“ජීවිතේ මේ වගෙයි.” – Part 22

සමුදී කියන්නේ උගත් , බුද්ධිමත්, නවීන ඒ වගේම ගොඩක් ධෛර්යමත් කාන්තාවක්. ඇයගේ වයස අවුරුදු 35 ක්. ඇගේ ආදරණීය ස්වාමියා තාරික අලහකෝන් සහ නිමුන් පුත්තු දෙන්න විහස්, විමාශ කියන මේ හතර දෙනාගේ ආදරණීය පවුලේ කතාව තමයි “ජීවිතේ මේ වගේ" කතාවෙන් කියවෙන්නේ. මේ සමහරවිට ඔබේම ජීවිතයේ පැතිකඩක් වෙන්නත් පුළුවන්.

සතිපතා කොටස් වශයෙන් පලවන කථාව

fb- like-beg


“ පරාජයන් හමුවේ නොසැලුන අපේ කාලයේ අම්මාගේ කතාව “ – 22 කොටස

ඊළඟ සතිය සමුදීගේ ගෙදර එලිය වැටුනා. ඇය ගෙදරනේ. තාරිකට ඇත්තටම හිතුනා ඇය වැඩට නොයවා ගෙදර හිටියා නම් තමන්ගේ ජීවිතේ කොතරම් සැපවත් වෙනවද කියල. ඒ අතරේම ඔහුට දුක හිතුනා සමුදී වගේ දක්ෂ කාන්තාවක් ගෙදරට කොටු වෙලා සිටීම ගැනත්. හොඳ ආහාර, පිරිසිඳු නිවසක්, තමා එද්දී සිනා මුසු මූණෙන් ඉදිරියට එන භාර්යාව මේවා නම් හරිම සතුටු දායක දේවල් ඕනෙම පිරිමියෙක්ට.

සිකුරාදා වෙද්දී ඇයට ඇගේ කාර්යාලයෙන් ලිපියක් ලැබුනා. සිද්ධිය විභාග කරපු ආයතනය දයාන් තිලකරත්නව මේ රටින් පිට වෙන රටකට මාරු කරන්න තීරණය කර තිබුනා. ඒ දැඩිව අවවාද කිරීමක් සමග. ඔහු වගේ දක්ෂයෙක් නැති කර ගන්නත් සමාගම සතුටු වුනේ නැහැ. නමුත් ඔහුගේ ක්‍රියාව ගැන ඔවුන් සමුදිගෙන් සමාව ඉල්ලුවා. ඇයගේ වසර දෙකක වැටුප වන්දියක් ලෙස දීමට ඔවුන් තීරණය කළා. නැත්නම් ඇයව නැවත සේවයේ පිහිටු වන්නට යෝජනා කළා.

නමුත් පරණ කාර්යාලයට නැවත යන්න සමුදී කැමති වුනේ නැහැ. ඒ වෙනුවට ඇය විශාල මුදලක් වන්දි ලෙස ලබා ගත්තා. කට වසාගෙන ලජ්ජාවට හිටියා නම් මේ කිසිවක් වෙන්නේ නැහැ. ඇය ජීවිතේ පලවෙනි වතාවට වගකීමක් නැතුව ගෙදරට වෙලා හිටියා. රසවත් ආහාර, විවේකය, චිත්‍රපටි කොයි තරම් හොඳ කාලයක්ද?

දවල් ඇගේ ගෙදර සීනුව නාද වෙද්දී ඇය හිටියේ සාලයට වෙලා පොතක් බලමින්. මහ ගිනි අවුවේ කාන්තාවක් ලස්සන අත්යන්ත්‍ර රෙදි වලින් කරපු බෙඩ් ශීට්, කොට්ට උර, නැප්කින් වගේ දේවල් අරගෙන ඇවිත්. මේ ගෙයින් ගෙට යන වෙළෙන්දියක්. අවුවේ රස්නේ නිසා සමුදී ඇයව ගෙට අරගෙන බොන්න කූල් බීමක් දුන්නා. බඩු ගන්න අතරේ ඇයගෙන් විස්තර ඇහුවා, මේවා ඉතාම ලස්සනයි. අයගේ සැමියා මැරිලා. දුවල දන්නෙක් සහ පුතෙක් ඉන්නවා. එක දුවෙක් පූර්ණ කාලීනව රෙදි විවීම සහ මැසීම කරනවා. අනික් කෙනා පාසල් යන නිසා නිවාඩුවට උදවු වෙනවා.. මේ කාන්තාව තවම තරුණයි. බාල කාලෙම විවාහ වෙලා.

සමුදිගේ හිතේ අලුත්ම අදහසක් පහල වුනා. ඇය ඒ කාන්තාව ගෙනාව සේරම බඩු ගත්තා. ඒ මේ ගැහැණිය මේ ගිනි අවුවේ දුවන්නේ නැතුව සැහැල්ලුවෙන් ගෙදර ගිහින් විවේක ගනියි කියලා හිතාගෙන. ඉන් පස්සේ ඇගේ දුරකථන අංකයත් ගත්තා. ඒ මේ කාන්තාවගේ රෙදි ගෙනත් ගෙදර අලුත්ම විදිහකට අලංකාර කරන්න හිතට අරන්.

සමුදිට යම් මට්ටමකට දැනුමක් තිබුනා ගේ දොර අලංකරණය කිරීම ගැන. ඇයගේ රුචිය ගොඩක් වෙනස්. කොච්චර කාර්ය බහුල වුනත් ගෙදර ඉතාම ලස්සනට තියා ගන්න හරි උනන්දුයි ඇය. ඉන් පස්සේ වෙබ් අඩවි වලට ගිහින් අලුත්ම අලුත් ක්‍රම ගැන අධ්‍යනය කළා.


ඊළඟ සෙනසුරාදා තාරිකත් ගෙදර නිසා ඔවුන් දෙන්න එකතු වෙලා බුරියානි පිළියෙළ කළා. ලඟදි වෙච්ච බිය ජනක සිද්ධියට පස්සේ ඔවුන් බොහොම සැහැල්ලුවෙන් ගත කරපු කාලයක්. මින් පස්සේ මොකද කරන්නේ කියන අදහස සමුදිගේ හිතට ආවේ නැහැ. ඇය තවමත් තීරණයක නෙවෙයි හිටියේ. ඔවුන් හතර දෙනාම පිට රටකට පදිංචියට යන්න ඕනේ කියල වරෙක ඇය සිතුවා.

නමුත් තාරික මේ අදහසට කැමති වුනේ නැහැ එතරම්. මොකද එතකොට ලොකු හාමිනේ ලංකාවේ තනි වෙනවා. ඒ වගේම විදේශ රට වලදී නිතරම තමන්ට ලැබෙන්නේ දෙවෙනි තැන නිසා ඔහු ඒ ගැනත් නිතරම හිතුවා. ඔහුත් තමන්ගේ වුර්තිය ගැන ලොකු අධිෂ්ටානෙකින් , සැලසුමකින් හිටියේ.

සමුදිගේ පරණ යෙහෙලියක් වුන නිනී කාලෙකට පස්සේ ගෙදර ආවෙත් ඔන්න ඔය සෙනසුරාදාමයි. නිනී තාරික දැකල බඩ අල්ලාගෙන හිනා වුනා.

“බුදු අම්මෝ තාරික අයියා….. අඳුරන්න වත් බැහැ. ඔයාගේ බඩේ සයිස් එක” හිනා වුනත් තාරිකට ගොඩක් ලජ්ජා හිතුනා.

එදා හරිම සතුටු දවසක් පොඩි එකෙක් වගේ නිනී දරුවෝ දෙන්නා එක්ක සෙල්ලම් කරා. ඉන් පස්සේ හවස පොඩි එවුන් කාල නිදන්න ගිය වෙලාවේ තාරිකත් පත්තර ටික කියවන්න පටන් ගත්තා.

වෙනදට ඔහු පත්තර බලද්දී සමුදී ලඟට ඇවිත් කුරු කුරු ගානවා. නමුත් අද නිනී එක්ක ඔක්කොම ඕපදූප ටික කතා කරන්න හොඳ වෙලාවක්නෙ. දෙන්නගේ පාසල් කාලේ ඉඳල යාළුවො ගැන ගොඩක් දේවල් දෙන්නා කතා කළා.

“අනේ මේ ලස්සන නැප්කින් කොහෙන්ද සමු? මම සල්ලි දෙන්නම් මේ ටික මට දෙන්නකෝ “

“ අනේ මට සල්ලි එපා නිනී… මම ගොඩක් ගත්තා . තව ගන්න පුළුවන් “ කියල කැමැත්තෙන්ම සමුදී නැප්කින් 6 ක් නිනීට දුන්නා. ගෙදරට ආව නිනීට ලස්සන තෑග්ගක් දුන්න නිසා සමුදිට ගොඩක් සතුටුයි.

හවස නිනී ගෙදර ගියාට පස්සේ සමුදියි තාරිකයි කාමරේට ගියා. ඔවුන් දෙන්නට නිදහස් කාලයක්. සමුදී කොතරම් රූමත්ද කියල දකින හැම වෙලාවකම තාරික ඇය දෙස බලාගෙන ඉන්නවා. විවාහ වෙලා කොතරම් කාලයක් ගියත් ඔහු ඇයට හරිම ආදරෙයි. පසුගිය දවස් වල නිසි ලෙස ආහාර නොගත් නිසා ඇය කෙට්ටු වෙලා බව තාරිකට පෙනුනා.

කෙට්ටු වෙලා සුදුමැලි වෙලා සිටියත් ඇයගේ වයස අඩු වෙලා වගේ නේද? කියලත් තාරික වරෙක කල්පනා කළා. ඇය නිනී ගැන යමක් කියමින් හිටියේ. ඔහු එක වරම ඇයව උස්සලා කර උඩට දා ගත්තා. හරියට හමුදාවේ කෙනෙක් තුවාල ලැබිච්ච සෙබලෙක්ව ගෙනියනවා වගේ. පාසලේ ශිෂ්‍ය භට බලඝණයේ හිටපු සමුදිට මේක නුහුරු නැහැ. නමුත් ඇය ශරීරයෙන් කුඩා නිසාත් තාරික ඉතාම විශාල නිසාත් මේක හරිම පහසුවෙන් කරන්න පුළුවන් දෙයක්.

ඇයගේ මුහුණ ඔහුගේ පිට දෙසට හැරෙනවා මෙහෙම උස්ස ගත්තහම.
“ තඩියා…මාව බිමට බානවද නැද්ද? “කෑ ගසමින් ඇය ඔහුගේ පිටට හෙමින් පහර දුන්නා. තඩියා…මම හපනවා…. කියමින් තවත් හයියෙන් හිනා වුනා.

“පැටියෝ පුතාල දෙන්න ඒවි.. මම ඔයාව මරන්න හදනවා” කියල. ඔහු ඇයට හෙමින් කෑ ගහන්න මතක් කරා….

“තාත්ති මාව බස්සන්න….. අනේ තාත්ති……”

ඔහු එක වරටම ඇයව පරිස්සමෙන් ඇඳට පහත් කළා….

ඔහු නැවත වරක් ඉක්මනින් නැගිටලා ගිහින් දොර ලොක් කරලද කියල බලලා ඇඳ උඩට පැන්නා…..

(සමුදිගේ අලුත්ම ජීවිතේ ආරම්භය ලබන සතියට)

SHARE

NO COMMENTS