“ජීවිතේ මේ වගෙයි.” – Part 24

සමුදී කියන්නේ උගත් , බුද්ධිමත්, නවීන ඒ වගේම ගොඩක් ධෛර්යමත් කාන්තාවක්. ඇයගේ වයස අවුරුදු 35 ක්. ඇගේ ආදරණීය ස්වාමියා තාරික අලහකෝන් සහ නිමුන් පුත්තු දෙන්න විහස්, විමාශ කියන මේ හතර දෙනාගේ ආදරණීය පවුලේ කතාව තමයි “ජීවිතේ මේ වගේ" කතාවෙන් කියවෙන්නේ. මේ සමහරවිට ඔබේම ජීවිතයේ පැතිකඩක් වෙන්නත් පුළුවන්.

සතිපතා කොටස් වශයෙන් පලවන කථාව

fb- like-beg


“ පරාජයන් හමුවේ නොසැලුන අපේ කාලයේ අම්මාගේ කතාව “ – 24 කොටස

සමුදී සාමාන්‍යයෙන් නිදන කාමරේදී ඇරෙන්න කොයිම වෙලාවක වත් නයිටි ඇඳගෙන ගේ ඇතුලේ ඉන්නේ නැහැ. ඒ ඇයට අම්ම දුන්න පුරුද්දක්. අයියල දෙන්නෙක් එක්ක ලොකු වුන නිසාදෝ අම්ම කුඩා කාලෙම ඇයට උදේට නාල සුවඳ ගහගෙන නිසි පිළිවෙලට ඇඳගෙන තමයි එලියට එන්න දුන්නේ.

කවදාවත් බ්‍රෙෂියර් එක ඇඳගෙන නැතුව එලියට ආවොත් එහෙම ඇය සමුදිට ගැහුවා. සමුදිට හිටියෙත් පුතාල දෙන්නෙක්. මොවුන් පුංචිම කාලේ ඇරෙන්න අවුරුදු දෙක පහු වුනාට පස්සේ නම් කිසිම දවසක ඔවුන්ට පේන්න ඇඳුම් මාරු කරන්නේ නැහැ. තමන්ගේ ශරීරෙ කියන්නේ පුද්ගලික දෙකක් කියන හැංගීම කුඩා කාලේ සිටම ඇති කරන්න ඕනේ. නැත්නම් දරුවෝ තැන නොතැන බලලා ඇඳුම් මාරු කරන්න පුරුදු වෙනවා. එය ළමා අපචාරකයෙක්ට වුනත් හොඳ අවස්තාවක්. ඒ වගේම දරුවෝ නාවන්න පුළුවන් දෙමාපියෝ දෙන්න සහ අත්තම්මට විතරමයි.

උදේට උයද්දී දාඩිය දාන නිසා වෙනම ඇඳුමක් ඇඳගන්න තියල තියෙන්නේ. එය ඇය අඳින්නේ ගෙදර් වැඩ කරන වෙලාවට විතරයි. නයිටිය පිටින් ඇය කවදාවත් කුස්සියට ගියේ නැහැ.

අද මහන්සියෙන් උයමින් ඉද්දි තාරිකත් උදේම නැගිටලා ඇය ලඟට ආවා. ඉස්සුන ටී ෂර්ට් එක අතරින් ඔහුට ඇයගේ උදරය පේනවා. දරු උපත් වෙලා වසර කීපයක් ගියත් නිමුන්නු නිසාද කොහෙද ඇගේ බඩේ තද කළු පාට ඉරි තාමත් තිබෙනවා. විවාහයට පෙර තිබුන හැටි තාරිකට මතක් වුනා. මේ ගැහැණිය ගැන ඔහුගේ හිතේ ඇති වුනේ අප්‍රමාන අනුකම්පාවක් සහ ආදරයක්.

තමන් නිසා ඒ වගේම තමන්ගේ දරුවෝ නිසා මේ ගැහැණිය මුළු ලෝකේ තියන හැම දෙයක්ම තමන්ට දන් දුන්නා නේද කියල ඔහු කල්පනා කළා. ඔහු හෙමින් පිටිපස්සෙන් ඇවිත් ඇයගේ උරහිස බදාගෙන හිස සිප ගත්තා. මොහොතක් ඔහුගේ උණුසුමේ ගුලි වුන ඇය ඊළඟට අයින් වුනේ හොද්දේ කිරි කැටි ගැහෙන නිසයි.

සමුදිගේ ගෙදර නතර වීමත් එක්කම පවුලේ සතුට වැඩි වුනා. නමුත් උපයන්නේ නැතුව ජීවත් වීම සමුදිට ගැලපුනේ නැහැ. මේ ජීවිතේ කොතරම් නිදහස් වුනත් මනුස්සයෙක් ලෙස තමාට ආර්ථික ස්වාධීන කමක් ඇති විය යුතු බව සමුදී නිතරම කල්පනා කළා. ජීවිතේ ඕනෙම වෙලාවක ඕනෙම දෙකට සූදානමෙන් ඉන්න ඕනේ කියන එක ඇය අදහන සත්‍යයක්.

තාරික කුඩා කාලේ පියා මිය ගියා. ලොකු හාමිනේ උනත් ඔහුට ඉගැන්නුවේ ගැහැනියක් වුනාම ඕනෙම දෙකට ලැහැස්ති පිට තමන් ආර්ථිකව ස්වාධීන විය යුතුයි කියල. ඒ නිසා සමුදිව ගෙදර කොටු කරන්න කොහෙත්ම බලාපොරොත්තුවක් තාරිකට තිබුනේ නැහැ. ඇය කියන දෙකට උදවු වෙන්න ඔහු ඉති සිතින් බැදී හිටියා.

“තාත්ති අපි මේ සතියේ සෙනසුරාදා අර මම කිවුවේ .. දොම්පේ යමු නේද? මට ගෙදරට රෙදි ගෙන්න ඕනේ. “

ඇත්තද අම්මි…අපි යමු එහෙනම්. ඔහු සතුටින් එකඟ වුනා.

ඊළඟ දවස සිකුරාදා නිසා ලොකු හාමිනේත් ගමේ සිට ආවා. කෝච්චියෙන් ඇවිත් ඇයට මහන්සි නිසා සමුදී ත්‍රීවීල් එකක් අරගෙන ස්ටේෂන් එකට ගියා නැන්දම්මව එක්ක එන්න. ඒක දැක්ක ලොකු හාමිනේට සතුටුයි ඒ වගේම තරහා ගියා. මේ වාහනේ ගිනි රස්නේ එක්ක සමුදී ආව එක ගැන.

“ ඇයි කැබ් එකක් නැති වුනාද? දුවේ මේ අවුවේ වැදගත් ගැහැණු ළමයි ත්‍රීවිල් වල යනවද? ඔන්න දොස් මුරේ…පටන් ගත්තා.

මම මේ එකකට අත දාලා නැගල එනවනේ මොකට දුව මේ අවුවේ ආවද? අනේ අම්මේ අපේ පැත්තත් කර වෙලා. ඒ මදිවට කිරි ගෙදර කළු ගොනා ලෙහලා අපේ වත්තට දක්කලා. ඌ මගේ මුණුබුරන්ට වවපු සේරම කොළ කෑවා……

අනේ දෙයියනේ.. මිනිස්සු සත්තු අනුන්ට කරදයක් නැතුව හැදුවොත් හොඳයි නේද?

සමුදිට හිනා යන්න ආවත් ඇය හිනාව තද කරගෙන ලොකු හාමිනේ ගෙනාව සේරම බඩු ටික ත්‍රී විල් එකේ පටව ගත්තා. පෙට්ටියක කෙහෙල් කැනක්, ලොකු අලුවා පාර්සලයක්. තව පෙට්ටියක අඹ.

සමුදිට ඇතිවුනේ කියා ගන්න බැරි තරම් අනුකම්පාවක්. තනියම පුතෙක් හදලා …අනේ ඉතින් කොච්චර කෑ ගැහුවත් සේරම කරන්නේ අපිටමනෙ තාම කියල සමුදී හිතුවා.

ලොකු හාමිනේ ගමේ ඉන්නේ තරමක් අහන්කාරෙන්. තමන්ගේ ලස්සන ලේලි ගැන. ඒ වගේම ඇය තරුණ කාලේ කිසිම දවසක පයින් ගමන් බිමන් ගියේ නැහැ. සැමියා නැතුව කතාවක් නොහැදෙන්න ඕනේ නිසා රියදුරෙක් තියා ගන්න ඇය කැමති වුනෙත් නැහැ. ඒ නිසා සැමියා මිය ගියාට පස්සේ ඇය ගියේම බස් වල සහ කොච්චි වල.

නමුත් තමන්ගේ ලේලි ත්‍රීවිල් එකක ගියත් ඇය බොහොම තරහා ගත්තා.

නමුත් සමුදීලා ඉතින් නගර වල හැදුනේ. ඒ වගේම ඇය හරිම නවීන සිතුම් පැතුම් තියෙන කෙනක්නෙ. ඇය අවශ්‍ය වෙලාවට බස් එකේ උනත් යන්න පැකිලුනේ නැහැ. ඕනෙම වැඩක් පිරිමියෙක් වගේ කරන්න ඇය දක්ෂයි. ඒ වගේමයි ලඳ බොළඳ, සුකුමාල පැවතුම් ඇයට එතරම් තිබුනේ නැහැ. කළ යුත්ත නිතරම බැහැලාම කරා. තාරික එනකන් කිසිම දෙයක් බලාගෙන නොසිට එලියට බැහැල පොලවේ පය ගහලා ජීවත් වුන නිසා ඔවුන්ගේ ජීවිත වාසනාවන්ත වුනා කියල ලොකු හාමිනේ හිතුවේ නැහැ.

දෙන්නත් එක්ක ගෙට ගොඩ වදිද්දී දෙකත් පහු වෙලා. රසවත් ආහාරයෙන් සප්පායම් වුන ලොකු හාමිනේ සමුදිගේ ප්‍රශ්න මොකුත් දැනගෙන හිටියේ නැහැ. නිකන්ම අස් වෙලා කියල තමයි තාරික ඇයට කීවේ. ඇය ටිකක් කාමරේට ගිහින් විවේක ගත්තා, ඉන් පස්සේ කුස්සියට වැදිලා තාරිකට රෑට කන්න කුරක්කන් පිට්ටු හැදුවා.

අම්මෙක්ගේ ආදරේ සමුදී කල්පනා කළා. හැබැයි මම නම් මෙයා වගේ වෙන්නේ නැහැ. විහස් විමාශ ලොකු වුනාට පස්සේ එයාලට ඕනේ විදිහට ඉන්න දීල මම තාරික එක්ක ලෝකේ වටේ සංචාර යනවා. ඇය හිතුවා.

එදා අම්මා එන නිසා තාරිකත් කලින් ගෙදර ආවා. ඔහුගේ මූණ හිනාවෙන් පිරිලා. කාල අම්මා එක්ක තනියම කතා කර කර ඉන්න තාරික සාලේ පුටුවට ගියා. ලොකු හාමිනේ සේරම තොරතුරු ඔහුට කියන්න පටන් ගත්තා. අද ඔහුට බාධා නොවෙන්න සමුදී පුතාලගේ දත් මද්දලා ඇඳට දැම්මා. ඔවුන් දෙන්නා පැය දෙකක් විතර සාමිචි කතාවේ යෙදුනට පස්සේ සමුදිත් කතා කරන්න ගියා. පොදු දෙයක් නැතත් ලොකු හාමිනේ කියන සේරම විස්තර “ ආ..අම්මේ ඇත්තද අම්මේ” කියමින් අහගෙන ඉන්නවා.

මොන වගේ ගැති ගුණ තිබ්බත් සමුදී ඇයට ගොඩක් ගරු කළා. තමන්ගේ අම්මට වගේම සැලකුවා. ඒ තමන්ගේ ආදරණීය තාරිකට කරන ගෞරවයක් ලෙසින්. අයගේ මේ ගැති ගුණ නිසා තාරික ගොඩක් ඇයට පැහැදුනා.

හෙට යන ගමන ගැන ලොකු හාමිනේත් කැමති වුනා. මොකද ඇයටත් අලුතින් සාරි කීපයක් ගන්න සමුදී යෝජනා කරපු නිසා. මේ පාර ලොකු හාමිනේත් සතුටින් හිටියේ පුතාට ගෙදර කිසිම වැඩක් කරන්න නැති නිසා.

හෙට උදේ හමුවෙන බලාපොරොත්තුව පිට ඔවුන් නින්දට ගියා. සමුදිගේ හිතේ නම් පුදුම ආශාවක් තිබුනේ. ව්‍යාපාරයක් කිරීමේ අදහස ඇය තවම තාරිකට වත් කියල නැහැ…. ඔහු මේ ගැන මොන වගේ අදහසක් දරයිද කියල සමුදී කල්පනා කළා….

“ අම්මියෝ… ඔයා මොනවද කල්පනා කරන්නේ…? අනේ මේ පැත්තට හැරෙන්නකෝ ..තාරික කන් කෙඳිරි ගැන නිසා ඇය හිනා වෙලා ඔහු ලඟට තල්ලු වුනා.

( ලබන සතියට)

SHARE

NO COMMENTS