“ජීවිතේ මේ වගෙයි.” – Part 23

සමුදී කියන්නේ උගත් , බුද්ධිමත්, නවීන ඒ වගේම ගොඩක් ධෛර්යමත් කාන්තාවක්. ඇයගේ වයස අවුරුදු 35 ක්. ඇගේ ආදරණීය ස්වාමියා තාරික අලහකෝන් සහ නිමුන් පුත්තු දෙන්න විහස්, විමාශ කියන මේ හතර දෙනාගේ ආදරණීය පවුලේ කතාව තමයි “ජීවිතේ මේ වගේ" කතාවෙන් කියවෙන්නේ. මේ සමහරවිට ඔබේම ජීවිතයේ පැතිකඩක් වෙන්නත් පුළුවන්.

සතිපතා කොටස් වශයෙන් පලවන කථාව

fb- like-beg


“ පරාජයන් හමුවේ නොසැලුන අපේ කාලයේ අම්මාගේ කතාව “ – 23 කොටස

පහුවෙනිදා උදේ සමුදී වෙනදා වගේම පහට ඇහැරුනා. ආහාර පිසලා පෙට්ටි වලට අසුරලා ඉවර වෙද්දී පුත්තු දෙන්න ලැහැස්ති වෙලා. දැන් දෙන්නම තනියම ඇඳ ගන්නවා. සමුදි බලනවා විතරයි. හැමදේම අතට පයට කරලා දුන්නම ළමයි ගොඩක් කම්මැලි වෙනවා. ඒ වගේම මූලික හැකියා වලින් අඩු වෙනවා. මෙයාලගේ පන්තියේ සමහර දරුවෝ වැසිකිලියට ගිහින් සෝදා ගන්නවත් දන්නේ නැහැ.

දවසක් සමුදී මොන්ටිසෝරියෙන් කුඩා කාලේ මේ දෙන්න ගන්න යද්දී ටීචර් සමුදිට එන්න කීව. මොකක් හරි දඟ වැඩක් වෙන්න ඇති කියල හිතාගෙන සමුදී ටීච ගාවට ගියා. නමුත් එදා පාසලේ දරුවෙක්ට වැසිකිලි යන්න ඕනේ වෙලා විහස් ගිහින් ඒ දරුවට වැසිකිලිය පාවිච්චි කරන හැටි කියල දීල, සබන් දාල අත් දෙක හෝදන්නත් ඉගැන්නුවාලු. මේක දැකපු පොඩි ටීචර් පන්තියේ දරුවෝ ඔක්කොම ගෙනත් විහස්ට අප්පුඩි ගහලා.

සමුදි කවදාවත් ඔවුන්ගේ ඉගෙන ගැනීමේ ලකුණු පස්සේ පැන්නුවේ නැහැ. නමුත් ඇය ආචාර ධර්ම, මූලික හැකියා ගැන නම් හිටියේ බොහොම තදින්. දරුවා කරපු හොඳ ක්‍රියාව නිසා සමුදිගේ ඇස් දෙක කඳුලින් තෙත් උනේ නොදැනීමයි.

ඔවුන් මොනවට හරි ලකුණු අඩු වුනොත් ඇය කවදාවත් ඒක ගණන් ගන්න බව පෙන්නුවේ නැහැ. නමුත් හේතුව හොයල පිලියමක් යෙදුවා. මේ නිසා හිතේ සැහැල්ලුවෙන් හිටපු මේ දරුවෝ දෙන්න පාඩම් වලටත් දක්ෂ වුනා. ඔවුනට ආදරය කිරීමට, සතුටින් තැබීමට වඩාත් මේ කාලේ යෙදිය යුතුයි කියල සමුදී නිතරම සිතුවා.

මේ අතරේ සමුදී ගෙදර නිසා ගොරෝ ගොරෝ නිදා ගත්තු තාරික නැගිට්ටේ පොඩි වුන් දෙන්නව වෑන් එකට බස්සවන්න. ඔහු ඇස් දෙකත් පිහ පිහා දරුවොත් එක්කගෙන ගියා. මේ අතරේ ගෙවල් අතු ගාන්න පටන් ගන්න කලින් සමුදී ව්‍යායාම කරන්න පටන් ගත්තා. තාරිකත් ඇවිත් ඇය එක්ක ව්‍යායාම කළා. අලි හොරෙක් වෙච්ච ඔහු අද කැමැත්තෙන්ම ව්‍යායාම කරන්න ගත්තේ පෙර දිනයේ සමුදිගේ යාලුවා නිනී ඔහුට හිනා වෙච්ච නිසයි. මේක දැකපු සමුදිට හිනා ගියත් ඇය කිසිම විශේෂයක් පෙන්නුවේ නැහැ.

උදේ නාගෙන තාරික වැඩට ගියේ සැහැල්ලු හිතෙන්. පුරුදී විදිහටම පොඩ්ඩෝ දෙන්නත් දිවා සුරැකුම් මධ්‍යස්ථානයට යන නිසා හවස වෙනකම් ඇය නිදහස්. වැඩ ටික කරලා නාල ඉවර වෙද්දී දහයත් පහු වෙලා. හෙමින් සීරුවේ FB එක පැත්තේ රවුමක් දාන්න ඇය පරිඝනකය දිග හැර ගත්තා.

Notification 100 ක් විතර ඇවිත් . මැසේජ් 22 ක්. සමුදී පුදුම වෙලා බැලුවා. කවුද මට මෙච්චර මැසේජ් එවන්නේ?

දෙවියනේ ඊයේ අරගෙන ගියපු නැප්කින් සහ table mats නිනී FB දාල. සමුදිවත් ටැග් කරලා. සමුදිට උණුසුම්ව ස්තුති කරලයි මේක දාල තිබුනේ. ඉතින් මේක දැක්ක අනික් යාළුවොන්ටත් මේ දේවල් සමුදිගෙන් සල්ලි වලට ගන්න ඕනේ වෙලා. සේරම මේවගේ ලස්සන දැකල පිස්සු වැටිලා.

ඔවුනට වෙන වෙනම උත්තර යවලා සමාව ඉල්ලුව සමුදී මොහොතකට කල්පනාවට වැටුනා. ඇත්තටම මට මේ වගේ දේවල් එක්ක බිස්නස් එකක් පටන් ගන්න බැරිද? ඒත් මම මේ කිසිම දෙයක් දන්නේ නැහැනේ. හොඳයි එදා ආව කුසුමාගෙන් ඉගෙන ගත්තොත්. නැත්නම් කුසුමා මහන එවුවා මම FB එක හරහා ගානක් තියාගන යාලුවන්ට විකුණුවොත්. කුසුමට ගිනි කාෂ්ටකේ ගෙයින් ගෙට යන්න වෙන්නෙත් නැහැ.

කොහොම උනත් මම ලබන සතියේ එහෙ යන්නනේ ඉන්නේ රෙදි ගේන්න. ගෙදරට අලුත් කර්ටන් දාන්න ඕනේ. ඒ අතරේ අලුතෙන් පාට ගාන්න බාස් කෙනෙක් හොයන්නත් ඕනේ. සේරම ඔලුවේ වැඩ කරද්දී ඇයට කල්පනා වුනා ලොකු හාමිනේ සිකුරාදාට මෙහෙ එනවා කියල. කාලෙත් එක්ක දැන් ලොකු හාමිනේ උනත් ගොඩක් වෙනස්. සමුදිට වෙනස්කම් කිරීම කරත් වැඩියෙන්ම කරේ නැහැ. ඒත් ඉතින් නැන්දම්මා එද්දී සමුදිට තිබුනේ තිගැස්මක්.

එදත් හොඳින් විවේක ගත්ත සමුදී හවස රසම රස කැරමල් පුඩින් එකක් හදලා ෆ්‍රිජ් එකට දැම්මා. තාරිකට සහ පොඩි එවුන්ට කන්න. අම්මෙක් උනාම, බිරිඳක් උනාම ඉතින් හැම දෙයක්ම කරන්නේ පවුලේ සතුට වෙනුවෙන්නේ.


කියවන්න –

නිර්මාංශ ආහාර – රසම රස පුඩිං වර්ග 3ක්


ඉන් පස්සේ ඇය නාන කාමරයට ගිහින් හොඳ සත්කාරයක් කර ගත්තා. මුළු ශරීරේම බොඩි ස්ක්‍ර්බ් කරන්න ගොඩ කාලෙකින් ඇයට බැරි වුනා. මුලින්ම බොඩි වොෂ් එකට සීනි හැඳි කීපයක් දාල ඇඟේ හොඳින් ආලේප කළා. කවුරුත් නැති නිසා නිදහසේ කරන්න වෙලාවක් තියනවනේ. ඉන් පස්සේ ඇය ඇඟ පිහදලා වෙනිවැල් කුඩු, කඩල පිටි සහ සුදු හඳුන් කුඩු තලපයක් හදලා ශරීරයේ ගෑවා. ඊයේ සැලුන් එකෙන් “ක්ලීන් අප්” එකක් කරපු නිසා මූනට මුකුත් සත්කාර අවශ්‍ය නැහැනේ.

ඒ පැක් එක වෙලෙනකම් ඇය කකුල් ෂැම්පු මිශ්‍ර උණුවතුර භාජනයක විනාඩි පහක් පමණ ගිල්ලගෙන හිටියා. ඉන් පස්සේ මැරුණ හම ඇඟ අතුල්ලන පියුමිස් ස්ටෝන් එකෙන් ඇතිල්ලුවා. බ්‍රෂ් එකකිනුත් ඇතිල්ලුවා. නියපොතු කපලා නිසි ලෙස මැනිකියෝ එකෙන් ගා ගත්තා.

ඉන් පස්සේ ඇඟ මද රස්නේ වතුරෙන් සබන් නොදා හොඳින් හේදුවා. ඇයට දැනුනේ පුදුමාකාර සනීපයක්.

“ඕ මට කොච්චර නිදහස් කාලයක්ද කියල ඇය කල්පනා කරන්නට පටන් ගත්තේ. නිදහසේ සොෆාවට වෙලා පොතක් කියවන අතරේ හොඳ බෙලිමල් කෝප්පයක් බොන ගමන්. සමුදී සීනි කෑවේ ගොඩක් අඩුවෙන්. ඇයගේ අසීමිත රූමත්කමට එක හේතුවක් සීනි පාවිච්චි නොකිරීම වෙන්න පුළුවන් කියල තාරික ඇතැම් විට හිතුවා.

කලින් ඇගේ කකුල තිබ්බ හැටි මතක් වෙලා සමුදිට ලජ්ජා හිතුනා. තාත්ති මාව අල්ලද්දී කොස් කට්ටක් වගේ තේරෙන්න ඇති. ඇත්තටම වැඩ නිසා රූපය ගැන සැලකිලිමත් නොවෙන්නේ ඇයි? කියල සමුදී කල්පනා කළා.

විවාහ වුනාට පස්සේ ගොඩක් ගැහැණු අය රූපය ගැන හිතන්නේ නැහැ. වැඩ වැඩි නිසා. නමුත් එක වැරදියි. විවාහයෙන් පස්සෙත් ඔබේ සැමියා ඔබ කෙරෙහි ආකර්ශනීය වෙන්න ඕනේ. ඇත්තටම විවාහයෙන් පස්සෙත් ඔහු ඔබ දිහා බලනවා කියල අමතක කරන්න එපා. ඒ නිසා මීට පස්සේ නම් දැනටත් වඩා තමාගේ රූපය ගැන හිතනවා කියල සමුදී තමාටම පොරොන්දු වුනා.

ඇය හිතුවා අද රාත්‍රී කෑම කඩෙන් කන්න ඕනේ කියල. ඒ නිසා ආහාර පිසුවෙත් නැහැ. හවස හය හමාර වෙද්දී දරුවෝ දෙන්න එක්කගෙන තාරික ආවා. විහස් සහ විමාශ එක පයින් පැනලා අම්මිගේ එල්ලුනා. ඇයට අත දෙන්න ඉදිරියට ආව තාරික මොහොතකට පස්සට වෙනවා ඇයට දැනුණා.

දරුවෝ දෙන්නා අත් දෙකට වඩාගෙන ( ඇය කොහොමත් දෙන්නවම හුරතල් කලේ එකට. එකිනෙකා ගැන ඉරිසියා වේවි කියා බයට) තාරික වෙතට ගියා …
”කෝ මගේ තාත්තියා” කියමින් ඔහුට මුහුණ දිගු කළා.

තාරික තුන් දෙනාවම බදාගෙන සමුදිගේ දෙතොලට සැහැල්ලු හාද්දක් තිබ්බා.
ඔවුන් හතර දෙනාම තාරිකව ඉස්සර කරගෙන විහස් දෙවනුවත් විමාශ තුන් වෙනිවත් පෙරහරක් වගේ උඩු මහලට ඇදුනා.

සමුදී පිටි පස්සේ ඉඳගෙන “ උඩරට මැණිකේට පට කුඩා දෙක දෙක…..” කියල හයියෙන් ගායනා කරද්දී පුතාල දෙන්න කොච්චි වගේ හූ කියන්න පටන් ගත්තා.

තාරිකව ඇඳුම් පිටින්ම ඇඳේ පෙරලා ගත්ත පොඩි වුන් දෙන්නා පොර අල්ලන්න පටන් ගත්තා. ඔවුන් දෙන්නගේ ඇඟවල් වලට යට වෙලා හිටපු සමුදී අමාරුවේන් නැගිට්ටේ තාරිකට තේ හදලා පොඩි වුන් දෙන්නට හවස කිරි හදන්න.

“කෝ අහකට වෙන්න මගේ පුතේ….. තාත්තිට තේ එකක් හදන්න ඕනෙනේ. පවු තාත්ති….. මහන්සි ඇති”

SHARE

NO COMMENTS