රත්තරන් දුවේ මා වගේ වෙන්න නම් එපා

ම ඔයා වෙනුවෙන් මග බලාගෙන හිටියා. ඔයාව හම්බවෙන්න ඉද්දි විතරක් නෙවෙයි. මම පොඩි කාලේ බෝනික්කියෝ තුරුල් කරගෙන නිදිකරවද්දී, කවද්දී, පොවද්දී, සෙල්ලම් කරද්දී මම ඇත්තටම ආදරේ කලේ ඔයාට ..ඔයා කියන අනාගත චායාවට කියල මට හොඳටම විශ්වාසයි. ඔයාට රෑට නින්ද යන්න කතා කියන හැටි, ඔයාගේ ඔය ලස්සන කම්මුල් දෙක හිනාවෙද්දි වලගැහෙන හැටි පවා මම මගේ මනසින් සිය දහස් වතාවක් දැක තිබෙනවා දුවේ. මේ ඇත්තමයි.

fb- like-beg


අපි දෙන්නා අතරේ අසීමිත බැඳීමක් ගොඩ නැගිය යුතුයි කියල මම හැම වෙලේම හිතුවා. අම්මෙක් වගේම ඔයාට හොඳම යෙහෙළිය වීම තමයි මගේ එකම බලාපොරොත්තුව උනේ. මොකද මට මගේ ජීවිතේ ඒ ඉඩ නැති වුනා. ඒ කාලේ හැටියට වෙන්න ඇති, අත්තම්මා මට අම්ම වුනාට යෙහෙලියක් වුනේ නැහැ. මට ඒ අඩුව ගොඩක් දැනුණා මගේ දුවේ.

ඔයාට තියන හීන, ඔයාගේ රහස් ඒ වගේම ඔයා බය වෙන දේවල් ඒ හැම දෙයක්ම දන්නා කෙනා, ඔයාට ඇවිත් හැම දෙයක්ම හෙළි කරන්න පුළුවන් මේ ලෝකේ ඉන්න ආරක්ෂිතම කෙනා මම කියන එක ඔයා දැන ගන්න ඕනේ.

මම නිතරම හිතනවා අමාරු කාල වලට ඔයාට මුහුණ දෙන්න සිද්ධ වෙනවා කියල. මේ ලෝකේ සුන්දර හොඳ මිනිස්සු ඉන්නවා වගේම අසුන්දර නපුරු මිනිස්සුත් ඉන්නවා. ඔවුන්ගෙන් ආරක්ෂා වීමට ඔයා ශක්තිමත්, බුද්ධිමත් ගැහැනියක් ලෙස ලොකු විය යුතුයි.

නරකින් ඔයාව ආරක්ෂා කරන අතරේ ඕනෙම දේකට මුහුණ දෙන්න පුළුවන් විදිහට ඔයාව සූදානම් කරවන එකේ වගකීමත් මම ගන්නවා.

ඔයාට ඉවසීම, කරුණාවන්තකම, තමන්ගේ දේවල් බෙදා හදා ගැනීම වගේ උතුම් ගුණ ධර්මත් පුරුදු කරන්න ඕනේ කියල මම නිතරම හිතනවා.

හැම දේටම වඩා මම වගේ නම් වෙන්න එපා………

මා තරුණ කාලෙට එද්දී මම කවුද යන්නවත්, මගේ තැනවත් දැනගෙන හිටියේ නැහැ. හැම විටකම මම තව කෙනෙක් වගේ වෙන්න උත්සහ කළා. නමුත් ඔයා තේරුම් ගත යුතුයි “ඔයා ඔයාම බව” මේ ලෝකේ ඔයාට වඩා වෙනස් කෙනෙක් වෙන්න නෙවෙයි ඔයාගේ දෛවය තීරණය වෙලා තියෙන්නේ.

මිනිස්සු එකිනෙකා එකිනෙකාගෙන් වෙනස්. ජානමය උරුමය , හැදෙන වැඩෙන පරිසරය නිසා ඔවුන්ගේ වෙනස පේනවා. නමුත් ඒ වෙනස ඔබව ලස්සන කරාවි. ඒ වෙනස නැත්නම් අපි මිනිස්සු ජිරාෆ්ලා, සීබ්‍රෝ වගේ එකම වගේ වේවි. ඒ නිසා ඔයාගේ පෙනුමේ උනත්, ගතිගුණ වල උනත් ඇති වෙනස්කම් ගැන සතුටු වෙන්න. ඒ වෙනස් කම් ඔබව අලංකාර කරවනවා කියල හිතන්න.

නරක අත්දැකීම් නිසා තද හිතක් ඇති කර ගන්න එපා. හැම විටම නරක කරන මනුස්සයගේ පැත්තෙන් හිතන්න. එතකොට ඔයාගේ හිතේ කරුණාවක් ඇති වේවි. පාසලේදී මට කරදර කරපු ගැහැණු ළමයෙක් ගැන මම ගොඩක් තරහෙන් හිටියේ. නමුත් පසුව වැඩිහිටියෙක් ලෙස තෙරුම් ගියා ඇය ඒ වගේ හැසිරුනේ ඇයට ළමයෙක් ලෙස ආදරය නොලැබුන නිසා කියල. අදත් මම දුක් වෙනවා ඒ ළමයාගේ පැත්තෙන් හිතලා සමාව නොදීම ගැන. මගේ දුව මට වුන ඒ වරද කරන්න එපා.

තරහ ගිය වෙලාවක හෝ මොනම විදිහක ආවේගෙකින් ඉද්දිවත් මම නොහිතා කතා කරන්නේ නැති බව ඔයා දැකල ඇති. ඒ දැන්. වයසක ගැහැනියක් ලෙසයි. මම කුඩා කාලේදී සහ තරුණ වයසේදී කතා කරපු දේවල් ගැන පසුව කනගාටු වුනා. ආවේගෙන් කැළඹිලා ඉද්දි පසු තැවෙන්න වෙන දේවල් කලින් පිට කරන්න එපා. ඒ වෙලාවට කොලයක් අරගෙන ලියන්න. පස්සේ ආවේගය පහ වුනාම සුදුසු ලෙස කතා කරන්න.

හරි දේ මොකද්ද වැරදි දේ මොකද්ද කියල ඔයාම අදහසක් ගන්න. කිසිම දවසක අනික් අය කරන නිසා වැරදියි කියල ඔයාගේ හිත කියන දෙයක් කරන්න එපා. හැම විටම ප්‍රතික්ෂේප කරන්න තරම් හොඳ පෞර්ෂයක් ඇති කර ගන්න. ජීවිතේ ඔබ යන පාර ගැන, ඔබේ දක්ෂතා ගැන අනුන් කියන දේවල් විශ්වාස කරන්න එපා. මම මගේ ජීවිතේ ගොඩක් හොඳ අවස්ථා මගහැර ගත්තා අනුන් ඒ දේ මට කරන්න බැහැ කියන වචනය විශ්වාස කළ නිසා. ඔයාට විශ්වාස නම් ඔයාට යමක් කරන්න පුළුවන් කියල ඒ දේ විශ්වාස කරන්න. මම වගේ වෙන්න එපා.

පරාජය ලබන්න කිසිම වෙලාවක බය වෙන්න එපා. මම නම් බය වුනා. එක පරාජයක් ලබපු සැනින් නැවත උත්සහ නොකර සිටියා. නමුත් ඔයා දැන ගන්න ඕනේ පරාජයට බය නොවී අලුත් දේවල් උත්සහ කරලා බලන්න. මේ ලෝකේ ජයග්‍රහණය කරපු හැම ගැහැනියක්ම ගණන් කළ නොහැකි තරම් පරාජය වුනා. නමුත් ඔවුන් නැවත වරක් උත්සහ කරා. පරාජය තරම් හොඳ ගුරුවරයෙක් අපට නැහැ දුවේ.

මම ජීවිත ගමනේ මගේ මාවත හොයා ගත්තා. ඒ වගේම ඔයත් ඔයාගේ මාවත හොයා ගනීවි කියල මම බලාපොරොත්තු වෙනවා. ඔයාගේ අම්මගේ පාර නිසාවත්, අත්තම්මගේ පාර නිසාවත් ඔයාගේ පාර වෙනස් කර ගන්න එපා. ඔයාගේ ජීවිත ගමනේ ඔයා තෝරා ගන්න ඕනෙම මාවතක් පිළිගන්න, ඒ වගේම ඒ ගමන යන්න හැකි සියලු අයුරින් උපකාර කරන්න මම බැඳිලා ඉන්නවා.

මට ඔයා වෙනුවෙන් ජීවිතේ ගෙවන්න බැහැ. ඔයාගේ තීරණවල වගකීම ඔයා විසින් දරන්න ඕනේ. වටිනාම දේ අපි හරි සහ වැරදි තීරණ ගන්නවා. වැරදි තීරණ අපිට අනාගතේ වඩා හොඳ තීරණයකට මග පාදනවා.

අම්මෙක් විදිහට ඔයා ශක්තිමත්, සතුටින් ඉන්න ගුණගරුක පුරවසිනියක් ලෙස ලොකු වීම තමයි මගෙත් ඔයාගේ තාත්තගෙත් පැතුම. ජීවිතේ කාගේවත්ම සර්ව සම්පූර්ණ වෙන්නේ නැහැ.

මම ඔයා ගැන ගොඩක් ආඩම්බරයි. ඔයාට වඩා වැඩි සතුටක් මම ජීවිතෙන් බලාපොරොත්තු වෙන්නේ නැහැ. මගේ ලෝකේ ඉන්න හොඳම දරුවා තමයි ඔයා. ඒ වගේම මගේ ලෝකේ ඉන්න ලස්සනම, දක්ෂම, සම්පූර්ණම කෙනත් ඔයා….

ඔයාට වාසනාවන්ත ජීවිතයක් පතනවා,

අම්මි……………

SHARE

NO COMMENTS