“ජීවිතේ මේ වගෙයි.” – Part 25

සමුදී කියන්නේ උගත් , බුද්ධිමත්, නවීන ඒ වගේම ගොඩක් ධෛර්යමත් කාන්තාවක්. ඇයගේ වයස අවුරුදු 35 ක්. ඇගේ ආදරණීය ස්වාමියා තාරික අලහකෝන් සහ නිමුන් පුත්තු දෙන්න විහස්, විමාශ කියන මේ හතර දෙනාගේ ආදරණීය පවුලේ කතාව තමයි “ජීවිතේ මේ වගේ" කතාවෙන් කියවෙන්නේ. මේ සමහරවිට ඔබේම ජීවිතයේ පැතිකඩක් වෙන්නත් පුළුවන්.

සතිපතා කොටස් වශයෙන් පලවන කථාව

fb- like-beg


“ පරාජයන් හමුවේ නොසැලුන අපේ කාලයේ අම්මාගේ කතාව “ – 25 කොටස

“අම්මි … අම්මි …. අනේ බලු කක්කි පෑගුනා …..”

විමාශ කෑගහන සද්දෙට සමුදී ගේ ඉස්සරහට දිවුවේ දරුවා වැටිලා වෙන්න ඇති කියල හිතාගෙන. තාරික සෙනසුරාදට ගේ කිට්ටුව තියන ඇවිදින මන් තීරුවට පුතුන් දෙන්න එක්ක උදේම යනවා. බෝයිස්ලාගේ වෙලාවට බාධා කරන්න අකමැති සමුදී ඔවුන් එක්ක යන්නේ නැහැ. තාත්ති එක්ක විතරක් කියන විශේෂ රහස් ඔවුන්ට තියනවා. පිරිමි දරුවෝ තාත්තා එක්ක යාළුවො වගේ සම්බන්ධ වෙන්න ඕනේ නිසා සමුදී මේ තුන් දෙනාට පුද්ගලික ඇසුරට නිතරම ඉඩ සලසනවා.

මේ වගේ වෙලාවල ඔවුන්ට කතා කරන්න කොයි තරම් නම් දේවල් තියෙනවද? ගෙදෙට්ට පූසෙක් ගේන්න අම්මිව කැමති කරවා ගන්න හැටි, ඊයේ හදිස්සියේ කලිසම අඳිද්දී චූ කුරුල්ලා සිප් එකේ හිරවුණ එක, ෆ්‍රිජ් එකේ අම්මි තිබ්බ චොක්ලට් නැති වුන හැටි, ආච්චිලගේ ගෙදර පහල දොලේ හිටපු අර ලස්සන මාළු බුලත් හපයෝ දෙන්නෙක් අල්ලලා ජෑම් බෝතල් වල දැමීම, අම්මිට හොරෙන් තාත්ති එක්ක බැල්කනියට වෙලා අහස් කූරු පත්තු කිරීම…… කොච්චර දිග ලිස්ට් එකක්ද?

එදත් ඇවිදීම ඉවර කරලා ළඟ තිබ්බ කඩෙන් සවු කැඳ බීල අම්මිටයි ආච්චිටයි අරගෙන පයින් මග එද්දී විමාශට බලු අසූචි පෑගිලා.

මේ පාරේ බල්ලෝ ඇවිද්දවන්න යන පොෂ් නෝනලා සහ මහත්තුරු වගේම පාරේ ගෙවල් තිබෙන මිනිස්සුත් බල්ලොන්ගේ වැසිකිලි ලෙස භාවිතා කලේ මහ පාරයි. තමන් බල්ලන්ගේ සුවය විඳින අතරේ පාරේ ඇවිදින අනික් මිනිස්සු බලු අසූචි නිසා විඳවනවා කියන එක මේ ආත්මාර්ථකාමී මිනිස්සුන්ට තේරුනේ නැහැ. සමුදී මේ ගැන කීප විටක්ම පොලිසියට පවා පැමිණිලි කරත් කිසිම වැඩක් වුනේ නැහැ.

මේ බල්ලොන්ගේ අසූචි නිසා ගොඩ දෙනෙක් දුක් වින්දා. බොහෝ විට පයින් පාසල් ගිය දුප්පත් කුඩා ළමයි තමයි ගොඩක් බැට කෑවේ. දවසක් පාරේ ඇවිදිද්දී ලොකු හාමිනේගේත් සාරි පොටේ පවා බලු අසූචි ගෑවුනා.

“කෝ කෝ කකුල මිදුලේ තියන ටැප් එකෙන් හෝදන්න පුතේ” සමුදී යුහුසුළුව දරුවා එක්කගෙන ගියා. මේ සේරම බලාගෙන හිනාවෙමින් සිටි තාරික දිහා ටිකක් රවලා බැලුවා විතරයි තාරිකගේ හිනාව අතුරුදන් වුනා.

“අනේ පුතේ ..මේ වගේ පොඩි දේටත් අඬනවද? විහස් රත්තරන් මල්ලිගේ සෙරෙප්පු හෝදන්න උදවු වෙන්න. ඔය දෙන්න දැන් ලොකුයි. “

“අම්මි ඊ ඊ ඊ ….. “විමාශ තාමත් අඬනවා.

මේ අතරේ ලොකු හාමිනේත් මිදුලට දුවගෙන ආවා….

මේ වගේ ප්‍රශ්නයක් ඉතින් වවාගෙන කන එක ඇයගේ සිරිතනේ.

“ මෙහෙමත් ජරා මිනිස්සු ..යකෝ සත්තු හදනවා නම් ඒ විදිහට හදන්න එපාය.. කියල බනින්න ගත්තා.

“ අර රාලහාමි ගෙදර බලු කොටියා… කන්නෙත් මස් විතරනේ. ඔන්න හැම තැනම පාරේම බෙටි දම්මවන්න ජුවන් කොලුවා අරගෙන යනවා. දාන්නෙත් මේ වල් බල්ලෝ වගේ නෙවෙයි ගොම් බෙටි සයිස් එකේ බලු බෙටිනේ”

සමුදිට හිනාව නවත්ත ගන්නත් බැහැ. ඒ අතරේ තමන්ගේ පාරේ බලු අසූචි දමමන මිනිස්සු එක්ක තරහා ඉවසන්නත් බැහැ.

මේ අතරේ තාරිකට මතක් වුනා තමන් ඇමරිකාවේ හිටපු කාලය. ඒ රටවල හැමෝ ලගම බල්ලෝ ඉන්නවා. බල්ලා කියන්නේ ගෙදරම සාමාජිකයෙක්. නමුත් ඔවුන් කිසිම දවසක බල්ලව අසූචි දමන්න මහ පාරට එවුවේ නැහැ. දුවන්න යද්දී සවලක්, ෂොපින් බෑග්, අත් ආවරණ දාගෙන ඇවිද්දේ, බලු අසූචි තැන තැන දැම්මොත් නඩු වැටෙනවා. මේ රටවල නීතියක් නැතිකම වගේම මිනිස්සුන්ගේ තියන නරක ආකල්ප නෙවෙයිද කියලා තාරික කල්පනා කළා.

“ ඔහොම කරන එවුන්ගේ තමයි එන ආත්මේ සත්තු කොටු පාලනය කරන්න වෙලා ඉපදෙන්නේ. ඔන්න ඕක තමයි කරුම විපාකේ කියන්නේ පුතේ” කියමින් ලොකු හාමිනේත් දෙස් දෙවොල් තියන්න පටන් ගත්තා.

මේ ඇබැද්දිය ඉවර වෙලා ඔන්න පවුලේ සාමාජිකයෝ සේරම ලැහැස්ති වුනේ දොම්පේ යන්න. එහෙ තිබුන කුසුමාගේ රෙදි වියන මැෂිම බලල එහෙන් රෙදි අරගෙන එන්න සමුදී හිතුවා. ලස්සන සාරි තිබුනොත් ලොකු හාමිනේට අරගෙන දෙන්නත් ඇය තීරණය කළා.

යන මගදී ඇය තාරිකට ඇගේ අදහස කීවා. සමුදී ගෙදර සිටම මේ වගේ දෙයක් කරන එක ගැන තාරිකගේ හිත පස්වනක් ප්‍රීතියෙන් පිනා ගියා. ඔහු දන්නවා ඇය හරිම දක්ෂයි. නිකන් ඉන්න සතුටු නැහැ. ඒ වගේමයි දැන් පුතාල ලොකුයි. තාරිකටත් ඔවුන් ගේ වැඩට සහභාගී වෙන්න තිබෙන ඉඩ අඩුයිනේ.

ලොකු හාමිනේත් මේ යෝජනාවෙන් සතුටු වුනා. ලේලිට වැඩ වැඩි වුනොත් තමනුත් ඇවිත් උදවු වෙනවා කියල ඇය හිතා ගත්තා. “ අඩුම ගානේ මගේ කොලූට රහට කන්න දෙන්නවත් මට පුළුවන් නෙ. නැත්තන් කොල්ලට හැමදාම කන්න වෙන්නේ මේ ලේලිගේ ටවුමේ කෑම නෙ” කියල ඇය යටි හිතින් සමුදිට දොස් නැගීමකුත් කළා.

කුසුමලා ජීවත් වුනේ කාමර තුනක් තිබුන නිවසක. කිසිම නඩත්තුවක් නැති නිසා ජරා වාස වෙලා තිබුනත් කුසුමා ඒ ගේ දොර පිළිවෙලට තියාගෙන හිටියා. කුසුමාගේ ලොකු දුව වසන්ති විතරයි ගෙදර හිටියේ. අනික් ළමයා පාසල් ගිහින්. වසන්ති කියන්නේ ලෑජ්ජාකාර අහිංසක ගැහැණු ළමයෙක්. මුළු දවසම වගේ රෙදි විවීම තමයි ඇය කලේ. පාසල් යද්දී ඉගෙන ගන්න ඇය එතරම් දක්ෂ වුනෙත් නැහැලු. ඒ වගේම සැමියා මරුනහම කුසුමට කුලී වැඩට යන්න මේ දරුවා තමයි නංගිව බලාගෙන තියෙන්නේ. කොහොම හරි සාමාන්‍ය පෙළ අසමත් වෙලා ඇය ගෙදර ඉද්දි හස්ත කර්මාන්ත අමාත්‍යංශයට ගිහින් කුසුමයි වසන්තියි රෙදි වියන්න ඉගෙනගෙන. අන්තිමේ කුසුමා තිබුන සල්ලි ටිකෙන් මැෂිමක් අරගෙන දැන් ගෙදර රෙදි වියනවා.

කුසුමා ඒවා මහලා ගෙන් ගෙට ගිහින් විකුනනවා. බොහෝ විට මිනිස්සු මේ ඇගේ අනර්ඝ රෙදි මිලට ගත්තේ ගොඩක් අඩුවට. නොතේරුම්කම ගැන සමුදිට ගොඩක් දුක හිතුනා. ඒ නිසා ඇය කුසුමා මහන හැම දේකින්ම සෙට් එක ගානේ සාම්පල් සල්ලි වලට ගත්තා. අරගෙන ලොකු හාමිනේටත් සාරි දෙකක් අරගෙන දුන්නා. ඇගේ අම්මටත් සාරියක් ගත්තා. අයියලට, තාත්තට, තාරිකට සරම් ගත්තා. නමුත් ඇයට මොකුත් ගන්න අමතක වුනා.

කුසුමාට මේ අදහස ගැන තේරුමක් තිබ්බේ නැහැ. ඇය ටිකක් බය වුනා. නමුත් මේ ගැන ආසාවකුත් හිතේ ඇති වුනා.

“නෝනා මහත්තයට ඕනේ තරමක් රෙදි අපි දෙන්නම් කියල “ ඇය කීවේ එතරම් විශ්වාසෙකින් නෙවෙයි. නැවත ඉක්මනින් එන පොරොන්දුව පිට තමන්ගේ දුරකථන අංකත් දීලා සමුදීලා එහෙන් පිටත් වුනා.

තාරික නම් ගස් වැල් බලලා ගොඩක් සතුටු වුනා. ඒ එක්කම තමන්ගේ හදන්න ඉන්න නිවසේ අලංකාර උද්‍යානයක් කළ යුතු බව තීරණය කළා. තව වසර කීපෙකින් තමන්ගේ කැදැල්ලට දුවෙක් එකතු වේවි. එදාට ඉතින් ලස්සනට සේරම තිබිය යුතුයි කියල ඔහු හිතුවා. තාරික ගැහැණු ළමයින්ට ගොඩක් කැමතියි. නමුත් තව දරු උපතකට යන්න පෙර ගොඩක් දේ කළ යුතු බව සමුදී හිතුවා. ඒ වගේම ඇය නැවත වරක් ගර්භනී වෙන්න එතරම් කැමැත්තක් දැක්කුවෙත් නැහැ.

“මෙයා නම් ඉතින් හදලා වැඩට යාවි. මමනේ ඔක්කොම බලන්න ඕනේ” කියල ඇය හිතුවා.

ඔවුන් ගෙදර ආවේ මග නැවතිලා ආහාර පාන අරගෙන හරියට විනෝද චාරිකවකට ගියා වගේ. ගෙදර ආව ගමන් හැමෝම මහන්සියට නිදා ගත්තා. සමුදිට නින්ද යන්නේ නැහැ. ඔලුවේ අදහස් ගොඩක් කැරකෙනවා. නින්ද යන්න නම් මේ සේරම කොලේක ලියලා නිදහස් වෙන්න ඕනේ කියල හිතපු ඇය නැගිට්ටා.

කඩ වල වලට ගිහින් මේ වගේ අනික් නිෂ්පාදන වල මිල දැනගෙන, මේවට නිසි මිලක් නියම කිරීම පලවෙනි පියවර වුනා. මේවා ඉතාම ලස්සනයි. ඒ වගේම කඩයක් දැමීම මිල අධික වැඩක්. අනුන්ගේ කඩ වලට දැමීම කියන්නේ ඔවුනට ලාභ ගන්න මිස කුසුමටවත් සමුදිටවත් ලාභ ලැබෙන දෙයක් නොවෙයි. ඒ නිසා හොඳම ක්‍රමය FB පිටුවක් පටන් අරගෙන ඒ මගින් ඕනේ අයට රට පුරා මේ ස්නිෂ්පාදන බෙදා හැරීම කියල සමුදී තීරනය කළා. වැඩි මුදලක් අවශ්‍ය නොවීම තමයි මේ ක්‍රමයේ තිබුන වාසිය. පසුවට කඩයක් දමන්න පුළුවන්නේ කියල ඇය හිතුවා.

තාරිකගේ යාලුවෙක් වෙච්ච හොඳ චායාරූප ශිල්පියෙක් ඉන්නවා. ඔහුට කියලා ලස්සන ෆොටෝ ගන්නත් ඇය තීරණය කළා. දැන් ව්‍යාපාරයේ මොඩ්ල් එක ඇගේ ඔලුවෙන් කොලේට වැටුනා. සමුදිගේ හිතට ලොකු සැහැල්ලුවක් පැමිණියා. ඒ ගමන වෙලාව උදේ පහමාරත් පහුවෙලා. ඇයට නිදන්න හිතක් නැහැ. වටෙන් ගොඩින් එලිය වැටෙනවා.

ගොරෝ ..ගොරෝ ඉන්න තාරික දිහා බලපු ඇය හෙමින් ඔහුව නැගිට්ටුවා.

“තාත්ති …තාත්ති…. අනේ නැගිටින්නකෝ…..”

ඇයට සේරම දේවල් තාරිකට කියන්න ඕනේ. ඔහුගේ අදහස් ගන්නත් ඕනේ. හෙමින් ඔහුගේ කම්මුල් අතගාද්දී ඔහු නැගිට්ටා. නිදිමතෙන්ම ඇයව බදාගෙන ඇගේ දෙතොල් සිප ගත්තා.

“තාත්ති මට ඉර නගිනවා බලන්න යන්න ඕනේ…. “ මේ තරුන කාලේ සිටම ඇය ඉතාම ප්‍රිය කළ දෙයක්. ජීවුතේ තීරණාත්මක වෙලාවට මේ දේ කරනවා.

ඇයට ආදරය කිරීමෙන් හටගත් ප්‍රබෝධයෙන්ම තාරික නැගිට්ටා. තවම දරුවෝ දෙන්න නිදි. අම්මත් නිදි. අම්ම තව ටිකකින් ගිහින් කොළ කැඳ හදන්න පටන් ගන්නවා. ඊට පෙර ඔවුන් දෙන්නා හෙමින් ගෙදරින් එලියට පැන ගත්තා.

නැග එන ලා හිරු දෙස බලාගෙන් ඔවුන් දෙදෙනා තණකොළ පිටියේ තිබුන බැංකුවක වාඩි වෙලා කරට අත දමාගෙන මේ සේරම දේවල් එකිනෙකාට කියා ගත්තා.

තාරික ඔහුගේ වුර්තීය ජීවිතේ ඉහලට යන දේවල් ගැන කීවා. සමුදී ව්‍යාපාරය පටන් ගන්න පිළිවෙල ඔහුට කීවා. මේ සේරගේම කිසිම වරදක් නැහැ කියල තාරිකත් ඇගේ ක්‍රමය එක්ක එකතු වුනා.

“ දැන් තාක්ශනේ දියුණු කාලේ ව්‍යාපාරයක් කරන එක පහසුයි. එකම දේ ටිකක් ඒ ගැන අද්‍යනය කරන එක විතරනේ.”

හැබැයි මිනිස්සු FB එක පාවිච්චි කරන්නේ වැදගත් වැඩ වලට වඩා මෝඩ වැඩ වලටනේ. හොර මිනිස්සු ගැහැණු හොයා ගන්න, නිකරුනේ කාලේ කන්න චැට් කරන්න, අනුන්ගේ ඕපදූප හොයන්න FB එක පාවිච්චි නොකර වැදගත් වැඩ නම් කොච්චර තියේද කියල තාරිකත් කල්පනා කළා.

තමන්ගේ බිරිඳ කියන්නේ කොයිදේත් යහපතම දකින, යහපතම කරණ ගැහැනියක් නේද කියල ඔහු කල්පනා කළා. ව්‍යාපාරය ගැන ඔහුට ලොකු විශ්වාසයක් තිබුනෙත් නැහැ.

“හැබැයි ඉතින් අඩු ගානේ එයාට කරන්න වැඩක් හරි තියනවනේ. අර කාලකන්නියා කරපු වැඩේ නිසා කොච්චර හිත රිදිලද හිටියේ. පවු අහිංසක කෙල්ල “ කියල හිතපු ඔහු අපමණ දයාවෙන් සහ සතුටින් ඇගේ නළල නැවත වරක් සිප ගත්තා.

(ලබන සතියට)

SHARE

NO COMMENTS