සම්මුඛ පරීක්ෂණයකින් අනිවාර්යයෙන්ම සමත් වෙන්න අලුත් ක්‍රමයක්

ම්මුඛ පරීක්ෂණ කියන්නේ ජීවිතයේ අපි හැමෝමටම අභියෝගාත්මක අවස්තාවක්. කෙනෙකුට මෙය බොහොම පහසු සරල අවස්තාවක් විය හැකියි. ඒ වගේම තවත් කෙනෙකුට මෙය ඉතාම අපහසු කරදරකාරී අවස්තාවක් විය හැකියි. ඒ කෙසේ වුවත් සම්මුඛ පරීක්ෂණයක් කියන්නේ හැම දෙනාගේම ජීවිතයේ තීරණාත්මක අවස්තාවක්. මේ ලිපියෙන් කියන්න යන්නේ ඒ තීරණාත්මක අවස්තාව පහසු කර ගන්නා ක්‍රමයක් ගැනයි.

fb- like-beg


සම්මුඛ පරීක්ෂණයකට සහභාහී වන්නේ ඔබ පමණක් නොවෙයි. එයට විවිධ ආකාරයේ විවිධ සුදුසුකම් හා පළපුරුදු ඇති අයදුම්කරුවන් විශාල ප්‍රමාණයක් පැමිණෙනවා. මේ සියල්ලන් අභිබවා ඔබගේ සුදුසුකම් ඉස්මතුකර ඔබේ සේවායෝජකයාගේ අවධානය ඔබ දිනාගත යුතුයි.

මෙලෙස සේවායෝජකයාගේ අවධානය දිනා ගැනීමට ඔබට විවිධ ක්‍රම අනුගමනය කළ හැකියි. ඔබ කතාබහේ දක්ෂයෙකු නම් ඒ තුලින් ඔබට ඔබ පිළිබඳ ආකර්ශනීය විස්තරයක් ඉදිරිපත් කළ හැකියි. මේ විධියට කෙනෙකුගේ අවධානය දිනා ගැනීමට තවත් සුදුසුම ක්‍රමයක් වන්නේ දෘශ්‍ය මාධ්‍යයයි. ඔබට හැකි නම් ඔබේ දක්ෂතා, පළපුරුද්ද ඔබේ කුසලතා ආදිය පිළිවෙලකට සකස් කර සරල ලිපිගොනු සැලැස්මක් සකස් කර ගැනීම වඩාත් සුදුසු ක්‍රමයකි. සාමාන්‍යයෙන් අප සිදු කරනුයේ අපගේ ජීව දත්ත පත්‍රිකාව සහ අනෙකුත් සහතික ආදිය පමණක් ෆයිල් කවරයක දමාගෙන යාමයි. එහෙත් එයට වඩා කාල වකවානුද ඇතුලත් කර සැලැස්මක් (Portfolio) සකස් කර ගැනීමෙන් ඔබව පරීක්ෂණයට ලක් කරන පාර්ශවයට ඔබ පිළිබඳ සම්පුර්ණ විස්තරයක් ලබා ගත හැකි වේ. එනිසා ම ඔබ ට වැඩි අවධානයක් ද හිමි වේ.

ඔබගේ ජීව දත්ත පත්‍රිකාව මගින් ඔබේ සුදුසුකම් තහවුරු කළද ඔබගේ හැකියා සහ දක්ෂතා ඉස්මතු කිරීමට තරම් එය ප්‍රමාණවත් නොවේ. එමෙන්ම ඔබටම ඔබගේ හැකියා විස්තර කළහැකි වුවත් එහිදී ද ඔබ සිටින පීඩනයත් සමග ඇතැම්විට ඔබට එය නිසියාකාරව කර ගත නොහැකි විය හැක. එනිසා දෘශ්‍ය මාධ්‍යය භාවිතා කිරීම මීට හොඳම විසඳුමයි

අසාර්ථක වූ සම්මුඛ පරීක්ෂණ කිහිපයකට පසු මමත් එක සම්මුඛ පරීක්ෂණයක් සඳහා මේ ක්‍රමය යොදා ගත්තා. මා සිතු ලෙසටම එය සාර්ථක වුණා.

මෙවැනි කාර්ය සැලසුම් ලිපි ගොනුවක් සකස් කිරීමට ක්‍රම රාශියක් තිබෙනවා. එහි ආකෘතිය ඔබ අයදුම් කරන රැකියාව අනුව වෙනස් විය යුතුයි. උදාහරණයක් ලෙස ඔබ කළමනාකරණ ක්ෂේත්‍රයේ රැකියාවක් බලාපොරොත්තු වන්නේ නම් ඔබගේ පළපුරුද්ද සහ ඔබ කටයුතු කල ක්ෂේත්‍රය මෙන්ම කොපමණ කලක් එක් එක් තනතුරේ කටයුතු කලේද ආදී සියල්ල පැහැදිලිව වෙන් වෙන්ව දැක්විය යුතුය. එමෙන්ම මෙය ඉතාමත් ආකර්ශනීය ලෙස සකස් කල යුතුය. ඒ සඳහා ඔබට Power Point භාවිතා කල හැක.

මෙය සෑදීමේදී ඔබ අයදුම් කරන රැකියාවට අදාලව ඔබ සතුව ඇති සුදුසුකම් වඩා ඉස්මතු කර දැක්වීම ඉතා වැදගත් වේ. මෙහිදී අදාළ තොරතුරු ඉතා පැහැදිලිව සහ කෙටියෙන් දැක්වීම සඳහා වගු, ප්‍රස්තාර ආදිය භාවිතා කිරීමද ඉතා යෝග්‍ය වේ. එමෙන්ම ඔබ සතුව එයට වැදගත් වන පින්තුර ඇත්නම් ඒවාද එයට ඇතුලත් කරන්න. එය වඩාත් ආකර්ශනීය වේ.

මෙලෙස ඔබේ සහතික පත්‍ර එකතුවට අමතරව මෙම ලිපි ගොනු සැලැස්ම රැගෙන යාමෙන් ඔබට අනෙක් අයදුම්කරුවන් අතරින් විශේෂ අවධානයක් දිනාගත හැකි වේ.

ඒ වගේම ඔබ මෙය සෑදීමෙන් පසු එහි පිටපත් දෙකක්වත් රැගෙන යාමට අමතක නොකරන්න. එවිට ඔවුන් ඔබෙන් එකක් ඉල්ලුවහොත් ඔබට එය ඔවුනට ලබා දිය හැකිවේ. ඔබේ සම්මුඛ පරීක්ෂණය සඳහා ඔබ මෙවැනි අලුත් දෙයක් එකතු කර ගැනීමෙන් ඔබට තවත් වාසියක් ලැබේ. එනම් ඔබ මේ සඳහා ඉතා මහන්සි වී ක්‍රියා කර ඇති බවයි. එයින් ඔබේ උනන්දුව ඔවුනට වැටහේ.

මෙලෙස සැලසුම්සහගතව ඔබේ ජීවිතයේ අභියෝගාත්මක අවස්ථාවට මුහුණ දුන්නොත් ඔබේ ජීවිතයේ සාර්ථකත්වය ඔබට නිසැකවම හිමිවනු ඇත.

SHARE

NO COMMENTS