ඔබේ සැමියා අසතුටෙන් සිටීමට හේතු විය හැකි කරුණු 10 ක්

1) ඔහු නිවසට එන විට ඔහුව ආදරයෙන් පිළිනොගැනීම

ඔබ රැකියාවක් කරන අයෙකු හෝ ගෘහණියක හෝ බොහෝ විට මේ දෙකෙහිම නිරතවන අයෙකු විය හැකියි. එනිසාම ඔබ ඉතා කාර්යබහුල විය හැකියි. කෑම උයන්න, නිවාස පිරිසිදු කරන්න, දරුවන්ගේ වැඩ මේ සියල්ලත් එක්ක දවසේ අවසන් කාලය වනවිට ඔබ බොහෝ විඩාබර වී සිටීම පුදුමයක් නොවේ. එනිසාම වැඩ ඇරී නිවසට එන, ඔබේ සැමියාව දුටු සැනින්ම ඔබේ කරදර සියල්ල පැවසීමට බොහෝ කාන්තාවන් පෙළඹේ. නිවසේ අඩුපාඩු සහ ඔහු අතින් අතපසු වූ කටයුතු පවසමින් ඔහුගේ ඇඟට කඩා පැනීම අද බොහෝ නිවෙස්වල සාමාන්‍ය දෙයක්.

එහෙත් මදක් සිතා බලන්න ඔබේ සැමියාත් දවස පුරාම වෙහෙස වී වැඩ කර නිවසට එන්නේ ශරීරයට මෙන්ම මනසටත් විඩාවක් බලාපොරොත්තුවෙනුයි. එනිසා නිවසේ අඩුපාඩු ලැයිස්තුව කියමින් ඔහුව පිළිගැනීම එතරම් සුදුසු නැහැ. දිගින් දිගටම මෙය සිදුවන විට ඔහුට සවස නිවසට ඒම පවා එපා විය හැක. එවිට ඔහු යහළුවන් සමග මත් පැන් පානය කර ඉතා රෑ බෝවී නිවසට ඒමට පුරුදු විය හැක. එනිසා ඔබේ සැමියා නිවසට එන විට ඔහු වෙත ගොස් ආදරයෙන් ඔහුව පිළිගැනීම ඉතා වැදගත්. එවිට ඔහුට නිවස තරම් සුවදායක තැනක් තවත් නැති වේවි.


fb- like-beg


2) දෙදෙනා වෙනුවෙන් කාලය වැය නොකිරීම

මෙය ඔබේ සැමියා පමණක් නොව ඔබවත් අසතුටට පත් කරන කරුණක්. විවාහයට පෙර නම් ඔබ නිතර විවිධ තැන්වල ඇවිදින්න යන්න ඇති, කෑමට එලියට යන්න ඇති. එහෙත් විවාහයෙන් පසු වගකීම් වැඩි වීමත් සමග බොහෝ දෙනා තවදුරටත් මේවා අවශ්‍ය නැති බව සිතයි. එහෙත් එය වැරදියි. ඔබ දෙදෙනා සතුටින් සිටීම සැමටම වඩා වැදගත්. මන්ද වගකීම් ඉටු කරන්නත් අනෙක් කටයුතු පාලනය කරන්නත් පළමුව ඔබ හොඳ මානසික තත්ත්වයකින් පසු විය යුතුය.

එනිසා ඔබ දෙදෙනා වෙනුවෙන් වෙලාවක් වෙන් කරගෙන කෑමකට එලියට යන්න, චිත්‍රපටියක් බලන්න යන්න. එයින් දෙදෙනාම සතුටට පත් වේ. ඒ වගේම බොහෝ දෙනෙක් කරන වරදක් තමයි අනෙක් කෙනා මේ දේවල් සැලසුම් කර තමාව පුදුමයට පත් කරන තුරු බලා සිටීම. ඔබේ සැමියා අධික කාර්යබහුල කෙනෙක් නම් ඔහුට විවේක වෙලාවක් විමසා ඔබ විසින් රාත්‍රී කෑමට රෙස්ටුරන්ට් එකකට ගොස් නිදහසේ කතා බහ කරමින් ආහාර ගන්න සැලසුම් කරන්න. එයින් ඔහුත් ඔබව අගය කරාවි. එවිට නැවත වරක් එවැනි දෙයක් කිරීමට ඔහු සැලසුම් කරාවි. එයින් ඔහු මෙන්ම ඔබත් සතුටු වේවි.


3) හොඳ මවක් මෙන්ම ආදරණීය බිරිඳක් ද වන්න

දෙමාපියන් වශයෙන් දරුවන්ගේ ගැටළු පිලිබඳ, ඔවුනගේ අධ්‍යාපනය පිළිබඳ, ඔවුනගේ අනාගතය පිළිබඳ සාකච්චා කිරීම ඉතා වැදගත් වේ. එහෙත් එයටම පමණක් සීමා වීම සුදුසු නැත. ඔබ දෙදෙනා පිළිබඳ සාකච්චා කිරීමටද කාලයක් වෙන් කරන්න. දරුවන් නින්දට ගිය පසු හෝ ඔවුන් නිවසේ නැති විටෙක ඔබ දෙදෙනා කැමති යම් දේවල් පිලිබඳ සාකච්චා කරන්න. ඔබේ අතීතය පිළිබඳව හෝ එකිනෙකාගේ වැඩකටයුතු පිළිබඳව හෝ සාකච්චා කරන්න. සැමියා ඔබ හා ගත කරන සෑම විටම ඔබ දරුවන්ගේ පිළිබඳවම සාකච්චා නොකරන්න. ඔබ මවක් මෙන්ම බිරිඳක් බවත් සිහි තබා ගන්න.
ඔබේ දරුවන්ට මෙන්ම ඔබේ සැමියාට ද ඔබව අවශ්‍ය වේ. ඔහු වෙනුවෙන් ඔබ කාලය වැය නොකරන විට ඔහු කනස්සල්ලට පත් වේ. එනිසා ඉඩ ලද විට ඔහු සමග ආදරණීය සංවාදයක යෙදෙන්න අමතක කරන්න එපා.


4) රොමැන්ටික් වෙන්න අමතක වෙලාද?

කාන්තාවන් බොහෝ දෙනෙක් විවාහයෙන් පසු සැමියා සමග ආදරයෙන් සිටීමෙන් හා ලිංගික ජීවිතයෙන් ඈත් වීමට උත්සහා දරනවා. එහෙත් පිරිමි පාර්ශවය එසේ වන්නේ නැහැ. ඇතැම්විට ඔබේ සැමියා ඒ සඳහා යොමු වීමට උත්සහ දැරීම පවා ඔබට කරදරයක් ලෙස දනිය හැක. එවැනි දේවලින් ඔබ සැමියාගෙන් දුරස් වන විට ඔහු කනගාටුවට පත් වේ.ඔබ ඔහුගෙන් දුරස් වන බව ඔහුට දැනේවි. ඇතැම්විට මෙය ඔහු වෙනත් කාන්තාවන් කරා යාමට පවා හේතු විය හැක. ප්‍රීතිමත් ලිංගික ජීවිතයත් සාර්ථක පවුලකට අත්‍යවශ්‍යම අංගයක්.

විවාහයට පෙර නම් මෙවැනි තත්ත්වයක් තිබුනේ නැහැ නේද? ඔබ දෙදෙනා විවිධ තැන්වල සංචාරය කරමින් සතුටින් කල් ගත කළා නේද? බොහෝ විට මෙයට හේතුව වන්නේ ඒකාකාරී ලිංගික ජීවිතයයි. නිවසේ හා කාර්යාල කටයුතුත් සමග ඇති වන පීඩනය නිසා ඔබව තවත් ලිංගික ජීවිතයෙන් ඈත් කරයි. මෙයට විසඳූම වන්නේ ඔබේ වටපිටාව වෙනස් කිරීමයි. එනම් ඒකාකාරී ජීවිතයෙන් මිදී වෙනසක් සඳහා ඔබ දෙදෙනා සුන්දර වටපිටාවක් සහිත හෝටලයකට ගොස් දිනක් ගත කරන්න. එහෙම නැති නම් පවුලේ අයත් සමග සුන්දර ප්‍රදේශයක විනෝද චාරිකාවක් යන්න. මේ දේවල් වලින් ඔබේ
මනස සැහැල්ලු වන අතර ඒකාකාරී බවින් ද මිදේ. එවිට ඔබට නැවතත් ඔබේ සැමියාගේ ආදරය විඳින්නට සිතේවි.


5) ඔහුගේ හැඟීම් සැහැල්ලුවට ගන්න එපා

විවාහයෙන් පසු වැඩිපුර කාර්යබහුල වන්නේ කාන්තා පාර්ශවයයි. මන්ද රාජකාරී මෙන්ම නිවසේ කටයුතු ද පැවරෙන්නේ ඔබටයි. එනිසාම ඔබ විවාහයට පෙරදී මෙන් ඔබේ දෙදෙනාගේ සම්බන්ධතාවය ගැන නොසිතයි. විවාහයට පෙර නම් ඔබ ඔබ දෙදෙනා වෙනුවෙන් බොහෝ කැපවෙයි. ඔහුට නිතර තෑගී දෙයි, ඔහු වෙනුවෙන් විශේෂ කෑම සාදයි, පුංචි පුංචි දේවල් වලින් ඔහුව පුදුමයට පත් කරයි. එහෙත් විවාහයෙන් පසු ඔබ මේ සියල්ල නවතා දමයි. එවිට ඔබේ සැමියාට දැනෙනුයේ ඔබ වෙනස්ම අයෙකු බවට පත් වී ඇති බවයි. මෙය ඔබේ සැමියාව පීඩනයට පත් කරයි. ඔහු එයට හේතු ඔබෙන් විමසු විට ඔබ එය පවා ගණන් නොගෙන සිටීමට පෙළඹේ. මෙය ඔබේ පවුලේ ගැටළු රාශියක් ඇති කිරීමට හේතු වෙයි. ඔබ දෙදෙනාගේම මානසික සෞඛ්‍ය මෙයින් බිඳ වැටේ. එනිසා විවාහයෙන් පසුව වුවත් ඔබේ සැමියාගේ සිතිවිලි තේරුම් ගනිමින් ඔහු සතුටු වන දේවල් කරන්න. ඔහු පවසන දේවල් සැහැල්ලුවෙන් සිතීමෙන් වලකින්න. ඔහු පවසන දේවල් පිලිබඳ හොඳින් සිතා බලා ඔබෙන් වියයුතු දේවල් ඉටු කර ආදරණීය බිරිඳක් වන්න. එවිට දෙදෙනාම සතුටින් හිඳීවි.


6) ඔබේ නිහඬ බව

කාන්තාවන් සතුටින් තියන්න නම් ඔවුන්ගේ හිත කියවන්න පුරුදු වෙන්න ඕන කියන්නේ විහිලුවට නෙවෙයි. බොහොමයක් කාන්තාවන්ගේ ලක්ෂණයක් තමයි තමන්ට අවශ්‍ය දේවල් නොකියා එය ලබා දෙන තුරු බලා සිටීම. ඔබට නිවසේ කටයුතු වලට සැමියාගේ සහය අවශ්‍ය වුවත් ඔබ එය ඔහුට නොපවසා ඔහු එය ඉටු කර දෙන තුරු බලා සිට ඔහු එය නොකළ විට ඔහු සමග කතා බහත් නවත්වා කේන්තියෙන් සිටියි. මෙය ඔබ කරන විශාල වරදක්. ඔහුට ඔබේ සිත කියවිය නොහැකියි. ඇතැම්විට ඔහු ඔබට සහය වන්නේ ඔබට සහය අවශ්‍ය කාරණය සඳහා නොවිය හැකියි. එවිට ඔබ කේන්ති ගනී. ඔබ කේන්තියෙන් ඉන්නා විට ඔහු ද කනස්සල්ලට පත් වේ. ඔබ කිසිත් නොපවසන නිසා ඔහුට හේතුවක් සොයා ගැනීමට ද නොහැකිය. එනිසා ඔහුගෙන් ඔබට විය යුත්තේ කුමදැයි පැහැදිලිව පවසන්න. එවිට ඔහු අනවශ්‍ය දේවල් වලට මැදිහත් වීමෙන් වැළකී ඔබට අවශ්‍ය දෙය ඉටු කර දේවි. එයින් කිසිවෙකුගේ සිත් නොරිදේ.


7) දෙදෙනාගේ කටයුතු සමබර කර ගැනීමට උත්සහ නොගැනීම.

දෙදෙනෙකු විවාහ වූ පසු අනෙකා තමන්ට අනුකුලවම ජීවත් වේ යැයි සිතන්නේ නම් එය මුසාවකි. ඔබ දෙදෙනා දෙදෙනෙකි. එකිනෙකාගේ ආසාවන් වෙනස්ය. බොහෝ විට එකිනෙකා පිලිබඳ නිසි පරිදි දැනගන්නේ විවාහයෙන් පසුවයි. බෝහෝ කාන්තාවන් තමන්ගේ ආසාවන්, අවශ්‍යතාවයන් ස්වාමියාට නොපවසයි. එවිට ඔහුට ඔබගේ ඕනා
එපාකම් පිලිබඳ අවබෝධයක් නැතිව යයි. ඉන්පසු ඔහු ඔබව නොසලකා හරින බව සිතා ඔබම දුකට පත්වේ. එනිසා ඔබ දෙදෙනා එකිනෙකාට වෙනස් බව සිහි තබාගෙන ඔබගේ අසාවන් ඔහුට පවසන්න. එයින් ඔබේ ජීවිතය සමබර වේ. ඔහු කරන යම් දෙයකට ඔබ අකමැති නම් ඒ බවත් ඔහුට පවසන්න. එසේ නොවුවහොත් ඔබ ගැටළු රැසකට මුහුණ දෙනු ඇත.


8) ඔබගේ පුරුදු වෙනස් කර ගැනීමට සුදානම් නොවීම.

දෙදෙනෙකු විවාහ වූ විට එය සාර්ථක කර ගැනීම සඳහා එකිනෙකා වෙනුවෙන් යම් යම් දේ කැප කිරීමට සිදුවේ. ඔබට පමණක් නොව ඔබේ සැමියාට ද අදාළ කරුණකි. එහෙත් කලක් තිස්සේ පුරුදු වූ ඇතැම් පුරුදු වෙනස් කර ගැනීමට ඔබ අකමැති විය හැක. එය ඔබේ සැමියාට ගැටළුවක් විය හැක. බොහෝ කාන්තාවන් විවාහයෙන් ටික කලකට පසු ලිංගික ජීවිතයෙන් ඈත්වී සිටීම පුරුද්දක් කර ගනී. මෙවන් අවස්ථාවල විශාල ගැටළු ඇති විය හැක. එනිසා ඔබේ සැමියාගේ අවශ්‍යතා ද සළකා බලා ඔබේ ඇතැම් පුරුදු වෙනස් කර ගැනීමට ක්‍රියා කරන්න.


9) ඔහුව අමතක කර ඔබ පිළිබඳ පමණක් සිටීම

මෙයත් බොහෝ කාන්තාවන්ට පොදු ලක්ෂණයක්. පවුලේ යම් ගැටළුවක් හෝ ඔබ දෙදෙනා අතර යම් ගැටළුවක් ඇති වූ විට කාන්තාවන් එය විසඳීම සම්පුරණයෙන්ම සිය ස්වාමියාට පවරයි. එමෙන්ම ඔහු තමාව ද සනසවනු ඇතැයි අපේක්ෂා කරයි. ඔහු එසේ නොකළ විට නැවත ආරවුල් ඇති වේ. යම් ගැටළුකාරී අවස්තාවක සියල්ල ඔහු වෙත පැවරීම සුදුසු නැත. ඔබ මෙහිදී ඔහුගේ හැඟීම් පිලිබඳ අමතක කර ඇත. ඔහු ද ඔබ මෙන්ම පීඩාකාරී තත්ත්වයක පසු වේ. මෙවන් අවස්තාවක කළ යුත්තේ දෙදෙනා එකිනෙකාට උදව් කර ගැනීමයි. ඔහුගේ සහයට ඔබත් සිටිය යුතුයි. එවිට ඔහුට ද ආත්ම ශක්තිය වැඩි වේ.


10) රැකියාවත් පවුල් ජීවිතයත් පටලවා ගැනීම

තමන්ගේ රැකියා කටයුතුත් නිවසේ කටයුතුත් සමබරව කරගෙන යාම කාන්තාවකට අවශ්‍යම දෙයකි. කාන්තාවන්ට පමණක්ම නොව පිරිමි පාර්ශවයට ද මෙය වැදගත් වේ. ඔබ ඔබේ රාජකාරී කටයුතු නිවසට රැගෙන එනවා යනු ඔබ නිවසේදී තවත් කාර්යබහුල වෙනවා යන්නයි. නිසැකවම ඔබට මෙවැනි කටයුතු සඳහා යොදා ගැනීමට සිදු වන්නේ
ඔබේ සැමියා සමග ගත කරන කාලයයි. දවස පුරා වෙහෙස වී ඔබ දෙදෙනාට තරමක් සැහැල්ලුවෙන් ගත කිරීමට තිබෙන කාලය ඔබ වෙනත් කාර්යයක් සඳහා යොදවන විට ඔබේ ස්වාමියා කෝපයට පත් වේ. දිගින් දිගටම මෙය සිදු වන විට ඔහුට එය කරදරයක් වේ. එනිසා රාජකාරී කටයුතු නිවසට ගෙන එම පුරුද්දක් කරගන්න එපා. අත්‍යවශ්‍ය දිනෙක එසේ කිරීමෙන් හානියක් නොවේ. එහෙත් එය පුරුද්දක් වශයෙන් කළහොත් නම් නිසැකවම ඔබට ගැටළු රාශියකට මුහුණ දීමට සිදුවේ.

SHARE

NO COMMENTS