ දෙමාපියෝ දෙන්නා තාරික ආව ගමන්ම අයෙත් ගෙදර ගියා.

තාරික එන්න කලින් ඇය ඔහු කැමති විදිහට ගමේ ක්‍රමයේ රස ආහාරයක් පිළියෙළ කරා. ඉඳි ආප්ප, කූනිස්සෝ දාපු පොල් මැල්ලුමක්, අල කරියක් සහ මිරිසට හදපු එළුමස් කරියක්. ඇයට ඇගේ සැමියා ගැන ඇති වුනේ කිව නොහැකි ආදරයක්. මේ කාලේදී ඔහු හැසිරුණ පිළිවෙල, තමන්ට ආදරය කරපු හැටි අයගේ මනසේ මැවී පෙනුනා. තමන් ඔහුට පුද දුන්න ආදරය රැක ගෙන තමන්ගේ වුර්තිය ජීවිතේ නැති කර ගත්ත එක ඇයට වරදක් ලෙස පෙනුනේ නැහැ. සල්ලි නම් නැතුව වුනත් ජීවත් වෙන්න පුලුවන්. ඒත් මේ වගේ ආදරයක්?

මේ අතරේ සමුදිට කරපු පලි ගැනීම නිසා දයාන් තිලකරත්න හිටියේ ඉතාම සතුටින්. ලෑජ්ජාවෙන් මිරිකුණ ඔහු විටින් විට ගොරව ගොරවා කාර්යාලයේ ඇවිද්දේ බඩගිනි කොටියෙක් වගෙයි.

“දැන් ඉතින් කොහේවත් රස්සාවක් කරන්න සමුදී උඹට බැහැ” ඔහු තෘප්තියෙන් හිතුවා. සමුදී මේ සියල්ලම වීඩියෝ කරගෙන ඇති කියල ඔහු මොහොතකටවත් හිතුවේ නැහැ.

පුතාල දෙන්න එක්ක තාරික එද්දී හයත් පහු වෙලා. සමුදී පැටවූ දෙන්නවම එකට නාන කාමරයට ගෙනිහින් සේදුවා. ඇය දරුවන්ට හරිම ආදරේ මවක්. අද ඒ ආදරේ තවත් වැඩි වෙලා. ඔවුන් ඉන්නවද කියලත් තමා පහුගිය දින ටිකේ අමතක කරා නේද කියන ලැජ්ජාව ඇගේ හිතේ හට ගත්තා.

“ විමාශ මගේ උක්කුන්… හොද පුතා වගේ බේසමට බහින්නකෝ. අම්මි මල්ලිගේ සබන් ගාලා ඇතුලට දාන්නම්. “

කීකරු විමාශ නාන බේසමට බැස්සා. දඟයා වුන විහස් ඇඟේ සබන් පිටම ඇගේ පියයුරු වල එල්ලිලා ඇයව සිප ගත්තා. සබන් ගෑවුනත් ඔහුව අයින් කරන්න ඇයට හිතුනේ නැහැ.

පහුගිය දවස් වල විමාශ හෙමින් ඇය ලඟට ඇවිත් ඇගේ කඳුළු පිහදානවා. ඇයට දරුවෝ දෙන්නා ගැන ප්‍රේමය උතුරා ගලමින් තිබ්බා.

හතර දෙනාම හයියෙන් කතා කරමින් ආහාර ගත්තා. රසවත් ආහාරයෙන් සහ ගෙදර කාලෙකට පස්සේ ඇතිවුන සාමකාමී වාතාවරණයෙන් තෘප්තියට පත් තාරික ඉඳිආප්ප 30 ක් විතර කාල දැම්මා. වෙනදට රාත්‍රියට වැඩිය කන්න එපා කියල ඔහුට බැන්නත් අද සමුදී කට වහගෙන හිටියා. පහුගිය දවස් ටිකේම තාරික හරියට එක වේලක්වත් ආහාර ගත්තේ නැහැ. ඔහු මේ දින තුන හතරට ඇදිලා ගිහින් බව සමුදී එකවරම හඳුනා ගත්තා.

තාරික දරුවෝ දෙන්නගේ දත් මද්දවලා අත් දෙකට දෙන්නව වඩාගෙන ගිහින් ඇඳෙන් තිබ්බා. පුංචි හිත් වලට පහුගිය දවස් වල ප්‍රශ්නය නොතේරුණත්, ඔවුන් දෙන්නා හරි බයෙන් හිටියේ. අද වැටුන ගමන්ම නින්ද ගියා.

ඉන් පස්සේ ඔවුනගේ කාමරයට නිදහසේ ගියපු තාරික සහ සමුදී ඉදිරි වැඩ පිළිවෙල ගැන සාකච්චා කළා. ලිපිය තාරිකගේ අනුදැනුම මත ආයතනයට යැවුවා. ඉන් පස්සේ සැහැල්ලු හිතෙන් දෙන්නා නිදා ගන්න ගියා.

ජීවිතේ කියන්නේ නොහිතන දේවල් වලට මුහුණදීම නෙවෙයිද? ඇයට කුඩා කාලයේ දහම් පාසලෙන් උගත් ගාථාවක් මතක් වුනා.

“ අවින්ති තම්පි භාවති – වින්ති තම්පි විනස්සති”

සිතු දේ නොම වේ. නොසිතු දෙය සිදුවේ. ඇය කෙත පාලු වූ ගොවියාගේ කතාව මුල සිට තාරිකට කියල දුන්නා. තාරිකට පුදුමයි නවීන තාලෙට ජීවත් වෙන විලාසිතා කරන ඇය තුල ඇති අවබෝධය. ආගමෙන් ගන්න පුළුවන් ලොකුම දේ ඒ ධර්මය ජීවිතේට ගලපා ගැනීම නෙවෙයිද කියල තාරික හිතුවා.

“ ඉතින් අම්මි … ඒ ගොවියාට මොකද වුනේ අන්තිමට?” ඔහු ඇගෙන් අහනවා.

“ එයාද …එයා අන්තිමේට ඒ පාලු කුඹුරට වඩා වටිනා නිධානයක් ජීවිතේට ගත්තා. ඒ තමා සෝවාන් පලය’

සමහර නරක සිද්ධි වෙන්නේ අපේම හොඳට වෙන්න පුළුවන්. හැබැයි මේ ප්‍රශ්නේ කොයි අතට පෙරලෙයිද දන්නේ නැහැ. නමුත් මම අතහරින්නේ නැහැ තාත්ති. මට ඉන්නේ කොල්ලෝ දෙන්නෙක්. දවසක මේ ගැන මගෙන් අහයි. එදාට මට දෙන්න උත්තරයක් තියෙන්න ඕනේ……

“ කොල්ලෝ දෙන්නෙක්. ඇයි අම්මි මට පොරොන්දු වුනා නේද නංගි බබෙක් ගේනවා කියල” ඔහු ඔන්න නෝක්කාඩු කියන්න පටන් ගන්නවා.

ආ …දැන් මේ ප්‍රශ්නේ ඉස්සෙල්ල විසදමු… නංගි බබෙක් ගෙනෙන්න කලින් එයාව ජීවත් කරන්න පරිසරයක් හදා ගන්න එපාය. අපි එක දරුවෙක් ගැන හිතද්දී දෙයියෝ දෙන්නෙක්ම දුන්නා. ඉතින් ලොකු වගකීමක් නෙ තාත්ති.

ඒ අතරේම දැන් නම් උපත් පාලනය ගැන ගොඩක්ම සැලකිලිමත් වෙන්න ඕනේ කියල ඇය හිතෙන් හිතුවා. හෙට අනිද්දම ඩොක්ටර් කෙනක් හම්බ වෙනවා. මේ කරදර මදිවට තව දරුවෙකුත් බඩට ආවොත්….. ඇය තදින් කල්පනාවට වැටුනා.

( ලබන සතියට)

SHARE

NO COMMENTS